මේ කියන්න යන්නෙ බෙබ්ස් කතාවක් ගැන. ඇත්තටම කිවුවොත් හරිහමන් විදිහට බෙබ්ස් කතාවක් ගැන. යාලුවෙක් එක්ක ඩ්‍රින්ක් එකක් දාන්න යනවනං ඒකට ලේසි පහසුවට කඩෙන් මික්ස්චර් පැකට් එකක් උස්සගෙන යන්න හදන පුරුද්ද නතර කරගන්න. ඊට කලින් මේක කියවන්න. මීට පස්සෙ ඩ්‍රින්ක් එකකට සෙට් වෙනවනං කලින් බෝතලේ මොකද්ද කියල දැනගෙනම ඒකට හරියන බයිට්ස් සෙට් කරගෙන වැඩේ පටන්ගන්න. කොක්ටේල් ලංකා ඈයො කියනව වගේ පිළිවෙලකට බොමු!
1. බියර්
බියර් කියන්නෙ කෑමත් එක්ක හොඳ අන්‍යෝන්‍ය සුහදතාවක් තියෙන බීමක්. ඕන තරමක් කන ගමන් බොන්න පුළුවන් වගේම නොකාම බොන්නත් පුළුවන්. සමහරු චීස් කනව, සමහරු අල කනවා, සමහරු කජු ටිකක් කනවා, සමහරු සොසේජ් ටිකක් කපලා සැරට කටගැස්මට හදාගන්නවා. ඒකට මොකුත් කියන්න බෑ. හැබැයි අපි කියන්නෙ හොඳම දේ.
ලයිට් බියර්වලටම දිව ඉල්ලන ලුණු රසත් එක්ක රිච් ක්‍රීමි රසත්, දැවිල්ල, ෆ්ලෆි ගතිය, ක්‍රස්ට් එක තියෙන කෑමක් තමයි ලයිට් බියර් එකට හොඳටම හරියන්නෙ. උදාහරණෙකට කිවුවොත් චීසි ගාලික් බ්‍රෙඩ් එකක්. එහෙමත් නැත්තං පීසා එකක්. එහෙමත් නැත්තං ලාගර්වලට හරියන්නෙ වැඩි සෝස් ගතියක් නැති ස්ටර් ෆ්‍රයි කරගත්තු මස් හෝ මාලු කෑල්ලක්. සැරෙන් වැඩි බියර් එකකට නං සුපුරුදු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. කලුවට කලුවේ ස්ටවුට් වර්ගේ බීමක් එක්කනං තෙලෙන් වැඩි රෝස්ට් කරපු මස් කෑල්ලක් සෙට්වේවි.
2. අරක්කු
ලංකාවෙ ගන්න තියෙන අරක්කු බොහොමයක් එතනෝල් ප්‍රමාණෙන් වැඩියි. ඉතිං නිරෝගී සිරුරක් ගැනත් හිතන ගමන් වෙරි වෙන්න නම්, වෙරියත් පාලනය වෙන, පසුදින හැන්ග්ඕවර් තත්ත්ව නිවාරණය කරන දෙයක් විය යුතුයි. හැමෝම අරක්කු ටිකක් බොමු කිවුව ගමන් උම්බලකඩ වඩේ මල්ලක්, මික්ස්චර් පැකට් එකක් කිහිලි ගන්නාගෙන ගියාට අපි අරක්කුවලට ඉහළින්ම නිර්දේශ කරන්නෙ බිත්තරයකුත් දාලා, එළවළු, ළූණු ටිකක් දාලා කරකවලා ගත්තු කඩල කොත්තුවක් තමයි. කඩලවල තියෙන ඉහළ සෝකින් ඇබිලිටිය නොහොත් උරාගැනීමේ ශක්තිය අපිට වාසියක් වෙනවා වගේම ඇඟේ පතේ අමාරුවලටත් යම් සහනයක් දේවි.
3. විස්කි
විස්කි ජාතිත් බොහෝමයක් තියෙනවනෙ. ටිකක් සැරෙන් වැඩි ස්මෝකි රසක් තියෙන විස්කියක් එක්ක නං ක්‍රාෆ්ට් පන්නයේ ඝනකම චීස් කෑල්ලක් නැගලා යාවි. විස්කි එක ස්මූත් වෙලා ලා පැණිරහක් දෙන මට්ටමට තියෙනවනං වැඩේට හරියන්නෙ කොත්මලේ පෙපර් වගේ ලා චීස් කෑල්ලක්. ඒ නැත්තං විස්කිවලට ජාතියක් ජන්මයක් නැතුව නැගල යන දෙයක් තමයි රෝස්ටඩ් පෝක් නකල්. හැබැයි ස්කොච් විස්කි එක්කනං ඉස්ටුවක් වුනත් මරු. ඉස්සර මැලේ පාරෙ කඩේක දැම්මා පීක් ඩක් කියලා ඩිෂ් එකක්. අන්න ඒක තමයි මේකට නියමෙටම මැච් වෙන්නෙ. බර්බන් එකට ගැලපෙන්නෙම පිපිඤ්ඤා සලාදයක් වගේ දෙයක්. පොඩි පිකල් රසක් තමයි බර්බන් එක්ක මැච් වෙන්නෙ. චිකන් සහ ස්වීට් කෝන් සුප් එකත් විස්කිවලට මරු. නැත්තං බාර්වල පිළිගන්වන ෂේප් කැෂූ නට් එකක් හපාගෙනම වැඩේ ගොඩදාගන්න.
4. ජින්
ජින් කියන්නෙ උගුර වේලලා දාන බීමක්. අනික ඒකෙ තියෙන ෆ්‍රේග්‍රන්ස් එකත් එක්ක එන අමුතු සැරට හරියන්නෙ තරමක පැණි රස සහ ඇඹුල් පැත්තට බර අන්නාසි වගේ බයිට් එකක්. ඇස්ස හොඳට කැපෙන්න පොතු ඇරලා, සීනි චුට්ටක් එක්ක ලාවට ලුණු ගම්මිරිස් ඉහළා ගන්න පුළුවන්. ඒ නැත්තං කොයි බීමටත් ෂේප් චීස් කෑල්ලක්. එහෙමත් නැත්තං කූල් පිට පිපිඤ්ඤා පෙත්තක් වැඩේට මරු. මෙලෙක් මසක් වුනත් ජින්වලට මරු. නැවියො ඉතිං නැවේ ශීතාගාරෙ තියෙන එළු මස් ටිකක් පදමට කරියක් හදලා, ඉස්ටු පාටට, දැවිල්ලට, ගම්මිරිස් ටිකක් වැඩියෙන් දාල හදලා, තීරු ගැලවෙන්න කන්නෙ ඒකයි.
5. වොඩ්කා
රුසියාවට අරක්ගත්තු මහා මධු පානය තමයි මේ. ලංකාවෙ අපිනං වොඩ්කා බොන්නෙ දොඩං යුෂ ටිකක් එක්ක කවලං කරලා ලුණු ගම්මිරිස් දාපු කොල ඇපල් කෑල්ලක් හප හප. ආයෙ ඉතිං උදේ පාන්දරක ඉඳන් වුනත් බොන්න පුළුවන් රිෆ්‍රෙෂින් කමිබිනේෂන් එකක්. ඒ නැත්තං ග්‍රේප්ස් ගෙඩි ටිකක් වුනත් මරු. හැබැයි රසටම දැනුනෙ රෑ කෑමට නූඩ්ල්ස් එක්ක කන්න හදපු, අඩු ගින්දරේ වැඩි වෙලාවක් ලිපේ තියපු මැටි හට්ටියෙ මස් කෑලි එක්ක, ඇබ්සලූට් වැනිලා වොඩ්කා එකට කෝක් ටිකක් දාලා වොඩ්කා බොද්දි. ඒක නියම ට්‍රිපින් කම්බිනේෂන් එකක්. ආයෙ ඉතිං මහා පොදු සාධකේ වගේ පිපිඤ්ඤා, චීස් කියන දෙකත් වැඩේට මරු.
6. රම්
රතු වුනා සුදු වුනා කියල භේදයක් නෑ. රම්වල ඇල්කොහොල් සැරට යටින් එනවනෙ ලා පැණි රසක්. ඕකට ඉතිං ගැලපෙන්නෙ ලංකාවෙ වැඩියෙන්ම යන මස. ඒ තමයි චිකන්. නිකංම චිකන් නෙමෙයි, රම් එකේ ගුණයම මතු කරන චිකන් එකක්. උදාහරණෙකට නං මී පැණියි සුදුළූණුයි රසින් ලා ටච් එකක් වැටිච්ච ග්ලේස්ඩ් චිකන් ටිකක්. ඕනනං දොඩං දාලත් මේකට නියම කික් එකක් ගන්න පුළුවන්. චිකන් බ්‍රෙස්ට් එකේ තියෙන පිටි ගතියට ක්‍රන්චි සහ සෝසි කවරෙන් ලැබෙන්නෙ අමුතුම කික් එකක්. මේකත් එක්ක සයිඩ් එකෙන් කෝල්ස්ලෝ ටිකක් තියාගත්තනං තවත් මරු.
7. බ්‍රැන්ඩි
බ්‍රැන්ඩිවල ඉස්මුදුනටම වදින සැරට ගැලපෙන්නෙම ඒ වගේ ඉස්මුදුනටම වදින සිට්‍රස් රසක් නිසාම අපි ටෙස්ට් කරපු බයිට්ස්වලින් බ්‍රැන්ඩිවලට හොඳටම නැගලා ගියේ දොඩං තමයි. සුද්දො නං බ්‍රැන්ඩි එක්ක කන්නෙ බෙල්ලො. ඒත් අපි බෙල්ලො කියන කෑම ඒතරං බොන ටේබල් එකකට ළං නොකරගන්න නිසාත්, අපි සුද්දො නෙමෙයි නිසාත් අපි වෙනිං ඔප්ෂන්ස් ටිකක් දෙන්නං. ලුණු රස වැඩි චීස් කෑල්ලක්, ඩාක් චොකලට් කෑල්ලක් වුනත් වැඩේට මරු. චුට්ටක් අමාරු වුනත්, ගාණට පදමට ස්මෝක් කරගත්ත තෝර මාලු පෙත්තකට දෙහි ටිකක් ඉහල ගත්තම වැඩේට මරු.
8. වයින් සහ ටෙකිලා
වයින් සහ ටෙකිලා ගැන වැඩිපුර නොකියන්නෙ මේ දෙකම බෙබා මේසවලට වඩින්නෙ කලාතුරකින් නිසා. ටෙකිලා බොහෝ වෙලාවට කොක්ටේල් වෙනුවෙන් භාවිතා වෙන නිසා වීදුරුවලට හලාගෙන පෙවෙන්නෙ නැති තරම්. එහෙම බිවුවත් ලෝක සම්මත ලුණු කට ගාපු වීදුරුවෙන් බීලා, දෙහි පෙත්ත දිවේ තියාගෙන වීදුරු ගැට්ටෙ ලුණු ටික සූප්පු කරන්නනෙ තියෙන්නෙ. වයින් ගැනත් එසේමයි. ලෝකෙ ඉතිං වයින්වලට චිරප්‍රසිද්ධම කම්බිනේෂන් එක තමයි චීස්. ආයෙ ඉතිං මැචින් කපල් එක. වයින් ජාතිත් රස වර්ග බොහෝමයක් තියෙන නිසාත්, වයින් බෙබා ටේබල්වලට ලොකුවට වඩින්නෙ නැති නිසාත්, අපිත් මහ ලොකු පොෂ් වයින්කාරයො නොවෙන නිසාත් එතෙකින් නවතින්නම්.
Cover Image Source – insidescoopsf.sfgate.com
Leave a Reply