ඔබේ ලැප්ටොප් එකත් අධිකව රත් වෙනවාද? එහෙමනම් මේ උපදෙස් අනුගමනය කරලා බලන්න.

දැන් කාලේ ලැප්ටොප් එකක් හරි වෙනත් කම්පියුටර් එකක් හරි පාවිච්චි නොකරන කෙනෙක් හොයාගන්න බැරි තරම්නේ. විශේෂයෙන්ම ඔෆිස් වැඩ වලට වගේම ඉගෙනගන්න වැඩ වලටත් ගොඩක් දෙනෙක් පරිගණක පාවිච්චි කරනවා. එතනිනුත් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ ලැප්ටොප් පරිගණක. ඒ භාවිතය පහසු නිසා. 

 

දැන් ඕනම ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක වගේම ලැප්ටොප් එකකත් බොහොම ලේසියෙන් එන්න පුළුවන් ප්‍රශ්න ටිකක් තියෙනවා. ආන්න ඒ ප්‍රශ්න වලින් සුලභව එන්න පුළුවන් ප්‍රශ්න වලට ගොඩක් වෙලාවට වග කියන්න ඕන කරන්නේ අධික උෂ්ණත්වය. ඔව්, ලැප්ටොප් එකක් වැඩ කරනකොට උෂ්ණත්වයක් ජනිත වෙනවනේ. හැබැයි ඕනම ලැප්ටොප් එකක එහෙම ජනිත වෙන උෂ්ණත්වය යම් ප්‍රමාණයකට ඉවත් කරන්න යාන්ත්‍රණයකුත් තියෙනවා. සමහර නවීන ලැප්ටොප් වල මේ හීට් එක අඩු කරන යාන්ත්‍රණයන් හරිම කාර්යක්ෂමයි. හැබැයි එකක්: ඒ මොන යාන්ත්‍රණය තිබුණත්, ලැප්ටොප් එකක් රත් වෙන එක වළක්වා ගන්න අපිට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඇත්තටම එහෙම කරන්න පුළුවන් ප්‍රායෝගික දේවල් ලැප්ටොප් එකේෙන්න පුළුවන් ප්‍රශ්න අඩ්‍ය් කර ගන්න විතරක් නෙවෙයි, ලැප්ටොප් එකේ ආයුකාලය දීර්ඝ කරගන්නත් සෑහෙන්න ප්‍රයෝජනවත්. 

 

ආන්න ඒ නිසා, අපි බලමු ලැප්ටොප් එකත් එක්ක වැඩ කරනකොට අපිට එහෙම හීට් එක අඩු කරගන්න ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් මොනවද කියලා!

 

1. කූලින් පෑඩ්ස්

සාමාන්‍යයෙන් ලැප්ටොප් පරිගණකයක් නිරන්තරයෙන්ම පාවිච්චි වෙනවා නම්, ලැප්ටොප් එක ගන්නකොටම කූලින් පෑඩ් එකකටත් ආයෝජනය කරන එක බොහොම නුවණ තියෙන වැඩක්. ඕන නම් හොඳ කූලින් පෑඩ් එකක් රුපියල් තුන්දාහක්, හාරදාහක් විතර වෙයි. හැබැයි හොඳ කූලින් පෑඩ් එකකින් දේවල් දෙකක් වෙනවා. එකක්, USB එකෙන් බලය ලබාගෙන කූලින් පෑඩ් එකේ තියෙන ෆෑන් වලින්, ලැප්ටොප් එකේ උෂ්ණත්වය ඉවත් කරන්න අමතර උදව්වක් ලැබෙනවා. ඒ, ලැප්ටොප් එකේ තියෙන කූලින් ෆෑන් වලට අමතරව. ඊට අමතරව අපි කූලින් පෑඩ් එකක් උඩ ලැප්ටොප් එක තියලා තියෙනකොට, ලැප්ටොප් එක ඒක තියලා තියෙන මතුපිටින් උඩට එසවෙනවා. අන්න ඒකෙන් ලැප්ටොප් එකේ උෂ්ණත්වය සංවහනයෙන් සාර්ථකව ඉවත් වෙන්නත් ඉඩ සැලසෙනවා. සමහර වෙලාවට කූලින් පෑඩ් එකේ ෆෑන්ස් වැඩ නොකර තියෙන වෙලාවට පවා ලැප්ටොප් එකේ උෂ්ණත්වය ඉවත් වෙන්න, මේ විදියට මතුපිටින් ලැප්ටොප් එක එසවෙන විදියට තියාගන්න එක උදවු වෙනවා.

 

2. දවස් 365 ම ඔන් එපා!

සමහරුන්ට තමන්ගේ සියලුම ඔෆිස් වැඩ, ඉගෙන ගන්න වැඩ කරගන්න වෙන්නේ ලැප්ටොප් එකෙන්. ඒක තේරුම් ගන්න පුළුවන් දෙයක්. විශේෂයෙන්ම මේ කාලේ වර්කින් ෆ්‍රොම් හෝම් ඇරේන්ජ්මන්ට් වලදිත් දිවා රෑ නැතුව ලැප්ටොප් එක ඔන් එකේ තියෙන්නේ. හැබැයි ඒක ලැප්ටොප් එකේ ආයුකාලයට ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඇයි? ලැප්ටොප් එක ඕෆ් කරලා තියෙන වෙලාවක් නැහැයි කියන්නේ, ඒකට පොඩ්ඩක් කූල් වෙන්න වෙලාවක් නැහැයි කියන එක. දැන් මනුස්සයෙක් වුණත් එක දිගටම නින්දක් නැතුව වැඩ කරනකොට දවසක් දෙකක් යනකොට සිස්ටම් එක අවුල් යන්නෙ නැද්ද? ලැප්ටොප් එකක් ඊට වඩා සෑහෙන්න කාලයක් එක දිගට වැඩ කරන්න යොදවගන්න පුළුවන් වග ඇත්ත. හැබැයි ඒකෙන් ලැප්ටොප් එක රත් වෙන ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. අන්න ඒ නිසා, ලැප්ටොප් එකට දවසකට වරක් වත් පොඩි රෙස්ට් එකක් දෙන්න. විශේෂයෙන්ම තමන්ට රෙස්ට් එකක් ගන්න අවශ්‍ය වෙන වෙලාවට, ලැප්ටොප් එක ඔහේ ඔන් එකේ තියලා යන්නෙ නැතුව හයිබර්නේට් කරල හරි යන්න.

 

3. උෂ්ණත්වය පිට වෙන තැන් වහන්න එපා!

මෙන්න මේ කාරණාව නිසා තමයි විශේෂයෙන්ම අර ලැප්ටොප් එක තියලා තියෙන මතුපිටින් පොඩ්ඩක් උඩට එසවිලා තියෙන විදියේ කූලින් පෑඩ් එකක් හරි, ඒ වගේ වෙනත් දෙයක් හරි පාවිච්චි කරන්න කියන්නේ. ලැප්ටොප් එකේ ෆෑන්ස් වගේම, වෙන්ටිලේෂන් එකට, ඒ කියන්නේ උෂ්ණත්වය පිටවෙන්න හදපු විවර තියෙනවා. එතකොට ලැප්ටොප් එක තියලා තියෙන විදියට ඒ විවර ආවරණය වෙනවා කියන්නෙම, ලැප්ටොප් එක දුවනකොට ඇතිවෙන උෂ්ණත්වය කාර්යක්ෂමව පිට වෙන්න තියෙන ප්‍රධාන ක්‍රමයක් අවහිර වෙනවා කියන එක තමයි. අන්න ඒ නිසා, ලැප්ටොප් එක හැම වෙලේම ඒකේ තියෙන උෂ්ණත්වය පිට වෙන විවර අවහිර නොවෙන විදියට තියන්න. ඒ කියන්නේ ලැප්ටොප් එක වටේම බංකර් එකක් ගහලා වගේ පොත් පත් අනං මනං හිර කරලා තියන්නත් එපා කියන එක තමයි. ලැප්ටොප් එක ඉඩ පහසුව ඇති තැනක තියාගන්න.

 

4. අධික රස්නය තියෙන කාලගුණේ

දැන් අපි ජීවත් වෙන්නේ යුරෝපයේ නෙවෙයිනේ. අපි ජීවත් වෙන්නේ සමකාසන්න රටක. සමකය ආසන්නයේ තියෙන රටක් විදියට සාමාන්‍යයෙන් අවුරුද්දේ සැලකිය යුතු කාලයක් අපිට දැඩි උෂ්ණත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට අපිට විතරක් නෙවෙයි, අපි පාවිච්චි කරන ලැප්ටොප් ඇතුලු ඉලෙක්ට්‍රොනික ගැජට් බැජට් වලටත් ඒ උෂ්ණත්ව ගැටළුවට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ඉතින් අපිට කාලගුණේ වෙනස් කරන්න බැහැනේ. ඒත් ඉතින් අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. එකක් තමයි තමන් එක දිගටම ලැප්ටොප් එක පාවිච්චි කරනවා නම්, ටිකක් අඩු උෂ්ණත්වයක් තියෙන තැනක් ඒකට තෝරගන්න එක. ඒ වගේම, අධික උෂ්ණත්වය තියෙන දවස් වලදී එක දිගටම ලැප්ටොප් එක දුවවන්නේ නැතුව ඒකටත් රෙස්ට් එකක් දෙන එක.

 

5. බර අදින්න එපා!

ලැප්ටොප් එකක් අධික වශයෙන් බර අදිනකොටත් ඒක වේගෙන් රත් වෙන්න පටන් ගන්නවා කියන එක ලැප්ටොප් පාවිච්චි කරන ඕනම කෙනෙක්ට තේරෙන්න ඕන කාරණාවක්. අන්න ඒ නිසා, අනවශ්‍ය විදියට තමන්ගේ ලැප්ටොප් එකෙන් බර අදින්න එපා කියන එකත් උපදෙසක් විදියට අපිට දෙන්න වෙනවා. ඒ කියන්නේ, මැෂින් එක ස්ටක් වෙවී දුවන විදියේ වැඩ ගොඩක් එක පාර කරන්න යනවා කියන්නේම, හිතාගන්න බැරි විදියට ලැප්ටොප් එක හීට් වෙන්න පටන් ගන්නවා කියන එක. එහෙම අපේ බර ටික ඇදලා දෙන්න ගිහින් ලැප්ටොප් එකේ සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක වැඩි වැඩියෙන් හීට් වෙනකොට, ලැප්ටොප් එකේ ෆෑන් එකේ ස්පීඩ් එකත් වැඩි වෙනවා. හැබැයි ඉතින් ඒකේ සීමාවක් තියෙනවනේ. එතකොට වෙන්නේ ලැප්ටොප් එක අප්සට් ගහන තරමට හීට් එක වැඩි වෙන එක තමයි!

 

6. ක්ලීන්-අප් එකක්

අපි අන්තිමටම කියලා තියෙනවා මේ ලැප්ටොප් එකක් හීට් වෙන ප්‍රශ්නේ අවම කරගන්න අවුරුද්දකට සැරයක් වත් ලැප්ටොප් එක සර්විස් කරන්න කියලා. හැබැයි ඒ කියන්නේ භෞතිකව කරන සර්විස් කිරීමක් ගැනනේ. ඊට කලින් අපි බලන්න ඕන ලැප්ටොප් එකේ මෙහෙයුම් පද්ධතියත් පොඩ්ඩක් ක්ලීන් කරන්න. උදාහරණයක් විදියට කිවුවොත්, කාලෙකට සැරයක් ලැප්ටොප් එක හොඳට චෙක් කරලා, ඒකේ තියෙන අනවශ්‍ය සොෆ්ට්වෙයාර් අයින් කරන එක, සැකකටයුතු සොෆ්ට්වෙයාර් කොහොමත් අයින් කරලා දාන එක අත්‍යාවශ්‍යයි. ඊට පස්සේ ඩිස්ක් ක්ලීන්-අප් එකක් කරලා, ඩිස්ක්-ඩිෆ්‍රැග්මන්ටේෂන් එකක් කරලා, රතු කට්ට පනින්නම හාඩ් එක පිරිලා නම් පොඩ්ඩක් ඒ බර හෑල්ලු කරලා ගත්තා නම්, ඒකත් ලැප්ටොප් එක හීට් වෙන එක වළක්වන්න සෑහෙන්න උදවුවක් වෙයි.

 

7. සර්විස් කිරීම්

මේක ඉතින් අපි ගොඩක් දෙනෙක් නොකරන, හැබැයි කරනවා නම් ලැප්ටොප් එකේ ආයුකාලය හිතාගන්න බැරි විදියට දීර්ඝ වෙන දෙයක්. ඒ කියන්නේ කාලෙන් කාලෙට ලැප්ටොප් එක සර්විස් කරන එක. මේක අවුරුද්දකට පාරක් කළත් කමක් නෑ. තමන්ට ඒකට දැනුමක් නැති නම් හොඳ ලැප්ටොප් රෙපයාර් කරන ටෙක්නීෂියන් කෙනෙක් ගාවට යන්න පුළුවන්. කරන්න තියෙන්නේ ලැප්ටොප් එක ඇතුළේ එකතු වෙලා තියෙන කුණු, දූවිලි ඉවත් කරලා, ලැප්ටොප් එකේ වාතය සංසරණය සඳහා හදලා තියෙන අපි අර උඩිනුත් කියපු විවර වැහෙන්න බැඳිලා තියෙන දූවිලි එහෙම අයින් කරලා සර්විස් පාරක් දාන එක. කම්පියුටර් වැඩ දන්නවා නම් ඇත්තටම ඒක අපිටම වුණත් කරගන්න පුළුවන්. අර හෑන්ඩ් හෙල්ඩ් වැකියුම් ක්ලීනර් එකක් ගත්තා නං, වැඩේ තව ලේසියි!