දැන් කොල්ලෝ ගත්තහම ඉන්නවා කාන්තාවෝ විෂයේ එක්ස්පර්ට්ලා. ආයෙ ගෑණු ළමයෙක් තමන් දිහා බලන විදිය අනුව මේ කොල්ලො දන්නවා, ඒ ගෑණු ළමයා නිකම්ම ෆ්‍රෙන්ඩ්ලි අදහසක් විතරද තියෙන්නේ, එහෙම නැතිනම් ඊට එහා ගියපු කැමැත්තක් ඇතුවද ඉන්නේ කියන එක. එතකොට ඒ විදියේ එක්ස්පර්ට් ඩයල්ස් දන්නවා මොන ගෑණු ළමයා එක්ක මොන ලෙවල් එකෙන්ද ගනුදෙනු කරන්නේ කියන එක.
හැබැයි තවත් කොල්ලෝ ඉන්නවා, ඒ අයට මේ ගැන කිසිම අදහසක් නෑ. සමහර විට ලෝකේ වැඩිහරියක් ඉන්නේ ඔය කාන්තා පාර්ශවයේ ඉඟි බිඟි කිසිසේත්ම වටහාගන්න බැරි පිරිමි උදවිය වෙන්නත් පුළුවන්. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ, මේ අයට හිතාගන්න බැහැ ගෑණු ළමයෙක් තමන් එක්ක කතා කරනකොට වුණත්, ඒ ගෑණු ළමයා තමන් එක්ක ෆ්ලර්ට් කරනවද, තමන් ගැන කැමත්තක් ඇතුව කතාබහ කරනවද, එහෙම නැතිනම් නිකම් සුහද වීමක්, මිත්‍රශීලී වීමක් විතරද එතන තියෙන්නේ කියලා. සමහර වෙලාවට ඒ නොදැනුවත්කම නිසා අතට ආපු චාන්ස් මිස් වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අනවශ්‍ය ප්‍රශ්න වලට පැටලෙන්නත් පුළුවන්.
ආන්න ඒ නිසා අපි කල්පනා කළා, ගෑණු ළමයෙක් ඇත්තටම කැමැත්තෙන් තමන් එක්ක ෆ්ලර්ට් කරනවද, එහෙම නැතිනම් නිකම් සුහදත්වයක් විතරක් පෙන්නනවද කියන එක අඳුනගන්න පුළුවන් ක්‍රම සහ විධි කීපයක් ගැන කියලා දෙන්න!
1. මං සිංගල් කියලා අඟවනවා නං
මෙන්න මේක නං ෂුවර් ඇන්ඩ් ෂොට් ෆ්ලර්ටින්ග් ටෙක්නික් එකක්. ඒ කියන්නේ, ටිකක් දුර දෙන්නා කතාබහ යනකොට, අපි අහන්න කලින්ම අඟවනවා තමන් සිංගල් කියලා. ඇත්තටම ගොඩක් වෙලාවට වෙන්නේ කොල්ලෝ පැනලා ඕක අහනවා වක්‍රාකාරීව හරි. “ඔයා මාත් එක්ක කතා කර කර ඉන්න එකට බෝයිෆ්‍රෙන්ඩ් මොනව කියයිද දන්නෑ නේද?” එහෙම ඇහුවහම ඉතින් සිංගල් කියලා අඟවන උත්තරේ එන්නත් පුළුවන්, නැතිවෙන්නත් පුළුවන්. හැබැයි ඒක නෙවෙයි අපි මේ කියන්නේ. අපි කියන්නේ අපි අහන්න කලින්ම එක්කෝ අපි සිංගල් ද කියලා දැනගන්න ට්‍රයි එකක් දෙන එක. එහෙම නැතිනම් තමන් සිංගල් කියලා අඟවන එක. ගොඩක් වෙලාවට මේක කෙලින්ම අහන එකක් නෑ. හැබැයි වටින් ගොඩින් බෝලේ දාලා බලයි.
2. දිගින් දිගටම ෆලෝ අප් කරනවා නං
ගොඩක් වෙලාවට අපිට සාමාන්‍ය සුහද මිත්‍රශීලී කැමැත්තක් තියෙන ගෑණු ළමයෙක් අපි කතා කළහම සතුටෙන්, කැමැත්තෙන් කතා කරයි. සමහර වෙලාවට ඉඳලා හිටලා හායි හලෝ එකකින් කතාව පටන් ගනී. ඉඳලා හිටලා ගුඩ් මෝර්නින් කියයි. ඒක සාමාන්‍ය මිත්‍රශීලී හැසිරීම. හැබැයි තවත් සමහර ගෑණු ළමයෙක් දවස් පතාම අපිව ටච් එකේ තියාගන්නවා නං, ඒ කියන්නේ ෆලෝ අප් කරනවා නං, හොයලා බලනවා නං, ඒ කියන්නේ ඒක මිත්‍රශීලී සීමාවෙන් එහාට ගියපු කතන්දරයක් කියන එක. මොකද, තමන්ට නිකම මිත්‍රකමකට වඩා ඉන්ටරෙස්ට් එකක් තියෙන මනුස්සයෙක් එක්ක දවස ගාණේ වුනත් කතා කරන්න, චැට් කරන්න ගෑණු ළමයෙක් කැමතියි. හැබැයි ඕක දැනගන්න අමාරුයි තමන් දිනපතාම එල්ලි එල්ලි ගිහින් ෆලෝ අප් කරනවා නම්. නිකමට වගේ එහෙම හැමදාම ගුඩ්මෝනින් ගුඩ්නයිට් කියන්න යන්නෙ නැතුව, පොඩ්ඩක් පැත්තකට වෙලා ඉඳලා බලන්න. එතකොටත් එයා අපිව ෆලෝ අප් කරනවා නම්, ඒ කියන්නේ එයාට තියෙන්නේ අපි ගැන සරල මිත්‍රශීලී හැඟීමක් විතරක් නෙවෙයි.
3. වඩාත් තේරුමක් තියෙන ප්‍රශ්න අහනවා නං
දැන් ඔය සුහද මිත්රශීලීත්වයක් කියන්නේ එල්ලි එල්ලී පැය ගණන් කතා කරන සීන් එකකට නෙවෙයිනේ. ගොඩක් වෙලාවට තියෙන්නේ ස්මෝල් ටෝක් තමා. හැබැයි ඒ ස්මෝල් ටෝක් ලෙවල් එකෙන් එපිටට ගිහින්, වඩාත් තේරුමක් තියෙන ප්‍රශ්න, වඩාත් ඉන්ටරෙස්ටින්ග් දේවල් අපෙන් අහනවා නං, ඒ කියන්නේ ඒ ගෑණු ළමයා අපි ගැන ඇත්තටම දැනගන්න කැමැත්තක් තියෙනවා කියන එක. එයාට අපි ගැන දැනගන්න ඕන. හැබැයි එකක්: එහෙම ඇත්තටම අපිත් එක්ක තේරුමක් තියෙන සංවාද වලට යන්නේ අපිත් එක්ක ඩේට් අවුට් එකකට යන්න කැමතියි කියන එක නොවෙන්නත් පුළුවන්. ඊට වඩා අපිත් එක්ක තේරුමක් තියෙන දෙයක් කතා කරන්න පුළුවන් කියන යාලුමිත්රකමක් තියාගන්න වුවමනාවක් වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා, මේ කාරණාව, අනික් කියපු කාරණාත් එක්ක සිද්ධ වෙනවද කියලා සැලකිලිමත් වෙන එක කෝකටත් හොඳයි.
4. ටචින්ග් ටචින්ග් නං
සාමාන්‍යයෙන් පිරිමි ගිහින් අත්වැරදීමකින් වගේ තමන්ගේ හිත ගියපු ගෑණු ළමයෙක්ගේ අතින් හරි අල්ලන්න ආසයිනේ. හැබැයි එහෙමයි කියලා ගෑණු ළමයි එහෙම තමන් හොඳටම කම්ෆර්ටබල් නොවෙන කෙනෙක් එක්ක ටචී ටචී වෙන්නෙ නෑ. විශේෂයෙන්ම තමන් ඇත්තටම කැමැත්තක් තියෙන කෙනෙක් එක්ක ගෑණු ළමයෙක් ටචී ටචී වෙන්නේ. ආන්න ඒ නිසා, ගෑණු ළමයෙක් අපිව මුණගැහුනහම වැරදීමකින් වගේ අපේ ශරීරයේ කොහේ හරි ස්පර්ෂ කරනවා නං, අපිට හිතාගන්න පුළුවන් එයා අපිත් එක්ක ෆ්ලර්ට් කරන සීන් එකක් තමයි තියෙන්නේ කියලා. එහෙම නැතුව සාමාන්‍ය මිත්‍රශීලී කමක් නෙවෙයි කියලා. එහෙම ස්පර්ෂ කරන්නේ අතින් වෙන්න පුළුවන්, උරහිසෙන් වෙන්න පුළුවන්. හැබැයි ඒ කොහොම ස්පර්ෂ කළත්, ඒ කියන්නේ අපි ගැන සාමාන්‍ය ප්‍රමාණෙට වඩා ලොකු කැමැත්තක් තියෙනවා කියන එක. හැබැයි එකක්: ගෑණු ළමයෙක් එහෙම අපිව ස්පර්ෂ කලා කියලා එයා අපිත් එක්ක ඇඳට යන්න ලෑස්තියි කියලා කියවෙන්නෙ නෑ. අන්න ඒකත් මතක තියාගන්න!
5. බලාගෙන ඉන්නවා නං
මේක නං ඉතින් අමුතුවෙන් මේ ආටිකල් එකෙන් කියන්න වුවමනා නෑ. සාමාන්‍යයෙන් ගෑණු ළමයි හරිම කැමතියි තමන්ට ඇටෙන්ෂන් එක ලැබෙනවා නම්. එහෙම නැතුව තමන්ට එහෙම කනෙක්ෂන් එකක් නැති පිරිමි ළමයෙක්ට ඇටෙන්ෂන් එක දෙන්න ගොඩක් වෙලාවට ගෑණු ළමයි උත්සුක වෙන්නෙ නෑ. හැබැයි බැරිවෙලා හරි එහෙම ඇටෙන්ෂන් එක දෙනවා නං, ඒ කියන්නේ කොල්ලා දිහා කෙල්ල බලාගෙන ඉඳලා අහුවෙනවා වගේ සීන් වෙනවා නං, අන්න ඒ කියන්නේ ෂුවර් එකටම ගෑණු ළමයට පිරිමි ළමයා ගැන සාමාන්‍ය සුහද යාළුමිත්රකමකට එහා ගියපු කැමැත්තක් තියෙනවා කියන එක. එයා අපිත් එක්ක ෆ්ලර්ටි ෆ්ලර්ටි කියන එක තමයි ඒ කියන්නේ!
6. සෙල්ෆීස් එවනවා නං, වීඩියෝ කෝල්ස් ගන්නවා නං
මෙන්න මේකත් ගෑණු ළමයෙක් පිරිමි ළමයෙක් එක්ක සාමාන්‍ය සුහදත්වයකට, මිත්‍රශීලී කමකට එහා ගියපු දෙයක් තියෙනවා කියන්න, ගෑණු ළමයා අපිත් එක්ක කම්ෆර්ටබල් කියන්න පුළුවන් ලක්ෂණයක්. ඒ තමයි, අපි නොඉල්ලාම අපිට එයාගේ සෙල්ෆීස් එවන එක. අපි ඉල්ලලා ඉල්ලලා අමාරුවෙන් ඉල්ල ගන්න සෙල්ෆියක් මේකට අදාළ වෙන්නෙ නෑ. ඒ වගේම, තවත් ෂුවර් ඇන්ඩ් ෂොට් ගෑණු ළමයා අපිත් එක්ක ෆ්ලර්ටි ෆ්ලර්ටි කියලා කියන්න පුළුවන් කාරණාවක් තමයි එයා බය නැතුව, අවුලක් නැතුව අපිට වීඩියෝ කෝල්ස් ගැනීම. මොකද, සාමාන්‍යයෙන් එහෙම පර්සනල් වීඩියෝ කෝල්ස් සාමාන්‍ය මිත්‍රකමක් තියෙන කෙනෙක් එක්ක ගන්න එකටත් ගෑණු ළමයි සෑහෙන්න අන්කම්ෆර්ටබල්. ඒක ඒ අයට සෑහෙන්න ලොකු ඩීල් එකක්. එහෙම තියෙනකොට එයා අපිත් එක්ක වීඩියෝ කෝල් එකක් ගන්නවා කියන්නෙම සාමාන්‍ය මිත්‍රශීලී කමකට එහා ගියපු ලොකු කැමැත්තක් අපි ගැන තියෙනවා කියන එක තමයි.
7. සෙක්ෂුවල් පැත්තට කතන්දරේ යනවා නං
මෙන්න මේක ටිකක් ට්‍රිකී කාරණාවක්. ඒ තමයි, කතාබහ ටිකක් සෙක්ෂුවල් පැත්තට නැඹුරු වෙන එක. සාමාන්‍යයෙන් වෙන දේ තමයි කොල්ලෝ ඔය පියවරය ඉස්සර වීම. එතකොට සමහර වෙලාවට අර සුහදත්වය කඩන්න බැහැයි කියලා හිතෙන නිසා හරි, තමන් බොහොම විවෘත වීම නිසා හරි ගෑණු ළමයත් ඒ දේවල් ගැන පොදුවේ කතා කරන්න පුළුවන්. හැබැයි ඒ දේවල් ගැන කතා කරන එක සමහර වෙලාවට ගෑණු ළමයා අපිත් එක්ක තියෙන සුහදත්වය හරි නැතිවෙන්නත් හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි අපි හිතමු අපි ඔය සබ්ජෙක්ට් එකට ගෑවුණු දෙයක් හරි කතා කරන්න ඉස්සර නොවී, ගෑණු ළමයම අපිත් එක්ක පොඩ්ඩක් කතාව සෙක්ෂුවල් පැත්තට බර කරනවා කියලා. ඒ කියන්නේ පොදුවේ රටේ ලෝකේ ලිංගිකත්වය ගැන තියෙන ප්‍රශ්න, සෙක්ස් එඩියුකේෂන් කොයි තරම් වැදගත්ද වගේ ප්‍රශ්න ගැන නෙවෙයි. ඊට වඩා ඔය ඩබල් මීනින් විහිළු, තමන්ගේ ටේස්ට් එක ගැන ඉඟි කිරීම් වගේ දේවල් කතා කරනවා කියලා. සමහර වෙලාවට ඕක චැට් එකේ නම් එහෙම ඩබල් මීනින් කතා තියෙන මීම් ෂෙයාර් කිරීමක් වගේ වෙන්නත් පුළුවන්. අන්න ඒ කියන්නේ ෂුවර් එකටම එයා අපි ගැන සාමාන්‍ය සුහදත්වයකට, මිත්‍රශීලී කමකට වඩා සෑහෙන්න එහා ගියපු ෆීලින්ග්ස් එක්ක තමයි ඉන්නේ!
දැන් පැහැදිලියිනේ. මෙතනින් කවුරුහරි ගෑණු ළමයෙක් සාමාන්‍ය මිත්‍රශීලී හැසිරීමක් විතරක් නම් පෙන්නන්නේ, කිසිම විදියකට ඒ සීමාව පනින්න යන්න එපා. මොකද, ඒ සීමාව පැන්නොත් වෙන්නේ තමන් නරක මිනිහෙක් ගාණට වැටෙන එක වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට තමන්ගේ පැත්තට කතා කරන්න කවුරුවත් නැහැයි කියන එක හොඳට මතක තියාගන්න ඕන!
Leave a Reply