කෘත්‍රිම බුද්ධියේ අහිතකර පැත්ත

කෘත්‍රිම බුද්ධිය යනු මිනිසා මගින් සිතා මතා කළ වැඩ යන්ත්‍ර මගින් ලෙහෙසියෙන් ඉටු කිරීමයි. කෘත්‍රිම බුද්ධිය යනු මිනිසා වැනි රොබෝවෙකු තනා එයින් වැඩ ගැනීම පමණක් නොවේ. අප ලියන ලියුමක ඉස්සර වැරදි සෙවුවේ අපි අපේ ඇස් වලිනි. දැන් වර්ඩ් වල ඉංගිරිසි බසින් ටයිප් කරන වැකියක අකුරු වල වැරදි සහ ව්‍යාකරණ වැරදි අපිට පෙන්වා, ඒවා නිවැරදි  කරගන්නා අයුරු අපිට කියාදෙන්නට තරම් පරිගණක මොළය දියුණු වී තිබේ. වඩාත් නිවැරදිව අදාළ දත්ත රැසක් ඇසුරින් ප්‍රතිඵල ලබාදීමට කෘත්‍රිම බුද්ධියට හැකි වී තිබේ.

 

1. කෘත්‍රිම බුද්ධියෙන් සවිමත් අවි ආයුධ

Image Source – mashable.com

යන්ත්‍ර වැඩිදියුණු වෙත්ම කෘත්‍රිම බුද්ධියක් මෙන් දෙනු ලබන දත්ත අනුව වැඩ කරන්නට ඒවාට හැකි විය. සාමාන්‍ය යුධ බිමකදී සෙබලා විසින් යුධ බිමේදී සතුරා හඳුනා නොගෙන ඔහේ වෙඩිතබාගෙන යන අවස්ථා එමටය. එහෙත් කෘත්‍රිම බුද්ධියෙන් සවිමත් අවිආයුධ වලට තවදුරටත් ඉලක්කය හඳුනාගැනීමට ලොකු අපහසුවක් නැත. ඉලක්ක වලට සරිලන නිවැරදි අවිය යොදාගෙන, ඉතා ඉක්මණින් ප්‍රතිචාර දැක්වීමට යුධමය අවකාශයේදී කෘත්‍රිම බුද්ධිය සමත්ය. වෙනත් ග්‍රහලොවක් සමග කරන යුද්ධයකදී නම් මිනිසාගේ කෘත්‍රිම බුද්ධිය වැදගත් වුවත්, ලොව සිදුවන මිනිසුන් අතර යුද්ධයකදී මෙම කෘත්‍රිම බුද්ධිය භාවිතය නිසා මිනිසාට සිදුවන්නේ බලවත් හානියකි.

 

2. රැකියා අහිමි වීම

Image Source – trustedreviews.com

ඇමරිකාවේ ටෙස්ලා, ගූග්ල් ආදී සමාගම් මේ වනවිට කෘත්‍රිම බුද්ධියෙන් යුත් රියදුරු රහිත කාර් රිය පිළිබඳ පර්යේෂණ කරමින් සිටී. එයින් ඇතැම් සේවාවන් මේ වනවිට සාර්ථක වී තිබේ. ඇස්, කන්, නාසා මෙන් ක්‍රියාකරන සෙන්සර් මගින් ගත් දත්ත අනුව කෘත්‍රිම බුද්ධිය වාහන වල රියදුරු අසුන ආක්‍රමණය කරන විට, සැබැවින්ම රියදුරු රැකියා දස දහස් ගණනක් අවදානමට ලක් වේ. යන්ත්‍ර නිසා අතින් වැඩ කළ බොහෝ දෙනාට යන්ත්‍ර ක්‍රියාකරුවන් වීමේ හැකියාව ලැබුණි. එහෙත් අනාගතයේ යන්ත්‍ර ක්‍රියාකරවීමද කෘත්‍රිම බුද්ධියටම සින්න වූ කල යන්ත්‍ර ක්‍රියාකරුවන්ටද රැකියාවන් සොයාගන්නට විදියක් නැතිවෙනු ඇත.

 

3. ඇබ්බැහි සහිත ගේම් නිපදවීම

Image Source – cdn.arstechnica.net

ගේම් වලට කැමැති අය කැමති වන්නේ කුමන දේටදැයි පෙර කාලයේදී අපි අනුමාන කළේ අපේම බුද්ධියෙනි. එහෙත් අද වනවිට ගේම් හරහාම ඒ ගේම් ගහන්නට එන අය කැමති දේවල් හඳුනාගන්නට කෘත්‍රිම බුද්ධියට හැකියාව ලැබේ. එවිට අදටත් වඩා ආකර්ෂණීය වීඩියෝ ගේම්ස් ආදිය හෙට දිනයේ ඒමට නියමිත වේ. එවිට එම ගේම් වලින් ඈත්වීම පෙරටත් වඩා අමාරුය. ශීතාධික රටවල දිවා කාලය වැඩි විට ඔවුන්ට කාමර තුළට වී ගේම් ගැසීම කාලය කා දැමීමට හොඳ ක්‍රියාවකි. එහෙත් අප රට වැනි ඝර්ම කලාපීය රටක යෞවන යෞවනියනුත් මොබයිල් ගේම් සිට ඉහළ කොන්සෝල් ගේම් දක්වා ඇබ්බැහි වීම කෘත්‍රිම බුද්ධිය මගින් ඇතිකරනු ලබන තවත් ව්‍යසනයකි.

 

4. එදිනෙදා සේවාවන් අඩාල වීම

Image Source – today.com

යම් යම් අභ්‍යන්තර පරිගණක පද්ධති දෝෂ නිසා ගුවන් ගමන් පවා හසුරුවාගැනීමට අපහසු වූ අවස්ථා තිබේ. දියුණු රටවල සෑම සියලු පද්ධතියක්ම පවා පාලනය කිරීමට කෘත්‍රිම බුද්ධිය පරිගණක පද්ධති හරහා පාවිච්චියට ගනී. එවැනි පද්ධතියක් අඩාල වූ කල, එය ඒ සමස්ථ සමාජයටම දැඩි බලපෑමකි. උදාහරණ ලෙස කෘත්‍රිම බුද්ධියෙන් පාලනය වන විදුලිබල පද්ධතියක් ගනිමු. එම කෘත්‍රිම පද්ධතියේ යම් අනතුරක් වූ කල එය පාලනය කිරීම පහසු කාර්යයක් නොවේ. මිනිසාගේ මොළය පාදක කරගෙන වැඩකටයුතු කළ යුගයේදී සරල වූ ක්‍රියාදාම රැසක් තවත් එවැනි මිනිස් මොළ වලින් ක්‍රියාත්මක කළ හැකි විය. එහෙත් අද අතිශය සංකීර්ණ පරිගණක පද්ධති වල වාර්තාගත වූ දොසක් මිනිස් මොළ විසින් අධ්‍යනය කොට වරද සොයාගන්නා විට ඇතැම් විට විය යුතු දේ වී හමාර වී තිබිය හැකිය.

 

5. වෛරස්, හැකින් ප්‍රහාර

Image Source – Image Source – slate.com

සතුරන් දැන් දැන් සයිබර් ලෝකයද සිය සතුරුකම් සඳහා හරි හරියට පාවිච්චි කරනු ලබති. සයිබර් ප්‍රහාර මගින් කෘත්‍රිම බුද්ධියේ ප්‍රතිඵල කෙලින්ම වෙනස් කළ හැකිය. කෘත්‍රිම බුද්ධියෙන්, තාක්ෂණයෙන් වැඩ කරන යන්ත්‍ර සහ පද්ධති වලට වෛරස හෝ හැක් කර ප්‍රහාර එල්ල කිරීමෙන් ඒවා අඩපණ වීම මෙන්ම, ඒවායේ ඇති තොරතුරු ආදිය පිටතට යෑම, වැරදි ලෙස ක්‍රියාත්මක වීම වැනි දෝෂ සහගත තත්ත්වයන් ඇතිවිය හැකිය. මිනිසාගේ කෘත්‍රිම බුද්ධිය තවත් මිනිස් කණ්ඩායමක් විසින්ම විකෘති කිරීම හැක් කිරීමේදී සිදු වේ.

 

6. කෘත්‍රිම බුද්ධියේ වියදමේ සැර

Image Source – Image Source – wired.com

කෘත්‍රිම බුද්ධිය යනු රොබෝ සහ රොබෝ අත් වැනි උපාංග වලින් එහා ගිය සංකල්පයකි. එහිදී කෘත්‍රිම බුද්ධිය තුළින් පද්ධති පාලනය කිරීම සිදු වේ. එහෙත් කෘත්‍රිම බුද්ධිය ඇතුළත් උපාංග නඩත්තු කිරීම සහ ඒවා මිලදී ගැනීමට විශාල මුදලක් වැය වේ. උදාහරණ ලෙස පොල් කැඩීම සඳහා අපි කෘත්‍රිම බුද්ධිමය උපකරණයක් ගන්නවා යැයි සිතමු. එහිදී ගසට නැග උවමනා තරමට පැසුණු ගෙඩිය තෝරා, එය ආරක්ෂිතව බිමට දැමීමට කෘත්‍රිම බුද්ධිය සහිත දියුණු යන්ත්‍රයකට හැකිවිය හැකිය. එහෙත් ගමේ සිටින පොල් කඩන මහත්මයාට ගෙවන මුදලට වඩා බොහෝ වැඩි මුදලක් ඒ පොල් කැඩීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිමය යන්ත්‍රයට අපිට ගෙවන්නට සිදු වනු ඇත.

 

7. දත්ත සහ ඇඩ්වර්ටයිසින්

Image Source – Image Source – youtube.com

අද අතේ බඳින බෙල්ට් එකක් මගින් අපේ හදවතේ රටාව, නාඩි වැටීම, අපි දුවන ඇවිදින සහ කරන ක්‍රියාකාරකම් ආදියේ දත්ත ලබාගත හැකිය. ඉන් පසු ඒ අපේ පෞද්ගලික දත්ත කොහේ හෝ ගබඩා වේ. සරලවම අපි ගූග්ල් තුළින් යමක් සොයා බැලූ විට ඒ සෙවූ දෙය පැයකින් දෙකකින් අපිට අමතක වුවත්, අන්තර්ජාලයේ තැන් තැන්වල අපි සෙවූ දේ කුමක්දැයි යන්න ගබඩා වේ. මෙසේ අන්තර්ජාලයේ ගබඩා වන අපේ ජීවිතයේ කොටස් අපි හිතන තරම්ම ආරක්ෂිත නැත. ඉන් පසු අපේ රුචි අරුචිකම්, උවමනා එපාකම් ගැන කෘත්‍රිම බුද්ධිය සහිත පද්ධතීන්ට වඩාත් හොඳින් දැනගත හැකිය. එවිට අපිට විකුණාගත හැකි බඩුබාහිරාදිය අපේ සෝශල් මීඩියා එකවුන්ට් වල සහ ඇප්ස් වල පෙන්නුම් කරයි. මෙය අපේ දත්ත කෘත්‍රිම බුද්ධිය විසින් භාවිතා කොට අපිට භාණ්ඩ සේවා අලෙවි කරන්නට පාවිච්චි වෙන අවස්ථාවකි.

මෙහි හොඳක්ද තිබේ.  අපිට උවමනා කරන වැදගත් යමක් නම් එය ගැන අවශ්‍ය වෙලාවට, අවශ්‍යතාවය අඳුරගෙන දැන්වීම් පෙන්වීම වාසියකි. එහෙත් යම් වෙළඳ භාණ්ඩයක් හෝ සේවාවක් කෙරේ උවමනාවක් කෘත්‍රිමව හදා, ඒවා බලෙන් මෙන් අපේ ඇඟ ගස්සවන්නට යන තැනට පත් වුවහොත් එය හානියකි.

 

මිනිසාගේ වාසියට යොදා ගත් කෘත්‍රිම බුද්ධිය දියුණු ලෝකයක් තනන්නට ඉඩකඩ ලබා දුන්නේය. කෘත්‍රිම බුද්ධිය මගින් අපේ මිනිස් සිරුර, පරිසර පද්ධති, පරමාණු අණු, රසායනික පද්ධති ආදිය වඩාත් පහසුවෙන් අවබෝධ කරගැනීමට මිනිස් මොළවලට සහයෝගය ලබා දුන්නේය.  කෘත්‍රිම බුද්ධිමය සහායෙන් සුපිරි පරිගණක පද්ධති වලින් මිනිස් සිරුරේ පද්ධති නවීන ලෙස ගවේෂණය කළේය. ඒවා මගින් මිනිස් ලෙඩරෝග, ව්‍යාධි වලට නව ඔසු සොයාගන්නට මිනිසාට හැකි විය. එහෙත් එකම උපකරණය වුවද විවිධ කාර්යයන්ට යොදාගැනීමට මිනිසාට හැකිය. එසේම අපගේ බුද්ධියේ සහයට ගත් කෘත්‍රිම බුද්ධිය අනාගතයේ විවිධාකාර විෂමාචාර වෙනුවෙන්ද යොදාගැනීමට මිනිසා පෙළඹෙනු ඇත.

Cover Image Source – akuaroworld.com/ youtube.com

 

 

Leave a Reply

Your email address will not be published.