සෙල්ලමක් කරන්න කලින්, විශේෂයෙන් දුවලා ගිහින් අල්ලගන්න වගේ සෙල්ලම් කරද්දී කාගෙ අතේද (වාරයද) කියලා බලන්න නම් ගණන් කරන්න වෙනවා. මොකද, අපේ උන් සේරම බලන් ඉන්නේ වෙන එකෙක්ට පවරලා හැල්මෙ දුවන්න විතරනේ. ඉතින් මෙහෙම ගණන් කරද්දිත් 10 ඉඳලා 100ට ගැන්නොත් ඔන්න අන්තිමට ඉතුරු වුණු එකා කියනවා ගණන් කරපු හැටි අසාධාරණයි, දකුණේ ඉඳලා රවුමට ගියාම මාවමයි එන්නේ අරකයි මේකයි. ඔන්න ඔය වගේ ඒවා නැති කරගන්න අපි ගණන් කරද්දී එක එක කවි තිබුණා. හැබැයි ඒවයින් වෙන්නෙත් අරකම තමයි; ඒ වුණාට දිග හින්දා ඕක පොඩි කාලෙ කල්පනාවක් නැහැ. මේ කවිවලින් සමහර ඒවා ඒ සෙල්ලමටම ආවේණික ඒවා.
1. මොන්ටිසෝරියෙ එකක්

Source – youtube.com
එදා බදාදා බබෙක් උපන්නා
ඒ බබාගෙ නම බටකොළ පැංචා
ටක් -ටික්-ටුක්
පුංචි කාලෙ සෙල්ලමටම හිතක් මිසක් කවි පාඩං කොරන්න ඕන කමක් තියේයැ. ඉතින් මේ වගේ හිංචි පුංචි කවි තමා කිව්වේ. සමහරු “ටකං – ටිකං – ටීන – ටුකං” කියලා ටිකක් වැඩිපුර එකකුත් දාලා ගණන් කරනවා.
2. සීගිරිය සම්බන්ධ එකක්

Source – storyweaver.org.in/ tripinsrilanka.lk
සීගිරියේ ගල මුදුනේ ඇක්සිඩන්ට් එකක්
මහ දවාලෙ හැප්පුණාලු කොක්කු ජෝඩුවක්
මූණ ජපන් ඇඟ රෝමන් කකුල් ඉතාලී
මේ දෙන්නගෙ දත් සෙට් එක පොල් අඹ ලෑලී
අන්තිම එකාගෙ අතට ඇවිල්ලා “ලෑලි” කියන වචනෙ ‘ලි’ යන්නෙ ඉස්පිල්ල ඇහෙන්න ඔන්න මෙන්න තියෙද්දි අනිත් උන් හැතැප්මක් විතර දුවලා ඉවරයි. ගොඩක් වෙලාවට ඉතින් ගණන් කරන එකාම අහුවෙනවා.
3. දෙන්නෙක් සෙල්ලම් කරද්දි ගන්න එකක්

Source – annarafeeva.com
කීං කියෝ කිරිමැණිකෝ
බත් කෑවද?
– ඕව් ඕ..ව්
පූසිට දුන්නද?
– ඕ..ව් ඕ…ව්
බල්ලට දුන්නද?
– ඕ…ව් ඕ….ව්
කෝ මගේ පංගුව
-අටුව උඩ
කොහොමද ගන්නේ
-පුටුව තියලා
මං වැටුනොත්?
-කමක් නැතේ
මං මැරුණොත්?
-කමක් නැතේ
මේක දෙන්නෙක්ට තමයි වඩාත් ම හොඳ. එක්කෙනෙක් ප්‍රශ්න අහනවා, අනෙකා උත්තර දෙනවා. මේ කතාවෙ තියෙන ඇත්තම සීන් එක තමා අක්කගේ පංගුවත් එක්කම නංගි කාලා එයා මහන්සිවෙලා ගෙදර එද්දි. ඒ අස්සෙ කියනවා මැරුණොත් කමක් නෑ කියලා. ඉතින් අක්කට මල පැනලා නංගි පස්සේ එළවනවා. මේකෙදි නම් අහුවුණාම පිටට දෙක තුනක් තඩි බාන එක සාමාන්‍ය සිරිතක්.
4. අම්මයි, භාෂාවල් ගොඩක් දන්න පුතයි

Source – simonvorhammer.photo
අතක පතක ගොරකා පතක
මම්මා ගෙනා පට කුඩේ
සිලිං පහයි පැන්ස දෙකයි
මොටද පුතේ ගාළු යන්නෙ
බාසා දෙකක් ඉගෙන ගන්න
බාසා දෙකේ නම් මොනවද
දේවදාර – පොල් පරාල
ඊට උඩින් බංගලාව
ටක් – ටික් – ටුක්
ඉස්සර දකුණු පළාතේ දුෂ්කර පැතිවල අයට ඉගෙන ගන්න යන්න තිබුණු හොඳ තැනක් තමයි ගාල්ල කියන්නේ. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ පොත්වලත් මේ ගැන තිබුණා මතක ඇති. දැන් කාලේ වෙන පළාත්වල අය කොළඹ යද්දී, කොළඹ අය ළමයින්ව පිටරට යවනවා. ඒ කාලේ පිට පළාත්වලින් ගාල්ලට එද්දී ගාල්ලෙ අය ළමයින්ව මග්ගොන යවනවා. මෙතන තියෙන්නේ තමන්ගේ ගමේ ඉගෙන ගන්න බැරි කමක්ද මන්දා. කොහොමහරි, මූ නම් ගාළු ගිහින් කට්ටි පනින්න බලාගෙන අම්මාටත් භාෂාවල් ඉගෙන ගන්නවා කියලා බාසාව දාලා යන එකෙක්.
5. වාඩි වෙලා ඉඳන් කරන සෙල්ලමක්

Source – worldwhiteweb.net
ආටක නාටක වේපට සුගං
කෝඩිය ලප්පා ආං.. බාං.. බුරියං බුහ්:
ආසි කොළේ බූසි කොළේ මං අරගන්
යෝධ කොළේ
අවුරුද්දට එහෙම සෙල්ලම් කරන්න නොනගතේදි ගෙයින් එළියට බහින එක තහනම් හින්දා අපේ ගම් ගෙවල්වල පොඩි උන් ටික එකතු වෙලා කරන්නේ පංච දාන එක, ගේ ඇතුලෙම ඉඳන් කරන සෙල්ලම් කරන එක. ඕවයින් තුන්-හතර දෙනෙක්ට කරන්න පුළුවන් එකක් තමයි මේක.
මේකෙ කරන්න තියෙන්නේ, එක්කෙනෙක් තමන්ගෙ අත දිග ඇරලා අල්ල යටට හිටින විධියට හැමෝගෙම මැද ඉඳන් තියාගෙන ඉන්නවා. අනිත් අය තමන්ගේ ඇඟිල්ලක් එයාගෙ අල්ලෙ මැදට හිටින විධියට තියාගෙන ඉන්නවා. දැන් අත දිගහැර ගත්ත කෙනා කවිය කියනවා. සමහරු වචන අතරේ හොඳට ඉඩ තියලා භය බිරාන්ත වෙන්නම ගේම ගහනවා. මුල් කොටසේ “ආං බාං බුරියං බුහ්: !!” කියන කෑල්ල සද්ද කරලා කිව්වාම වට හතර පහක් යද්දී කට්ටිය නිකන්ම ඇඟිලි ටික ගන්නවා. කවිය ඉවර කරන්න කලින් ඇඟිල්ල ගත්තොත් අවුට්. අන්තිම එකේදි; “යෝධ කොළේ” කියන එකේ “ළේ” යන්න කිව්වාට පස්සේ විතරයි ඇඟිල්ල ගන්න පුළුවන්. හැබැයි ඒ අකුර කියද්දිම අරයා අත හකුලනවා. ඉතින් ඇඟිලි ටික අහුවෙන අය ආයෙත් පරාදයි.
6. ග්‍රාම්‍ය කවියක්

Source – pinterest.fr
ආනා රූනා රූන කටුස්සා
ඒ ගෙඩි මේ ගෙඩි කැලේට විද්දා
අතරං පතරං පාං *** චුස්
මේක ටිකක් වැඩිමහල් කොල්ලො කියන කවියක්. උඩ තරු දාලා තියෙන තැනට පක්ෂාත්භාගයට කියන හොඳ සිංහල වචනය තමයි එන්නේ. ඕකෙ තේරුම අර්ෂස් ගෙඩිවල පිපිරීම සම්බන්ධ කරලා තමයි හදලා තියෙන්නේ. මේකෙත් කවිය ඉවර වුණ ගමන් ඉතුරු වෙන කෙනා අනිත් අයව අල්ලන්න ඕන.
7. ප්‍රසිද්ධ අතුරු මිතුරු කවිය

Source – youtube.com
අතුරු මිතුරු දඹදිව තුරු
රාජ කපුරු සෙට්ටියා
අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරාලා
ඉහළ ගෙටත් බෙදාලා
පහළ ගෙටත් බෙදාලා
උස් කොල්ලෝ පේළියයි
මිටි කොල්ලෝ පේළියයි
උස් දරමිටි පේළියයි
මිටි දරමිටි පේළියයි
කුකුළා කපලා වැට මුල්ලේ
කිකිළි කපලා දොර මුල්ලේ
කෙහෙල් කැනක් ගෙයි එල්ලේ
අතක් ගනින් සෙට්ටියෝ
ගණන් කරන කවි කියද්දි හැමෝම දන්න මේ කවිය අතෑරලා බෑනේ. මේකෙදි කරන්නේ හැමෝම අත් දෙක බිමට තියලා එක්කෙනෙක් හැමෝගෙම අතින් අතට තට්ටු කර කර මේ කවිය කියනවා. මෙහෙම තට්ටු කරමින් රවුම යද්දි කවිය ඉවර වෙලා, අන්තිම වචනෙ කියද්දි තට්ටු කරන කෙනාගෙ අත අවුට් වෙනවා. එයා අත පිටිපස්සට ගන්නවා. ඔහොම ඔහොම ගිහින් අන්තිමට අතක් ඉතුරු වෙන කෙනා තමයි සෙල්ලම දිනන්නේ. ටිකක් වැඩිපුර කරන්න ඕන නම් (කට්ටිය අඩු වුණාම) අත් වෙනුවට ඇඟිලි නවන විධියට කරන්නත් පුළුවන්. සමහරු මේකෙ අන්තිම පේළිය “අතක් ගනින් යාළුවේ” කියලාත් කියනවා.
Leave a Reply