ප්‍රින්ටරයක් ගමුද? ගන්න කලින් මේ දේවල් ගැනත් හිතලා බලමුද?

ඉස්සර අපි ඩෙස්ක්ටොප් කම්පියුටර් විතරක් ගැන දැනගෙන හිටපු කාලේ, කම්පියුටරයක් එක්කම ප්‍රින්ටරේකුත් ගන්න ප්‍රවණතාවයක් තිබුණා. හැබැයි පස්සේ පස්සේ අපිට ප්‍රින්ට්-අවුට්ස් ගන්න සිද්ධ වෙන ප්‍රමාණය අඩුවීමත් එක්කම ගෙවල් වල ප්‍රින්ටර් පාවිච්චි කරන ප්‍රමාණයත් අඩු වුණා. කොහොමත් දැන් කාලේ හන්දියක් ගත්තහම කමියුනිකේෂන් සෙන්ටර් පහක් හයක් තියෙනවාම තමයි. එතකොට, පොඩි පෙට්ටි කඩ කමියුනිකේෂන් එකක වුණත් කම්පියුටර් ප්‍රින්ට්-අවුට් ගන්න පුළුවන් කම තියෙනවා. ඒ නිසත් ගෙදර ප්‍රින්ටර් වුවමනාව අඩු වුණා.

හැබැයි දැන් තත්ත්වේ වෙනස්. අපි වැඩි දෙනෙක් වර්කින් ෆ්‍රොම් හෝම් තත්ත්වෙට හුරුවෙලා තියෙනවා. එතකොට ඉගෙන ගන්න පොඩි දරුවන්ගේ ඉඳලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දක්වා වැඩිහරියක් ඔන්ලයින් ඉගෙනුම් ක්‍රම වලට හුරුවෙමින් සිටිනවා. ආන්න එතකොට අපිට ආයෙමත් ප්‍රින්ටරයක අවශ්‍යතාවය මතුවෙනවා. ඉතින් ඒ නිසා, අපි කඩේ තියෙන ඕනම ප්‍රින්ටරයක් ගන්න කලින්, අපිට සාක්කුවටත් හරිය​න, අවශ්‍යතාවයටත් හරිය​න ප්‍රින්ටරයක් තෝරගන්න ඕන. ඒකට මෙන්න මේ කරුණු කාරණා දැනගෙන ඉන්න ඕන.

 

1. ඉන්ක්ජෙට් ද? ලේසර් ද?

 

සමහර වෙලාවට අපිට එකම විදියේ සැකසුම් එහෙම තියෙන ප්‍රින්ටර්ස් දෙකක ගණන් වල සැලකිය යුතු වෙනසක් දකින්න පුළුවන්. ආන්න ඒ වෙනස එන්නේ සමහර විට ඒක ඉන්ක්ජෙට් ද ලේසර් ද කියන එක අනුව වෙන්න පුළුවන්. ඉන්ක්ජෙට් ප්‍රින්ටරේක පාවිච්චි වෙන්නේ තීන්ත පුරවපු කාට්‍ර්ජ්. එතකොට ලේසර් ප්‍රින්ටරේක තියෙන්නේ එක්තරා ආකාරයට ඉන්ක් ඩස්ට් එකක් තියෙන ටෝනර් එකක්. එතකොට දෙකෙන් මොකද්ද හොඳ?

ඒක මෙහෙමයි. අපි කියමු අපිට ප්‍රින්ට් කරන්න තියෙන්නේ තනි පාට ඩොකියුමන්ට්ස් එහෙම කියලා. ඒ වගේ වැඩ වලට ලේසර් ප්‍රින්ටර් එකක් එක්සලන්ට්. හැබැයි සම්පූර්ණ වර්ණ තියෙන ඉමේජ්, ෆොටෝ ප්‍රින්ට්අවුට් වලට නම් වඩා හොඳයි කලර් ඉන්ක්ජෙට් ප්‍රින්ටර් එකක්. හැබැයි ලේසර් ප්‍රින්ටරේක ගාණ ටිකක් වැඩි වුණත්, ඒකේ ටෝනර් එකෙන් වැඩි ප්‍රින්ට්අවුට් ප්‍රමාණයක් ගන්න පුළුවන්. හැබැයි ඒ තරම්ම ලොකු ප්‍රින්ට්-අවුට් ප්‍රමාණයක් ගන්න ඉන්ක්ජෙට් ටෝනර් එකකින් බෑ. අනික් අතට කලර් ඉන්ක්ජෙට් ප්‍රින්ට් අවුට් එකකට යන කොස්ට් එකත්, ලේසර් ප්‍රින්ට් අවුට් එකක් එක්ක බලනකොට වැඩියි. හැබැයි ඉතින් ආයෙමත් කියනවා, මාරම කොලිටි කලර් ප්‍රින්ට්-අවුට් වලට නම් ගැලපෙන්නේ හොඳ ඉන්ක්ජෙට් ප්‍රින්ටරයක්.

 

 

2. එතකොට කෝකද ගන්නේ?

 

දැන් උඩ කියපු කරුණු එක්ක පැහැදිළි වෙන්න ඕන මොකද්ද වෙනස කියලා. වෙනස එන්නේ තමන්ට අවශ්‍ය වෙන්නේ මොකක් කරගන්නද කියන එකෙන්. නිකම් තනි පාට ඩොකියුමන්ට්ස් එහෙම නිතර ගැනෙනවා නම් ලේසර් ප්‍රින්ටරයක් තමයි ගන්න ඕන. ඔය ඩොකියුමන්ට් එකක් දෙකක් කලාතුරකින් ගැනෙනවා නම් යන්න මොනොක්‍රෝම්, ඒ කිව්වේ තනිපාට ඉන්ක්ජෙට් ප්‍රින්ටරේකට. ගාණ ඉතාම අඩුයි. එතකොට කලර් ප්‍රින්ටවුට් එහෙමත් ගැනෙනවා නම්, හැබැයි ඒවැයි පාට වල එහෙම මාරම මාර කොලිටියක් අවශ්‍ය නැති නම් යන්න කලර් ලේසර් ප්‍රින්ටරේකට. ඒ කියන්නේ කලර් ලේසර් ප්‍රින්ටර් එකකින් ගන්න ඒවා කොලිටි නැහැ කියන එක නෙවෙයි. ඒකෙන් ෆොටෝ කොලිටියක් එන්නෙ නෑ. එතකොට කලර් ලේසර් ප්‍රින්ටරයක් හොඳයි ඔය කලර්ස් තියෙන ප්‍රසන්ටේෂන්, හෝම්වර්ක් වගේ දේවල් ප්‍රින්ට් කරන්න. කලර් ප්‍රින්ට් අවුට් එකක වුණත් කොස්ට් එක අඩුයි කලර් ලේසර් ප්‍රින්ටර් එකකදී.

මාරම කොලිටි කලර් ප්‍රින්ට් අවුට්, ඒ කියන්නේ ෆොටෝස්, ඉමේජස් එහෙම ප්‍රින්ට් කරන්න අවශ්‍ය වෙනවා නම්, හොඳම තෝරාගැනීම වෙන්නේ කලර් ඉන්ක්ජෙට් ප්‍රින්ටරයක්. ඒ ගැන තව කතා කරනවා ඊලඟට.

 

 

3. ෆොටෝ ප්‍රින්ටර්?

 

මේක වෙනම කතා කරන්න හේතුවක් තියෙනවා. දැන් ඔය ගොඩක් දෙනෙක් ඉන්නවා තමන්ගේ හෝම් බිස්නස් එකක් විදියට එක එක විදියේ ක්‍රාෆ්ට් ඇන්ඩ් ආට් වැඩ කරන. ඇත්තටම ඔය ආර්ටි ක්‍රාෆ්ටි වැඩ වාණිජ වශයෙන් කරනකොට ඒකට ප්‍රින්ටර් එකක් තියෙන එක සෑහෙන්න වටිනවා. හැබැයි මේවලදී ගොඩක්ම ප්‍රින්ට් කරන්න වෙන්නේ ෆොටෝස්, ඉමේජස් වගේ දේවල්. ඒවත් හයි කොලිටියෙන් ඕන. ආන්න එතනදී තමයි ෆොටෝ ඉන්ක්ජෙට් ප්‍රින්ටරයක් අවශ්‍ය වෙන්නේ උඩ කියපු විදියට. මේ වගේ වැඩකට ප්‍රින්ටරයක් ගන්නකොට මතක ඇතිව “ෆොටෝ ප්‍රින්ටර් එකක්” කියන නමෙන්ම කියන්න ඕන. මේ වල සාමාන්‍යයෙන් ඉන්ක් කාට්‍රිජස් 6 ඉඳන් 12 දක්වා තියෙනවා. හැබැයි තව දෙයක්, මේ ප්‍රින්ටර් එකකින් ජොලියට ප්‍රින්ට්අවුට්ස් ගන්න බෑ. මේ වගේ ෆොටෝ ප්‍රින්ට් අවුට් එකක කොස්ට් එක සෑහෙන්න ඉහළයි.

කොහොමත් උඩ කාරණාවටත් සම්බන්ධ දෙයක් තමයි, ප්‍රින්ට් අවුට් එකක කොලිටිය මනින්න භාවිතා කරන්න පුළුවන් ඒකකයක් මොකද්ද කියන එක. එතනදී දැනගත යුතු වෙන්නේ DPI කියන එක තමයි. ඒ කියන්නේ Dots per inch නැතිනම් අඟලකට ඩොට්ස් කීයක්ද කියන එක. ඔව්, ෆොටෝ ප්‍රින්ට් එකක් වුණත් විශාලනය කරලා බැලුවහම පේනවා ඇත්තටම ඩොට්ස් වලින් තමයි ප්‍රින්ට් අවුට් එකක් හැදිලා තියෙන්නේ කියලා. DPI එක වැඩිවෙන තරමට කොලිටිය වැඩියි.

 

 

4. මල්ටිෆන්ෂන් මැසිමක් ගමුද?

 

මේකත් ගොඩක් වෙලාවට දැන් කාලේ කට්ටිය හිර වෙන තැනක්. ඇත්තටම ඔය ප්‍රින්ටර්ස් විකුණන්න තියෙන වෙබ් සයිට් එකකට එහෙම ගියහම පේන දෙයක් තමයි, අඩු ගණන් වලට ප්‍රින්ට් කරන වැඩේ විතරක් කරලා දෙන ප්‍රින්ටර්ස් තිබුණත්, ටිකක් මිල ඉහළ යනකොට ඒ ප්‍රින්ටර්ස් වල තියෙන ෆන්ක්ෂන්ස්, ඒ කියන්නේ හැකියාවන් වැඩි වෙනවා කියලා. ගොඩක් වෙලාවට ඔය විදියේ ඉන්ක්ජෙට් හෝ ලේසර් ප්‍රින්ටර්ස් නම් කෙරෙන්නේ all-in-one කියලා. ඒ කියන්නේ මේ ප්‍රින්ටර්ස් වල ස්කෑනින් හැකියාව, ෆැක්ස් කරන්න පුළුවන් කම සහ තවත් විවිධ හැකියාවන් තියෙනවා.

දැන් අපිට ඕවා ඕනද? ආන්න ඒකත් තීරණය කරන්න ඕන, ප්‍රින්ටර් එකෙන් අපි කරන වැඩ වලින්. තව අවුරුදු දහයකින් සමහර විට මම කමියුනිකේෂන් එකක් දායි, අන්න ඒකට ඕල් ඉන් වන් එකක් තියෙන එක හොඳයි කියලා හිතලා වැඩිපුර වියදමක් දරලා මල්ටිෆන්ක්ෂන් ප්‍රින්ටරයක් ගන්න එක තේරුමක් නෑ. අද කරන වැඩ වලට ඔය ෆන්ක්ෂන්ස් අදාළ වෙන්නෙ නැති නම්, බේසික් ප්‍රින්ටරයක් ගන්න.

 

 

5. කේබල්ද? වයිෆයිද?

 

ඇත්තම කිව්වොත් මේකත් හොඳට හිතලා බලන්න ඕන කාරණයක්. සාමාන්‍යයෙන් පොදුවේ දකින්න තියෙන ප්‍රින්ටර් වර්ගේ තමයි USB කනෙක්ෂන් එකකින් කොම්පියුටරේට සම්බන්ධ වෙන ප්‍රින්ටර්ස්. ගොඩක් වෙලාවට මේවල තියෙන්නේ USB-A ස්ටෑන්ඩර්ඩ් කනෙක්ටරයක්. ඕන නම් මේ ඔස්සේ එක්ස්ටර්නල් හාර්ඩ්, පෙන් ඩ්‍රයිව් එහෙම ගහලා ප්‍රින්ට්-අවුට් ගන්නත් පුළුවන්, ඒකට පහසුකම් තියෙන ප්‍රින්ටර් එකක නම්.

ඒ එක්කම තව ප්‍රින්ටර්ස් තියෙනවා ඊතර්නෙට් කේබල් එකකින් සම්බන්ධ කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය ඔෆිස් නෙට්වර්ක් එකක හෝ හෝම් නෙට්වර්ක් එකක තියෙන ප්‍රින්ටරේකට ඕක හොඳ විකල්පයක්. ඒත් ගෙදරකට නම් ඉතින් ඒක ඒ තරම් තේරුමක් නැතිවෙයි.

තුන්වෙනියට තියෙනවා වයිෆයි තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන ප්‍රින්ටර්ස්. මේවා තමයි අළුත් කාලෙට අළුත් තාලෙට ගැලපෙන ප්‍රින්ටර්ස්. මොකද, දැන් කාලේ ගෙදර ගත්තත් අපි සෑහෙන්න දුරට ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන්නෙත් වයිෆයි රවුටර්ස් හෝ ස්මාට්ෆෝන්ස් හරහා. අන්න එතකොට, ප්‍රින්ටරේටත් වයිෆයි හැකියාව තියෙනවා කියන්නේ, බොහොම පහසුවෙන් වයිෆයි නෙට්වර්ක් එකේ තියෙන ඕනම උපාංගෙකින් ප්‍රින්ට් අවුට් ගන්න පුළුවන් කියන එක.

ඒ එක්කම තව දෙයක්. දැන් කාලේ තියෙනවා Wi-Fi Direct කියලා පහසුකම් තියෙන ප්‍රින්ටර්ස් එහෙමත්. ඒ කියන්නේ ගෙදර පොදු වයිෆයි නෙට්වර්ක් එක ඔස්සේ නෙවෙයි ප්‍රින්ටර් එක සම්බන්ධ වෙන්නේ. තමන්ට අවශ්‍ය උපාංගය සහ ප්‍රින්ටර් එක අතර සෘජු වයිෆයි සම්බන්ධතාවයක් තියෙන්නේ. ඇත්තටම මේක වඩාත් ආරක්ෂිතයි.

 

 

6. ස්පීඩ් එක

 

ප්‍රින්ටරේක ස්පීඩ් එක මනින්නේ PPM වලින්. ඒ කියන්නේ Pages per minute නැතිනම් මිනිත්තුවකට පිටු කීයක් ප්‍රින්ට් කරන්න පුළුවන්ද කියන කාරණාව. හැබැයි මේ PPM එක සසඳනකොට කලර් ප්‍රින්ටර් එකක්ද, බ්ලැක් ඇන්ඩ් වයිට් ප්‍රින්ටර් එකක්ද කියන කාරණාවත් මුලින් හිතන්න ඕන. මොකද, කොහොම වුණත් කලර් ප්‍රින්ටර් එකක ප්‍රින්ට් වෙන වේගය අඩුයි. යන වෙලාව වැඩියි.

 

හැබැයි අඩු කාලයක් ඇතුළත ප්‍රින්ට් අවුට් ගොඩක් ගන්න සිද්ධ වෙන දඩිබිඩි කාර්යයන් සිද්ධ වෙන්නෙ නැති නම්, ගෙදරට ප්‍රින්ටර් එකක් ගන්නකොට මේ PPM එක ගැන ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. ඇවරේජ් ගත්තොත් බ්ලැක් ඇන්ඩ් වයිට් ප්‍රින්ටරේක PPM එක පිටු 15 ක් 20 ක් වගේ. එතකොට කලර් ප්‍රින්ටරේක ඇවරේජ් PPM එක පිටු 10 ක් 15 ක් වගේ. හැබැයි ඉතින් මේ වේගය ඊට අඩු වුණත් සාමාන්‍ය වැඩක් කරගන්න ගෙදරට ගන්න ප්‍රින්ටරේක නම් අවුලක් නෑ. මොකද ප්‍රින්ට්අවුට් එකක් එනකල් තත්පර දහයක් පහළොවක් වුණත් බලාගෙන ඉන්න බැරි කමක් නැහැනේ!

 

 

7. බ්‍රෑන්ඩ් නේම් එක

 

 

මේකත් ටිකක් විතර කොම්ප්ලිකේටඩ් කාරණාවක්. මොකද, අපිට කියන්න බැහැ අර බ්‍රෑන්ඩ් එකට වඩා මේ බ්‍රෑන්ඩ් එක හොඳයි වගේ දේවල්. එකම දේ, ඔය අතිශයින්ම අඩු ගණන් වලට තියෙන, දන්න කියන හෝ අහලා තියෙන හෝ ඔන්ලයින් සර්ච් කළහමවත් හරියට හොයාගන්න තියෙන බ්‍රෑන්ඩ්ස් නොවෙන ප්‍රින්ටර්ස් ගන්නවා නම් ටිකක් පරිස්සමෙන්. මොකද, රුපියල් හත් අට දාහකට ඒ වගේ ෂුවර් නැති බ්‍රෑන්ඩ් එකක ප්‍රින්ටරයක් අරගෙන මාස දෙකෙන් හබක් වුණොත්, නැතිනම් ප්‍රින්ට් අවුට් වල හිතපු කොලිටිය නැති වුණොත් ඒ සල්ලි අපරාදේ. හැබැයි හොඳ ප්‍රින්ටර් බ්‍රෑන්ඩ්ස් විදියට සැලකෙන HP, Lexmark, Epson, Kyocera, Brother, Xerox, Canon වගේ බ්‍රෑන්ඩ් එකක ප්‍රින්ටරයක් ගන්න ටිකක් වැඩිපුර ගාණක් ගෙව්වත් කමක් නෑ. මොකද, ඒවට අලෙවි නියෝජිතයෝ ඉන්නවා, සර්විස් කරන්න තැන් එහෙමත් මේ සමහර බ්‍රෑන්ඩ් වලට තියෙනවා. සහ වඩාත්ම වැදගත් දෙයක් විදියට ගත්තොත්, වගකීම් සහතිකයක් ලැබෙනවා.

 

 

දැන් පැහැදිළියිනේ කොහොමද ප්‍රින්ටරයක් ගන්න කලින් කොහොමද ප්‍රින්ටරයක් තෝරගන්නේ කියලා. එතකොට ප්‍රින්ටරයක් ගන්නේ කොහොමද? ඕන නම් printers prices in Sri Lanka කියලා ගූග්ල් සර්ච් කරලා බැලුවොත්, සාමාන්‍යයෙන් ප්‍රින්ටර්ස් වල මිල ගණන් කොහොමද, ඔන්ලයින් මිලදී ගන්න තියෙන්නේ කොගෙද වගේ කරුණු කාරණා දැනගන්න පුළුවන්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *