වටේම තදින් බැටකද්දී මරණ සෑහෙන අඩුකරගත් ජර්මනියේ කෝවිඩ්-19 කතාව.

කොරෝනා වෛරසයට විවිධ රටවල් විවිධ ආකාරයෙන් තමයි මුහුණ දෙන්නේ. ඇමරිකාව විටෙක මරණ ලක්ෂයක් පමණ ආවත් ඉතින් අපිට ඒක ඉවසගෙන ඉන්න වේවි කියලා කියලා තිබුනා. හරියට අනුමත බෙහෙතක් නැති කෝවිඩ්-19 වලට බෙහෙතක් හොයාගත්තා වුනත් එය පරීක්ෂා කරලා, තොග වශයෙන් නිෂ්පාදනය කරලා එද්දි කොරෝනා මාරයා බොහෝ දුර ගිහින් තියේවි. ඒ නිසා තමුන්ගේ රටවල් වලට අදාළව විවිධ ක්‍රියාමාර්ග ගන්නට රටවල් ක්‍රියාකළා. ඒ මොන ක්‍රියාමාර්ග ගත්තත් ජර්මනියේ පවා ලක්ෂයකට වැඩි පිරිසකට කොරෝනා වැළඳුනා. ඒත් සාපේක්ෂ ලෙස ජර්මනියේ වාර්තාවුන මරණ ප්‍රමාණය අඩුයි. එහෙම වුණේ කොහොමද කියලා අපි බලමු. 

 

1. ජර්මනියට තිබුන අවදානම 

ජර්මනිය කියන්නේ විශාල රටක්. ඒ වගේම කාර්මීකරණය වෙච්චි සංවර්ධිත රටක්. ජර්මනියට ලෑන්ඩ් බෝඩර වලින් සම්බන්ධ වෙච්චි දියුණු රටවල් කීපයක්ම කොරෝනා වසංගතයට ලක් වුනා. ඉතාලිය, ප්‍රංශය, ස්විස් ඩෙන්මාර්ක් ඇතුළු රටවල් රැසක් කොරෝනා වලින් හොඳට බැටකෑවා. ඒත් ජර්මනියේ සාපේක්ෂව රෝගය වාර්තාවීමේ අඩුවක් නැතත් රෝගයෙන් මියයන ප්‍රමාණය සෑහෙන අඩු වුනා. පරිසර උෂ්ණත්වය සහ කොරෝනා පැතිරීම අතර රේඛීය සම්බන්ධයක් තහවුරු කරගෙන නැතත් මේ වෙද්දි කොරෝනා දරුණුවට පැතිරුණ සෙල්සියස් අංශක 15කට අඩු උෂ්ණත්වයක් ජර්මනියේ කොරෝනා පැතිරෙන විට තිබුණා. 

 

2. වෛද්‍ය කාර්යමණ්ඩල බිහිකිරීම 

මේ කොරෝනා නිසා රැකියා නැතිවීමේ අවදානම අඩුම පිරිස තමයි රෝහල් කාර්යමණ්ඩල. ඒ වගේම මේ කෝවිඩ්-19 අවදානම වැඩිම පිරිස වෙන්නෙත් වෛද්‍යවරු, හෙදියන් සහ රෝහල් වල වැඩකරන පිරිස. ඉතින් මේ කොරෝනා තත්ත්වයේදී ඉතාලියේ දි එහෙම වෛද්‍යවරුන් සහ කාර්යමණ්ඩල වලටත් කොරෝනා වැළඳිලා ලොකු ලොකු අවුල් ඇතිවුනා. ඒ නිසා ජර්මනිය වඩාත් පුහුණු කළ මානව සම්පතින් සන්නද්ධ වුනා. අවසන් වසරවල වෛද්‍ය සිසුන්ට තිබුණ විභාග අවලංගු කෙරුණා. ඒ සිසුන් පුහුණුවකින් පසු රෝගයට ප්‍රතිකාර කරන්නට එකතු කළා.  ඒ හරහා සිසුන්ට යම් අවාසියක් වුනත් ඔවුන්ට වඩාත් හොද ප්‍රායෝගික අත්දැකීම් ලැබෙනවා. ඒ වගේම මේ තත්ත්වය මත වෛද්‍ය විශේෂඥයින්ට සිසුන්ගේ විභාග පවත්වන්න තරම් විවේකයකුත් නැහැ. අනෙක් අතින් ස්වෙච්ඡා පිරිස් විදිහට කණ්ඩායම් පුහුණු කරලා ආපදා අවස්ථාවක් වැඩිවුනොත් යොදාගන්න තබාගන්නත් ජර්මනිය ක්‍රියා ළා

 

3. ටෙස්ටින් වැඩි කිරීම 

මේ රෝග තත්ත්වයේදී කෝවිඩ් 19 තිබෙන අය අතරින් අඩුම පිරිසක් මියගිහින් තියෙන රටක් තමයි ජර්මනිය. එහි සොයාගත් රෝගීන්ගෙන් මිය ගිහින් තියෙන්නේ 1.5%ක් වගේ ප්‍රමාණයක්. ඒත් දෙදාහකට වඩා පිරිසක් මියගිහින් තියෙනවා තමයි. ඒත් ලක්ෂයකට වැඩි රෝගීන් පිරිස සහ අනෙක් රටවල් එක්ක බැලුවාම එය එක්තරා පුදුමාකාර තත්ත්වයක්. මේ දත්ත හොඳ වෙන්න එක හේතුවක් තමයි ජර්මානුවන්ට ටෙස්ට් වෙන්න තියෙන අවස්ථා වැඩිවීම. ඔවුන්ගේ අප්‍රේල් මුල වනවිට මිලියනයක් පමණ ජනතාවක් පරික්ෂා වෙලා තිබුණා. පරීක්ෂා කිරීම් වැඩිවීමත් එක්ක රෝගීන් හඳුනාගෙන ඔවුන්ව රැකබලාගන්න පහසු වෙනවා වගේම අනෙක් අයට පැතිරීම අවම කරගන්නත් හැකියාව ලැබෙනවා. 

 

4. ටෙස්ට් කරන කණ්ඩායම් පුළුල් කිරීම 

එංගලන්තයේ ටෙස්ට් කරන්නේ රෝගය පිළිබද සැක කටයුතු අය. ඔස්ට්‍රේලියාවෙත් හිතුන ඕනි කෙනෙක්ට ටෙස්ට් කරගන්න පහසුකම ටිකක් අඩුයි. ඒත් ජර්මනියේදී ඕනෑම අයකුට කැමති නම් ටෙස්ට් වෙන්නට අවස්ථාව ජර්මනිය විසින් මහජනයාට සලසා දුන්නා. ඒ හරහා ඇතැම් සැකකටයුතු අයට දෙතුන් වතාවක් වුනත් ටෙස්ට් වෙන්නට ඉඩකඩ ලැබුනා. මේ හරහා මොන පුද්ගලයින්ද වැඩිපුර දුරස් වෙලා ඉන්න ඕනි කියන පණිවුඩය ඉක්මනින් සමාජය අතරට ගියා. ඒ වගේම අවධානය ලැබිය යුතු අය ඉක්මනින්ම හඳුනාගන්නත් පුළුවන් වුනා. 

 

5. ඇඳන් වැඩිකිරීම 

ඉතාලිය කියන්නේ සෞඛ්‍ය පහසුකම් අතින් ලෝ පතල රටක්. එත් ඔවුන්ට කොරෝනා වලදි තත්ත්වය සමනය කරගන්න බැරිවුනා. ජර්මනියේ මිනිසුන් 1000කට රෝහල් ඇඳන් 8.1 තියනවා. එයින් 6.1කට ICU පහසුකම් දෙන්න ජර්මනිය සමත්. අමරිකාවේ පවා මිනිස්සු දාහකට තියෙන රෝහල් ඇඳන් ගාණ 2.1ක්. ඒ වගේම මේ ඇඳන් ප්‍රමාණය වහාම වැඩිකරන්නත් ජර්මනිය ක්‍රියා කළා. ඒ එක්ක ඔවුන්ට රෝගය උත්සන්න වෙන සෑම කෙනෙක්ටම ඇඳක් ලබාදෙන්නට හැකියාව ලැබුනා. ජර්මනිය කියන්නේ සෙන්ට්‍රලයිස්, ඒ කියන්නේ මධ්‍යගත සෞඛය සේවාවක් තියෙන රටක් නෙමෙයි. එහෙම වුනත් එයාල පහසුකම් වැඩිකිරීම බොහොම වේගයෙන් කළා. 

 

6. නිසි කල ක්‍රියාත්මක වීම 

වෛරසය යුරෝපයේ වැඩිපුරම පැතිරෙන්නේ පෙබරවාරි අගදී. එහිදි ඇමරිකාව තමුන්ගේ වැසීම් කටයුතු පටන් ගන්නත් කලින් ජර්මනිය ඉක්මනින්ම රට තුළ පුද්ගල ගැටීම් අවම කරන්න ඉක්මන් විසඳුම් ගත්තා. පාසල්, පෙරපාසල්, අධ්‍යාපන ආයතන ඔවුන් මාර්තු මුල් කාලේම වැහුවා. ඒ තුළින් එකිනෙකා අතර පරතරය ඇතිකරන්න අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කළා. ඒ වගේම මිනිසුන් එකතුවීම් වලට විරුද්ධව යම් යම් නීති රෙගුලාසි ගෙනත් ඉක්මනින්ම ඒවා ක්‍රියාත්මක කරන්නත් ජර්මනිය ක්‍රියාකළා. මාර්තු 22 රටම ලොක් කරන විට ජර්මනියේ කොරෝනා ලෙඩ්ඩු 25, 000ක් හිටියා ඒත් මරණ වාර්තා වෙලා තිබුනේ 86ක් පමණයි. 

 

7. අවදානම් පිරිස් වෙත වැඩි අවධානය 

ජර්මනියේ අප්‍රේල් මුල් සතිය වෙනතුරු වාර්තා වුණු රෝගීන්ගෙන් 77%ක් වයස 15-59 වයස් කාණ්ඩයේ අය. ඒ අනුව ජර්මනිය ගණන අතින් ලෝකේ රටවල් අතර මුල් මට්ටමේ හිටියත් ඔවුන්ගේ අවදානම් පිරිස වෙත රෝගය ව්‍යාප්ත වී ඇත්තේ අඩුවෙන්. මේ සඳහා ජර්මනිය ගත් පියවර පැහැදිලිව නිගමනය කරන්න අපහසු වුවත් ඔවුන් රෝගීන්ට සහ වැඩිහිටියන් වෙත රෝගය පැතිරීම පාලනය කරගන්නට සමත් වෙලා තියෙනවා. තරුණ අයට කෝවිඩ්-19 හැදුනාම සාපේක්ෂව රෝග ලක්ෂණ පෙන්වන අවස්ථා ගණන වගේම බරපතල තත්ත්වයට එන්න තියෙන අවස්ථාත් අඩු වෙනවා. 

 

රටවල් දෙකක් ගත්තාම ඒ තුළ තියෙන දේශපාලනික තත්ත්වයන් වගේම එක් එක් පහසුකම් වලත් ලොකු වෙනස්කම් තියෙනවා. අපි වැඩිපුර එහාට නොගිහින් ලංකාව තුළ ගත්තා වුනත් කොළඹ තියෙන වෛද්‍ය පහසුකම් ලංකාවේ ඇතැම් දුෂ්කර පළාත්වල ජනතාවට ළඟා වෙලා නැහැ. ඉතින් රට රටවල් සංසන්දනය කරන එක මේ අවස්ථාවේ කරන හොඳ දෙයක් නෙමෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ක එකතු වෙලා අපේ රට කොරෝනා වෙනුවෙන් ගෙනයන සටනට සිහි බුද්ධිය ඇතුව දායක වීම තමයි මේ අවස්ථාවේ සාමාන්‍ය පුරවැසියන් වශයෙන් අපේ වගකීම වෙන්නේ. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *