කොළඹ අවට සුපිරි බර්ගර් එකක් කන්න තියෙන තැන් 7ක්!

දැන් ඔය කොළඹ කරක් ගහන දවස් එනවනේ. ඒ කියන්නේ ඔ‍ෆිස් දවස්, ඉස්කෝලේ දවස්, කැම්පස් දවස් එහෙම නෙවෙයි. ඔය කොළඹ අවට තනියෙන් හරි දෙන්නා එක්ක හරි යාලු මිත්තරයෝ සෙට් එක හරි කරක් ගහන දවස් තියෙනවනේ. ආන්න ඒ වගේ දවස් වලට දවල් වෙනකොට, හවස් වෙනකොට, රෑ වෙනකොට බඩගින්න එන්නේ ඩබල් එකේ. එතකොට තමයි ඉතින් කොහෙන්ද මොනව හරි බඩට දාගන්නේ කියලා මතක් කරලා බලන්නේ. ආන්න ඒ වගේ වෙලාවකට එනවා බර්ගර් එකක් බඩට දාගත්තොත් සුපර් කියලා අයිඩියා එකක්. හැබැයි අයිඩියා එක ආවට මදි, බර්ගර් කන්න යන්නේ කොහාටද කියලා හිතලා බලන්නත් ඕන. ආන්න ඒ වෙලාවට කරන්න තියෙන්නේ අපේ මේ ආටිකල් එක කියවන එක. අපි මේ කියන්න යන්නේ කොළඹ අවට බර්ගර් කන්න තියෙන සුපර් තැන් කීපයක් ගැන!

 

1. Fazly’s Halal Refreshment (Burger’s King)

Image Source – facebook.com

බර්ගර් ගැන කතා කරනකොට එදා වගේම අදත් බර්ගර්ස් කින්ග් ගැන කථා නොකර කොහොමද? හැබැයි මේක තවදුරටත් බර්ගර්ස් කින්ග් නෙවෙයි. මෙතන දැන් නම ෆස්ලීස් හලාල් රිෆ්‍රෙෂ්මන්ට්ස්. කොහොම වුනත් මෙතන මෙනු එකනම් එදා වගේම තමයි අදත්. මිල ගණන් හැරුණහම රසෙන් කිසිම වෙනසක් වෙලා නෑ. හැබැයි මෙතන ඉස්සර වගේ අර පාර අයිනේ මේසෙකට වාඩි වෙලා පාරේ යන බස් දිහා බල බල බර්ගර් කන තැනක් නෙවෙයි. උඩ තට්‍ටුවේ අංග සම්පූර්ණ රෙස්‍ටුරන්ට් එකක් විදියට දැන් මෙතන හදලා තියෙන්නේ. අපි රෙකමන්ඩ් කරන්නේ උඩ තට්‍ටුවේ  සඳලුතලේ අයිනේ මේසෙකට වාඩි වෙලා, කොළඹ නගරේ සිරි විඳින අතරේ මේ අයගේ සුපර් චිකන් කෝර්ඩන් බ්ලූ බර්ගර් එකක් හරි චිකන් චාලි බර්ගර් එකක් හරි කමු කියලා තමයි!

තැන මෙතන:

 

2. Burgers Hut

Image Source – burgershut.lk

දෙහිවල කියන්නේ කොළඹ කියලා ගන්න පුළුවන්ද? එහෙම කිවුවට අවුලක් නැත්තං, ඔන්න දෙහිවල සත්තුවත්තට යන පාරේ ඒ කිට්‍ටුවම තියෙනවා බර්ගර් හට් එක. මේක පටන් අරගෙන සෑහෙන කාලයක්. ඒ කාලේ මේක පටන් ගත්තේ නම් කොම්පඤ්ඤවීදියේ බර්ගර්ස් කින්ග් එකෙන් කැඩුණු කෙනෙක් කියලා තමයි අහන්න ලැබුණේ. දැන් කරන්නේ කවුද කියන්න දන්නෙ නෑ. හැබැයි තාමත් මෙතන බර්ගර්ස් එදා වගේම රහයි. හවස හතරේ ඉඳලා වගේ ඇරලා තියෙන මෙතන බර්ගර් එකක් සෑහෙන්න ලාබයි අනෙක් බර්ගර් ජොයින්ට්ස් එක්ක බලනකොට. හැබැයි බර්ගර් බන් එක මැද්දට ලෝබ නැතුව මස් ජාති, ලෙටියුස් අනං මනං පුරවලා තමයි මෙතන බර්ගර් එක එන්නේ. මෙතන අපි කැමතිම බර්ගර් එකක් තමයි චිකන් ට්විස්ට් බර්ගර් එක. ඊටත් වඩා කැමතිම බර්ගර් එක තමයි චිකන් හොට් ඇන්ඩ් ස්පයිසි බර්ගර් එක. දෙහිවල පැත්තෙන් යනවා නං බර්ගර් එකක රස බලන්න මෙතන මරු.

තැන මෙතන:

 

3. Street Burger

Image Source – twitter.com

මේක සෑහෙන්න අලුත් තැනක්. මෙරීන් ඩ්‍රයිව් එකේ තියෙන මේ ස්ට්‍රීට් බර්ගර් කඩේ එහෙම කිවුවට හොඳට හදපු රෙස්‍ටුරන්ට් එකක්. සාමාන්‍යයෙන් අපි ඔය ස්ට්‍රීට් ෆුඩ් ලෙවල් එකෙන් කන බර්ගර් එකක ප්‍රධානතම රස තියෙන්නේ ඒකට දාන මස් වල. මස් පෙත්ත හෝ මස් පැටී එක හෝ මස් කුට්ටිය අනුව තමයි රස තීරණය වෙන්නේ. එතනින් එහාට ස්ට්‍රීට් බර්ගර් එකක තියෙන්නේ සලාද කොළයක්, ලූණු රවුමක් දෙකක් ඇරුණහම විවිධ වර්ගවල සෝස්, මයෝනීස් විතරයිනේ. හැබැයි මෙතන බර්ගර් කල්චර් එක ඊට වෙනස්. මේ කට්ටිය තමන්ගේ බර්ගර් එකකට මස් මාංස වගේම මදි නොකියන්න එළවළුත් ඇතුළත් කරනවා. එතකොට අපිට ස්ට්‍රීට් බර්ගර් එකක කොහොමටවත් දකින්න නොලැබෙන ග්වාකමෝලි නැතිනම් අලිගැටපේර වගේ සීන්ස් එහෙමත් මෙතන බර්ගර් එකක දැකගන්න පුළුවන්. මිල ගණන් නම් සූට්ටක් වැඩියි, ඒත් ඒ ගණන් වලට මෙතන බර්ගර් එකක් පාඩු නෑ!

තැන මෙතන:

 

4. Geek HQ

Image Source – facebook.com

මෙන්න මේකත් අලුත් ස්පොට් එකක්. අපේ ලංකාවේ ගීක් යාලුවෝ කීප දෙනෙක් පටන් ගත්තු මේ පොට් එකට අපි ගොඩවැදුනේ ඇත්තටම බර්ගර් කන්න නෙවෙයි. මෙතන ඉතින් ගීක් සෙට් එකේ පාරාදීසයක්. මිනියේචර් ‍ෆිගර්ස්, කොමික්ස් වගේ ගීක් කල්චර් එකට ලව් ඩයල් එකකට ඇවිත් බිසී වෙන්න සෑහෙන්න දේවල් මෙතන තියෙනවා. හැබැයි එහෙමයි කියලා බර්ගර් එක අමතක කරන්න ඕන නෑ. මුලින්ම මෙතන තියෙන මෙනු එක හොඳට බලන්න. තනිකරම සුපර් හීරෝ සීන් එකේ ඉන්න ඩයල් එකක් මෙනු එකේ නම් ටික දාලා තියෙන්නේ. ඕන්න ඔතනින් ‍තෝරගන්නයි තියෙන්නේ ආස බර්ගර් එකක්. අපි නං ආස වුනේ “ද ෂී හල්ක්” කියලා නම දාපු, කොළ පාට බර්ගර් බන් එකක් මැද්දට කැමති මස් ජාතියක් හෝ එළවලු එක්ක ‍තෝරගන්න පුළුවන් බර්ගර් එකට. චුට්ටක් විතර ගණන් වැඩී. හැබැයි ගිහින් කාලම බලන්න කොහොමද රස කියලා!

තැන මෙතන:

 

5. Royal Burger

Image Source – facebook.com

මේ සාමාන්‍යයෙන් කොළඹ බර්ගර් සීන් එකේ ඉන්න අයට මිස් වෙන, ඒත් අනිවා අඩු ගාණකට හොඳ බර්ගර් එකක් කන්න කොළඹ තියෙන තැන් වලින් එකක්. රෝයල් බර්ගර් එක තියෙන්නේ හැව්ලොක් ටවුමේ රෙදි මෝල හංදිය පැත්තට වෙන්න, රෝයල් ඉන්ස්ටිටියුට් එක ඉස්සරහා. අපිට නිකමට හිතුණා නම දාලා තියෙන්නෙත් ඒ නිසාමදෝ කියලා. කොහොම වුනත් පෙනුමෙන් නම් පොඩි ස්නැක් ජොයින්ට් එකක් වගේ පෙනුනත්, වාඩි වෙලා නිදහසේ බර්ගර් එකක් රසවිඳින්න කියාපු ස්පොට් එක. මෙතන තැන පොඩි වුනත් සෑහෙන්න ලොකු මෙනු එකක් තියෙනවා. ඒ මෙනු එකේ බර්ගර් අයිටම්ස් ගත්තත් බර ගාණක් තියෙනවා. හැබැයි කලිනුත් කිව්වා වගේ ගණන් නම් අති සාධාරණයි. ඉතාම ලාබයි. මෙතන තියෙන අපේ ප්‍රියතම එක බර්ගර් එකක් තමයි ඩබල් ක්‍රිස්පි චිකන් බර්ගර් එක. ඊළඟට ඩබල් බීෆ් බර්ගර් එක!

තැන මෙතන:

 

6. Mr Burger

Image Source – yamu.lk

මේකත් ටිකක් මෑත කාලේදී පටන් ගත්තු බර්ගර් ජොයින්ට් එකක්. බම්බලපිටියේ තියෙන මිස්ටර් බර්ගර් එක තැනක් විදියට ගත්තොත් බොහොම සීමිත ඉඩකඩක් තියෙන තැනක්. හැබැයි බොහොම නීට් එකට හදලා තියෙන මෙතන බර්ගර් ගැන නම් එහෙම හිතේ දුකක් සාංකාවක් ඇති කරගන්න දෙයක් නෑ. හැබැයි අපේ ලිස්ට් එකේ තියෙන අනික් බර්ගර් ජොයින්ට්ස් එක්ක බලනකොට මෙතන බර්ගර් හදන ඩයල් එක පොඩ්ඩක් ලෝබයි වගේ තේරෙනවා. ඒ කියන්නේ බර්ගර් එකේ බන් එකේ සයිස් එක වෙනස් වෙන්නෙ නෑනේ. ඒ නිසාම මෙතන බර්ගර් බන් එක ඇතුළේ තියෙන මස් කෑල්ල හෝ මස් පැටී එක හෝ පුංචියි කියලා පටස් ගාලා තේරෙනවා. හැබැයි ඉතින් ගාණ අනික් බර්ගර් ස්පොට් වල සාමාන්‍ය මිල ගණන්ම තමයි. ඒක එහෙම වුනත්, බර්ගර් එක පොඩි වුනත් මෙතන බර්ගර් රසයි කියලා නං බය නැතුවම කියන්න පුලුවන්. ඌබර් ඊට්ස් වලින් අපි ගෙන්නා ගත්තු ක්වාටර් පවුන්ඩර් බර්ගර් එකේ නමේ හැටියට සයිස් එකෙන් ලොකු නැති වුණත්, රසින් නම් අපිට අල්ලලා ගියා!

තැන මෙතන:

 

7. Fresh Ma Meals

Image Source – thefreshmarket.com

කිරිබත්ගොඩ කියන්නේ ඉතින් කොළඹ නෙවෙයි. හැබැයි ඉතින් කොළඹට ගලක් ගහන දුරෙන් තියෙන තදාසන්න ප්‍රධාන නගරයක්නේ. ආන්න ඒ නගරේ පැත්තට එන කෙනෙක්ට, දෙන්නෙක්ට, තුන් හතර දෙනෙක්ට පොඩි බර්ගර් බඩගින්නන් හැදුණොත් ටවුන් එකේම තියෙනවා බර්ගර් කින්ග් එකක්. ඊටත් එහායින් තියෙනවා මැක්ඩොනල්ඩ් එකක්, තව එහා YMBA එකට එහා තියෙනවා කේඑෆ්සී එකකුත්. හැබැයි මේ එක තැනක්වත් ගැන නෙවෙයි අපි කියන්නේ. බර්ගර් කින්ග් එකට මෙහා චුට්ටක් ටවුන් එක පැත්තට වෙන්න තියෙන පුංචි බර්ගර්/ජූස් ජොයින්ට් එකක් ගැන තමයි මේ කියන්නේ. Fresh Ma Meals තැන පුංචි වුනාට ක්ලාස් යන කොල්ලෝ කෙල්ලෝ අතර මෙතන සෑහෙන්න ජනප්‍රියයි. ඒකට හේතු දෙකයි. එකක් බොහොම රසට පිරිසිදුවට හදන කෑම බීම. දෙක නිදහස්, සිසිල් පරිසරයක වාඩිවෙලා ගිමන් අරින්න තියෙන ඉඩ කඩ.

මෙතන තියෙන බර්ගර් එකක් ඕනෑ නම් අපිට කැමති පිළිවෙලට හදාගන්න පුළුවන්. ලෝබ නැතුව හදන බර්ගර් එක ප්‍රමාණයෙනුත් විශාලයි. රසෙනුත් ඉතාම ඉහළයි. මිල ගණන් සාධාරණයි. මෙතනින් අපි ගන්න අපේ හැමදාමත් ෆේවරිට් බර්ගර් එක තමයි චිකන් කෝර්ඩන් බ්ලූ එක!

තැන මෙතන:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *