ලෝකය න්‍යෂ්ටික බලාගාර එපා කියන්නේ ඇයි?

හමුදාවක් ගත්තාම සාමාන්‍ය​යෙන් පාබල, ගුවන් සහ නාවුක බලයෙන් සන්නද්ධ වෙනවා. නියුක්ලියර් එහෙම නැතිනම් පරමාණුක බලයත් ඒ වගේ. පරමාණුක බලය ජලයෙන්, ගුවනින්, සහ කෙලින්ම විකිරණ මගින් කෙටි කාලීනව සහ දිගුකාලීනව මිනිස්සුන්ට අහිතකරව බලපාන්න පුළුවන්. මෑතකදි ජනප්‍රිය වුනු ‘චර්නොබිල්’ ටීවී සිරීස් එකේ මේ න්‍යෂ්ටික බලාගාරයක තියෙන සැ​ඟවුණු අනතුර කදිමෙට පෙන්නුම් කරනවා. ඇමරිකානු නිෂ්පාදනයක් වුනු චර්නොබිල් ටෙලි සීරිස් එක නම් න්‍යෂ්ටික අනතුරට වඩා එවකට රුසියාවේ කොමියුනිස්ට් පාලනය විවේචනය කරන්න උත්සාහ අරගෙන තිබුනා. ඒත් ෆිල්ම් එකේ සහ ඇත්තම කතාව අනුවත් එවකට සෝවියට් දේශයේ පොදු දේ වෙනුවෙන් මිනිසුන්ගේ තිබුන අසීමිත කැපවීම්, චර්නොබිල් අනතුරින් පස්සේ එහි බලපෑම් අඩු කරගන්න දායක වෙලා තියෙනවා.

 

1. පරමාණුක බලයෙන් විදුලිය නිපදවීම

යුරේනියම්, ප්ලූටෝනියම් වගේ විකිරණශීලී අමුද්‍රව්‍ය යොදාගන ඒවා න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කරද්දි හිතාගන්න බැරි විශාල බලයක් ජනනය වෙනවා. මහා විනාසයක් සිද්ද වුනු හිරෝෂිමා පරමාණු බෝම්බයට ඇමරිකාව යොදාගෙන තිබුනේ පරමාණුක අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 64ක් පමණයි. ඒ වුනාට එහි බලපෑම හිරෝෂිමා නගරය සිසාරා පැතිරුණා. න්‍යෂ්ටික ආයුධයක් කියන්නේ තවදුරටත් අවියකට වඩා සමූලඝාතන ක්‍රියාවලියක් වෙන්න පුළුවන් ඉඩක​ඩ වැඩියි. ඒ නිසා න්‍යෂ්ටි​ක අවි සම්බන්ධ​යෙන් මුලු ලෝකයම අද වෙනකොට අවධානය යොමු කරලා ඉවරයි.

 

2. න්‍යෂ්ටික පිපිරීමක අහිතකර බලපෑම

න්‍යෂ්ටික පිපිරීමකින් එසැනින් එන පිපිරුම් බලය මගින් විශාල ප්‍රදේශය​ක ඇති දේවල් විනා​ශ වෙනවා. ඒ වගේම ඒ මගින් ඇතිවෙන විකිරණ මගින් මිනිසුන්ට දිගුකාලීනව හානි වෙනවා. මේ විකිරණශිලී ද්‍රව්‍ය වායුව ස​හ ජලය හරහා අවට ප්‍රදේශවල​ට පැතිරෙන්නත් ඉඩකඩක් තියෙනවා. විකිරණශිලී ද්‍රව්‍යවලට කෙලින්ම නිරාවරණය වීමෙන් කෙලින්ම ඇතිවන අනතුරු වගේම පරම්පරා ග​ණනාවක් යනතෙක් ඉපදෙන දරුවන්ට විකෘතිතා ඇතිවෙන්න තරම් දරුණු බලපෑම් සිද්​ධ වෙනවා. සාමාන්‍ය රසායනික පිළිස්සීමක් ඒ අවස්ථාවේ පමණයි බලපාන්නේ. ඒත් විකිරණශිලී ද්‍රව්‍යවල බලපෑම එසේ කෙලින්ම ඇතිවෙන දේවල් වගේම සිරුර අභ්‍යන්තරවත් පරම්පරා ග​ණනාවක් යනතෙක් බලපානවා. සාමාන්‍ය දෙයක් වගේ විකිරණශිලී ද්‍රව්‍ය ලේසියෙන් ඉවත් කරන්නත් අමාරුයි. ඒ නිසා න්‍යෂ්ටික පිපිරීමක් කියන්නේ හැම අතින්ම දරුණු ප්‍රති​ඵල දෙන භයානක දෙයක්.

 

3. න්‍යෂ්ටික බලයේ වාසි

න්‍යෂ්ටික ශක්තිය අවදානම් සහිත වුනත් ලෝකයේ දියුණු රටවල තවමත් න්‍යෂ්ටික ශක්තිය විදුලිය නිපදවීමට යොදාගන්නවා. යම් කාන්දුවක් හෝ පිපිරීමක් සිදුවුනොත් පරිසරයට ලොකු හානියක් න්‍යෂ්ටික බලාගාර වලින් වෙනවා. ඒත් ජල විදුලිය, ගල් අඟුරු ආදී බොහෝ විදුලි උත්පාදන ක්‍රමවලට වඩා පරමාණුක බලය මහා පරිමාණයෙන් නිෂ්පාදන​ය කරද්දි ලාබයි. ඒ වගේම සිදුවන පරිසර හානියත් ගල් අඟුරු බලාගාර ස​හ ජල විදුලි බලාගාර එක්ක බැලුවාම බොහොම අඩුයි. ජල විදුලිය වැඩි හානියක් නැහැ කියලා බැලූ බැල්මට පේනවා. ඒත් ගලන විශාල ජල පහරක් අපේ අවශ්‍යතාවන් අනුව තැන් තැන් වලින් නවත්වා ගත්තම ඒ ජලය ගලායන පරිසර පද්ධති වලට ලොකු බලපෑමක් සිද්​ධ වෙනවා. ඉතින් ලාබය සහ පරිසරයට තියෙන අවම බලපෑම් නිසා තාක්ෂණ​ය මගින් අනතුරු අවම කරගෙන පරමාණු බලාගාර ක්‍රියාත්මක කරන්න ලෝකයේ රටවල් උත්සාහ ගන්නවා. ඒ වගේම දියුණු රටවල න්‍යෂ්ටික බලයට එරෙහි විරෝධතාත් ඇතිවෙලා තියෙනවා.

 

4. චර්නොබිල් සහ ෆුකුෂිමා

සෝවියට් සංගමයේ ප්‍රකාශකයින් කියලා තිබුන විදියට චර්නොබිල් ප්‍රහාරය සෝවියට් දේශය කියන මහා රාජ්‍ය බි​ඳ වැටීමටත් එක හේතුවක් වෙලා තිබුනා. නිසි ආරක්ෂිත ක්‍රමවේද ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක කරන්න අසමත් වුන නිසා චර්නොබිල් අනතුරු සිද්ද වුනා කියලා තමයි පිළිගත් මතය වෙන්නේ. චර්නොබිල් අනතුරින් ඒ ස්ථානයේ සිටි සේවකයින් සියල්ලම පාහේ ශරීරාබාධවලට ලක් වුනා. ෆුකුෂිමා බලාගාරය 2011 දී පුපුරා ගියේ ඇතිවූ සුනාමි තත්ත්වයකින්. එතැනදීත් අවශ්‍ය කරන ආරක්ෂිත ක්‍රියාමාර්ග අරගෙන තිබුනේ නැහැ කියලයි කියවුනේ. මේ අවස්ථා දෙකේදීම වර්ග කිලෝමීටර සිය දාස් ගා​ණක සිටි ජනතාවට සිය ගම් බිම් අත් හැරලා යන්න වුනා. ඒ ස්ථාන දෙකම දැනට මිනිස්සුන්ට පිවිසෙන්නට බැරි තැන් විදියට නම් වෙලා තියෙනවා. ජපානය කියන්නේ ලේසියෙන් විදුලිය විසන්ධි වෙන්නෙ නැති රටක්. ෆුකුෂිමා විපතත් එක්ක ජපානයේ ජනතාවට විදුලිය නැතිව දවසක් දෙකක් ඉන්නට වුනා. හැමදේම විදුලියෙන් ක​ළ ජපානයට මේක දරාගන්නට අමාරු බලපෑමක් සිදුකළා.

 

5. පිපිරීමක් නැති වුනත් වෙන්න හැකි හානි

ගල් අඟුරු බලාගාරයකින් සාමාන්‍යයෙන් එක් කිලෝවොට් පැයක බලයක් ජනනය කරන්න කාබන් ​ඩයොක්සයිඩ් ග්‍රෑම් හාරසීයකට වඩා පරිසරයට මුදාහරිනවා කියලා හොයාගෙන තියෙනවා. න්‍යෂ්ටික බලයේදී එහෙම අහිතකර කාබන් ​ඩයොක්සයිඩ් එකතු වීමක් සිදු වන්නේ නැහැ. එත් අධික ලෙස රත් වූ ජලය අවට පරිසරයට මුදා හරින්නට බලාගාරයක​ට සිදු වෙනවා. හානි අවම කිරීමට යම් යම් වෙනස්කම් සිදුකර එම ජලය නිකුත් ක​ළත් ඒ තුලින් ඒ අවට ජලයේ ජීවින්ට යම් බලපෑමක් වෙනවා. න්‍යෂ්ටික බලාගාර කොතරම් හොඳින් ක්‍රියාත්මක වුනත් න්‍යෂ්ටික මූලද්‍රව්‍ය වන යුරේනියම්, ප්ලූටෝනියම් ලබාගැනීමට සිදුකරන කැණිම් බොහෝවිට ඒ අදා​ළ රාජකාරි කරන කම්කරුවන්ට අහිතකර බලපෑම් ඇති කරනවා. ඒ වගේම පාවිච්චි කරන ලද විකිරණශීලී අපද්‍රව්‍ය වලට මොක​ද කරන්නේ කියන එකත් න්‍යෂ්ටික බලයේදී ගැටලුවක්. ඇමරිකාව ඒවා විශාල කන්දක අභ්‍යන්තරයේ තැන්පත් කරනවා. එහෙත් ගිනි කඳු බලපෑමකින් ඒ කන්දක් විදාරණය වුනොත් එයින් විශාල හානියක් වෙන්න පුළුවන් කියලා ‘ග්‍රීන් පීස්’ වගේ සංවිධාන සැක පහල කරලා තියෙනවා.

 

6. තිබෙන ආරක්ෂිත පියවර

න්‍යෂ්ටික බලාගාරවල පිපිරීම් ඇතිවූ චර්නොබිල් සහ ෆුකුෂිමා යන අවස්ථා දෙකේදීම නිසි ආරක්ෂිත වැඩපිළිවෙල් නිසි අයුරින් ක්‍රියාත්මක කරන්නට බැරිවීම එවැනි විනාශයක් ඇතිවී​මට හේතු වුනා. 1986 දී චර්නොබිල් බලාගාරයේ තිබුන තාක්ෂණයට වඩා අද වනවිට පරමාණුක බලාගාර තාක්​ෂණික අතින් දියුණු වෙලා තියෙනවා. ජපානයේ ෆුකුෂිමා බලාගාර පිපිරීම් වලට සුනාමි තත්ත්වය හේතු වුනා. ඒ වැනි ස්වාභාවික විපත් වගේම ත්‍රස්​තවාදී ක්‍රියා ස​හ යුදමය තත්ත්වයන් හේතුවෙන් ඇති විය හැකි අවදානම් ගැනත් අද වනවිට න්‍යෂ්ටික බලාගාර සැලකිලිමත් වෙලා තියෙනවා. යම් අනතුරුදායක වටපිටාවක් ආවොත් විනාඩි කිහිපයකින් සම්පූර්ණ බලාගාරයම ආරක්ෂිත ලෙස අක්‍රිය කරන්නත් අද වෙද්දි පුළුවන් වෙලා තියෙනවා.

 

7. ලෝක තත්ත්ව​ය

මේ වෙද්දි ​ලෝකයේ න්‍යෂ්ඨික බලාගාර 450කට ආසන්න සංඛ්‍යාවක් තියෙනව කියල වාර්තා වෙනව. ඒ වගේම 50 ගණනක් තව ගොඩනැගෙමින් පවතිනවා. ජර්මනිය දැන් න්‍යෂ්ටික බලාගාර වලින් ඈත් වෙලා සූර්ය බලය, සුලං බලය වැනි ස්වාභාවික ශක්ති ප්‍රභව කෙරෙහි වැඩි විශ්වාසයක් තබන්නට පටන් අරගෙන තියෙනවා. ඇමරිකාවේ නම් තවමත් විශාල ප්‍රමාණයේ බලාගාර ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ නම් තවමත් පරමාණුක බලාගාර ගැන කතාවක් නැහැ. ඒත් පසුගිය කාලේ දකුණු ඉන්දියාවේ බලාගාර ඉදිකිරීමක් ගැන සලකා බැලීමක් වාර්තා වෙලා තිබුනා. කොහොම වුනත් ඕනිම අභියෝගාත්මක අනතුරුදායී දෙයක් නිසි පරිදි පාවිච්චියට ගන්න මිනිසා සමත් වුනා. ඒත් එක්ක න්‍යෂ්ටික බලයත් දැඩි ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ වඩාත් සාර්ථකව බලශක්තියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා විද්‍යාඥයින් විශ්වාස කරනවා.

 

Leave a Reply

Your email address will not be published.