ඉලොන් මස්ක් ගේ සාර්​ථකත්වයට හේතු මොනවද?

ඉලොන් මස්ක් කියන්නේ මේ වෙද්දි ලෝකෙම දන්න චරිතයක්. ඔහු​ගේ ආන්දෝලනාත්මක අදහස් ඔහු සාමාන්‍ය පුද්ගලයෙක් වුණානම් බොහෝවිට සමාජයෙන් ප්‍රතික්ෂේ​ප වෙන්නටත් ඉඩ තිබුණා. ඒත් වාසනාවකට වගේ ඔහු දැන් ලෝකයේ ඉන්න සුපිරි ධනවතෙක්. ඉතින් එතකොට ඉලොන් මස්ක් කරන කියන හැම දෙයකටම වටිනාකමක් එකතු වෙනවා.  ඔහුගේ සාර්ථකත්වයට හේතු කියලා සැක කරන්න පුළුවන් කාරණා ටිකක් අපි සලකා බලමු. 

 

1. අධික ලෙස වැඩ කිරීම 

ඉලොන් මස්ක් කියන විදිහට ඔහු දවසකට පැය 20ක් වැඩකරපු වෙලාවල් තියෙනවා. ඕනිම ධනවතෙක් දියුණු වෙමින් පවතින කාලෙදි ​එහෙම ලොකුවට මහන්සි වෙනවා. ඒත් ඉලොන් මස්ක් දැනුත් එහෙම ලොකුවටම මහන්සි වෙන කෙනෙක්. එයා මෑතකදි හදපු ටෙස්ලා ගිගා ෆැක්ටරියක් බලන්න ගිහින් එයින් පස්සේ ඊල​ඟ දිනයේ ඔහු සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙනවා. එතනදි මස්ක් ඔහු කලින් දා රාත්‍රිය හදමින් පවතින ෆැක්ටරියේ මීටින් රූම් එකේ දිග ආසනයකට වෙලා ගතක​ළ බව අනාවරණය කරනවා. සමාගම් කිහිපයක එකවිට වැඩ කළත් තවමත් ඉලොන් මස්ක් සුවිසාල මන්දිරයකට වෙලා සතියේ වැඩි කලක් විවේකයෙන් ගතකරන කෙනෙක් නම් නෙමෙයි. 

 

2. අලුත් අලුත් දෑ සොයා යෑම 

හැමෝම ඔන්ලයින් මාකට් ගැන හිතද්දි ඉලොන් මස්ක් 1999දී ඔහු ආරම්භ කරපු පේපැල් සමාගම ඊබේ එකට විකුණලා වෙනත් ව්‍යාපාර  පැත්තකට ඔළුව දැම්මා. 

ඉලොන් මස්ක් රොකට් තාක්ෂණයට ආයෝජනය කරලා ඒ ගැන හිතන්නට ගන්නේ 2001 වර්ෂයේදී. ඔහු ටෙස්ලා කාර් ගැන හිතලා ඒ සඳහා ආයෝජන කරන්නෙත් 2003 වර්ෂයේ ඉඳලා. දැන් වෙද්දි ලෝකය වෙනස් මගකට ගෙනයන තාක්ෂණ අදහස් ඉලොන් මස්ක්ට මීට අවුරුදු දහය පහළොවකට කලින් පහල වෙලා තියෙනවා. දැනට ඔහු කතාකරන ඊළඟ පරම්පරාවේ හයිපර්ලූප්ස් වැනි ප්‍රවාහන ක්‍රමවේද සහ ඔහුගේ නාගරික ප්‍රවාහන ක්‍රමවේද ආදිය ඊළඟ වසර දහය තුළ ලෝකය වෙනස් කරන්නට ඉඩ තියෙනවා. 

 

3. මාවත් කිහිපයක් තෝරාගැනීම සහ ඒවා නඩත්තු කිරීම 

ලොකු බිලියනපතියන්ට කොහොමත් මාවත් කිහිපයක ව්‍යාපාර තියෙනවා. ඉලොන්ටත් එහෙමයි. ඒත් ඉලොන්ගේ අත ගැහීම පමණක් නෙමෙයි, ඔහු වැඩ ක්‍රියාත්මක කරන්නත් දක්ෂයෙක්. ටෙස්ලා ඉලෙක්ට්‍රික් කාර් කොපමණ සාර්ථක වුණත් ඉලොන් ඒ මත්තේම නැ​හෙන්නේ නැහැ. ඔහු ස්පේස් එක්ස් හරහා අ​ඟහරුට මිනිස්සු යවන වැඩේ ගැනත් බලනවා. ඒ වගේම ලෝකෙට අලුත් වුණු ඔහුගේ ගිගා ෆැක්ටරි ක්‍රමවේද ගැනත් බලනවා. ඔහුම කලක් ආරම්භ කරලා හිමින් ඇදෙන වැඩ ගැනත් නිතර ඉලොන් මස්ක් සොයා බලනවා. මෙතෙක් ලෝකයේ තිබෙන ආදායම් මාවත් වලට වඩා නවීනත්වය එක්ක එකතු වෙන ආදායම් ලබන ආකාරයක් සොයාගන්නට ඉලොන් ​මස්ක් හැම වෙලාවෙම දක්ෂයි. 

 

4. නිෂ්පාදන ක්‍රියාවලි ගැන අවධානය

 

බොහෝ අය ව්‍යාපාර සහ ආයෝජන පටන් ගත්තත් ඒවායේ තාක්ෂණික පැත්තට වඩා අවධානය යොමු කරන්නේ විකුණා ගැනිමේ අවස්ථා ගැන. විකිණීම සහ අලෙවිකරණය වැදගත්. ඒත් මස්ක් ඒ පැත්තට වඩා තාක්ෂණික අතින් හැම දේ ගැනම හො​ඳ දැක්මක් තියෙන ඇක්ටිව් කෙනෙක්. ඔහු ස්පේස් එක්ස් ක්‍රියාවලියේදි වියදම අඩු කරන්නට ස්ටේන්ලස් ස්ටීල් වලින් රොකට් හදන්නට පටන් ගත්තා. ඒ වගේම රොකට් නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඔහු ඩ්‍රෝන් ෂිප් නැමැති රොකට් බාන ක්‍රමවේදයට අවධානය යොමු කරලා, ඒක වැඩිදියුණු කළා. ටෙස්ලා කාර් ගැන කියද්දි ටෙස්ලා කාර් නිපදවීමේ ක්‍රියාවලියේ ලොකු පසුබෑමක් තිබුණා. ඒ වෙනුවෙන් ඔහු නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කරන්න රොබොටික්ස් සහ ඔටෝමේශන් වලින් සවිමත් නව යන්ත්‍රාගාර ඇති කළා. ඒ වගේම ඒ ටෙස්ලා කාර් චාජ් කරන්න චාජින් ජාලයකුත් ඇමරිකාව පුරා ඇතිකරන්නට ඔහු කටයුතු කළා. 

 

5. පසුබෑම් වලට විසඳුම් සෙවීම

ස්පේස් එක්ස් කියන රොකට් ප්‍රෝග්‍රෑම් එකේ දැන් නම් අත්හදා බලන රොකට් ගොඩක් සාර්ථකව උඩ යනව විතරක් නෙමෙයි, ඒවා ලස්සනට බිමට බානවත් එක්ක. ඒත් එක්තරා කාලයකදි ස්පේස් එක්ස් රොකට් එකපිට එක කඩා වැටෙන්නට වුණා. ටෙස්ලා කාර්වලට වුණත් එක යුගයකදි විවිධ ගැටළු ආවා. තාමත් කාර් විශ්ලේ​ෂකයෝ කියන විදිහට ටෙස්ලා කාර් එකේ සුළු අඩුපාඩු තියෙනවා. ඒත් ඒ හැම දෙයකටම සෙමෙන් සෙමෙන් ස්ථාවර විසඳුම් දෙන්න ඉලොන් මස්ක් සමත් වුණා. ඔහුගේ ව්‍යාපාර පසුබෑම් නිසා වරක් ඇමරිකානු රජයේ ණය ලබාගන්නත් ඉලොන් මස්ක්ට සිද්ධ වුණා. ඒත් එයින් ඔහු පසුබෑමට ලක් වුණේ නැහැ. 

 

6. නව නිපැයුම් මුදල් කරගැනීමේ දක්ෂතාවය 

ලංකාවේ ගත්තොත් කුමක් හෝ නව නිමැවුමක් තියාගෙන ඒකට අනුග්‍රාහකයෙක් සොයා වෙහෙසෙන අය ගොඩාක් ඉන්නවා. මස්ක් ගේ මාදිලිය වෙනස්. ඔහු ඔහුගේ අලුත් නව නිමැවුම් බොහොමයක් විකුණා ගන්නට උත්සාහ දරනවා. ඔහු රොකට් හැදුවාට පස්සේ ඒ රොකට් වලින් කවදා හරි හඳට යනකල් බලාගෙන ඉන්නේ නැතිව නාසා ආයතනයට, ඇමරිකානු හමුදාවට ඔහුගේ රොකට් හරහා මුදලට සේවා සපයන්නට ගත්තා. ඒ වගේම රොකට් වලින් ගිහින් ලෝකයට අන්තර්ජාලය සපයන ස්ටාර්ලින්ක් සැටලයිට් පද්ධතියක් ලබාදෙන්නට  ඔහු උත්සාහ ගන්නවා. ඔහුගේ කාර් හදන එක ප්‍රමාද වෙද්දි ඒකට අලුත් අවකාශයක් විදිහට ගිගා ෆැක්ටරි කියන සංකල්පය හදලා ඔහු ඒ ගිගා ෆැක්ටරිත් දැන් අවශ්‍ය අයෙකුට හදා දෙන්න පුළුවන් තාක්ෂණයක් විදිහට මුදල් කරගන්නටයි සැරසෙන්නේ. ටෙස්ලා සමාගම දියුණු කරගත් බැටරි සහ උපාංගත් වෙනත් සමාගම් වලට කෙලින්ම විකුණන්නත් ඉලොන් මස්ක් සමත් වුණා. එහිදී හුදෙක් අලුත් දේවල් සොයා යෑමෙන් නොනැවතී, ඒ හැම අලුත් දේකින්ම වෙළ​ඳපොලක් නිර්මාණය කරගන්න උත්සාහ කිරීම මස්ක් ගේ සාර්ථකත්වයට තවත් හේතුවක්. 

 

7. ප්‍රායෝගික උගතෙක් වීම 

බොහෝ ලෝ පතල බිලියනපතියන් සහ නිළධාරීන් හො​ඳ පොත් කියවන අය. ඉලොන් මස්ක් කුඩා කලදීම හො​ඳ කියවන කෙනෙක්. පසුකාලීනව ඔහු අතගසා තිබෙන සෑම ක්ෂේත්‍රයකම හො​ඳ ප්‍රසන්ටේශන් එකක් කරන්න පුළුවන් මට්ටමට ඒ ඒ දේවල් ගැන සාර්ථක අවබෝධයක් ඉලොන් මස්ක්ට තියෙනවා. ඔහු අධ්‍යාපනය ගැන දරන්නේත් නැවුම් අදහසක්. ඔහු කියන විදිහට මුලින්ම ටූල්ස් ගැන, ක්‍රමවේද ගැන උගන්වලා පස්සේ එන්ජිම ගැන කියාදීලා කරන ඉගැන්වීම සාර්ථක එකක් නෙමෙයි. මුලින් එන්ජිම ගැන දරුවන්ට කියලා පස්සේ ඒකට වැඩට ගන්න ටූල්ස් ඒ අවශ්‍ය වෙලාට පමණක් කියා දෙන්න ඕන කියලයි ඉලොන් මස්ක්ගේ අදහස වෙන්නේ. ඒ ආකාරයෙන් ආන්දෝලනාත්මක මතවාද ගොඩක් තියෙන මස්ක් ඇතැම් විට ඔහුගේ අදහස් අවාසිදායක වුණත් ඒවා ඉදිරිපත් කරන්න පසුබට වෙන්නේ නැහැ. 

 

බිලියනපතියන් හැදෑරීම කියන්නේ අපේ ජීවිතයට හො​ඳ දෙයක්. බොහෝ බිලියනපතියන් හො​ඳට ඉගෙනගන්න අය. සමහර විට ඔවුන්ගේ උපාධි ගණන, සහතික ගණන අඩු වුවත් ඔවුන් කියවීමෙන්, අධ්‍යයනය කිරීම් වලින් ලොකු දැනුමක් ගොඩනගාගෙන තියෙන බව ඔවුන්ගේ ඉන්ටවිව් බැලුවාම පේනවා. ඒ වගේම හො​ඳට සල්ලි තියෙන බොහෝ උදවිය ජීවිතයේ එක් කාල පරිච්ඡේදයකදී හො​ඳට ඒකට මහන්සි වෙලා කට්ට කාලා තියෙනවා. ඉතින් ඉලොන් මස්ක් ගේ වටිනාකම හොයන්න වගේම ඔහුගේ සාර්ථකත්වයට හේතු වූ කාරණා අපේ ජීවිතයට එකතු කරගන්නත් අපි මහන්සි වෙමු. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *