ලෝකයේ වන්දනාමානයට ලක්වෙන සත්තු

විවිධ රටවල පවතින සංස්කෘතීන් අනුව ඒ ඒ රටවල්වල විවිධ දේවල් දේවත්වයට පත් වනවා. ඒ අතරට මනුෂ්‍යයෝ, ගස් කොළ වගේම සත්තුත් එකතු වෙනවා. අපි අද කතා කරන්න යන්නේ ලොව පුරා විවිධ රටවල් වල පූජනීයත්වයට පත් වෙන සත්තු වර්ග කීපයක් ගැන.

 

1. හරකා 

හරකා කියන්නේ ඉන්දියාව වගේම අපේ රටේත් පූජනීයත්වයෙන් සලකුණු වන සත්වයෙක්. අපේ රටේ නම් ආගමික විශ්වාසයකට වඩා අපේ රටේ කෘෂිකර්මාන්ත සංස්කෘතිය එක්ක හරකාට ලැබුණු විශේෂ තැන ඊට හේතුවක් වුණා. නමුත් ඉන්දියාව තුළ බහුතරයක් අදහන හින්දු ආගම තුළ හරකාට විශේෂ තැනක් හිමිවෙනවා

උදාහරණයක් විදිහට ශිව දෙවියන්ගේ වාහනය ලෙස සැලකෙන්නේ නන්දි නම් ගවයායි. එසේම දිව්‍ය ලෝකය තුළ වාසය කරන සුරබිදෙන නම් එළදෙන සිතූ පැතූ සම්පත් දෙන හැකියාවක් සහිත බවත් ඔවුන් විශ්වාස කළා. මෙම හින්දු බලපෑම නිසා පොළොන්නරු යුගයේ සඳකඩ පහණෙනුත් හරකාගේ රූපය ඉවත් වුණා කියලා විශ්වාස කරනවා.

 

2. වඳුරා 

හින්දු ආගමේ බලපෑමෙන් පූජනීයත්වයට පත් වුණු තවත් සත්වයෙක් තමයි වඳුරා කියන්නේ. මේ කලියුග කාලය පුරාම අදටත් ජීවත්වෙන හනුමාන් නම් දෙවියා නිසයි වඳුරාව හින්දු බැතිමතුන්ගේ ගෞරවාදරයට පත් වුණේ. අද වෙද්දී මුස්ලිම් රටක් බවට පත්වෙලා තියෙන ඉන්දුනීසියාවේ බාලි දූපත තුළ ශුද්ධ වූ වඳුරන්ගේ කැලෑවක් පවා තිබෙනවා. මේ සත්වයන් සමඟ සහජීවනයෙන් ජීවත් වීම ඒ කැලෑව අවට වැසියන් සියවස් ගණනාවක් තිස්සේ පුරුදු පුහුණු වුණු දෙයක්.

 

3. පූසා 

පූසන් මුල්වරට ගෘහාශ්‍රිත සත්ව විශේෂයක් ලෙස රැකබලා ගන්න පටන් ගත්තේ ඊජිප්තු වාසීන් විසින්. ඒ සඳහා පූසන් යනු දිව්‍යමය බලයක් සහිත සත්ව කොටසක් ලෙස ඔවුන් තුළ තිබූ විශ්වාසයත් එක හේතුවක් උනා. එසේම සර්පයන් බහුල වූ නයිල් නදිය ආශ්රිත කැලෑවලදී ඊජිප්තු වාසීන්ගේ ආරක්ෂකයන් බවට පත්වුණේ පූසා. මේ නිසාම ඔවුන් තමන්ගේ ආරක්ෂක දෙවඟන වන බැස්ටිව පූසෙකුගේ හිසක් සහිතව නිරූපණය කළා. අද දක්වාම බොහෝ පිරමීඩවල මමීකරණයට ලක් කළ පූසන්ගේ මළසිරුරු මුණගැහෙනවා.

 

4. බල්ලා 

මිනිසාගේ දිගුකාලීන හිතවතෙක් වීම නිසාම දඩයම් යුගයේ පටන්  බල්ලාව දේවත්වයෙන් සැලකීම බොහෝ සංස්කෘතීන් වල අංගයක් බවට පත්වුණා. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල අදටත් බල්ලන් වෙනුවෙන් දින පහක පමණ හින්දු ආගමික උත්සවයක් පැවැත්වෙනවා. බලු මස් ආහාරයට ගැනෙන චීනයේ පවා ඇතැම් ප්‍රදේශවල බල්ලාව සැලකෙන්නේ දේවත්වයන්. චීන අලුත් අවුරුද්ද ලබන දිනෙන් පසු දින වෙන්වන්නේ බල්ලන් සඳහායි.

 

5. අලියා 

මිහිතලයේ වාසය කරන විශාලතම සත්වයා වන අලියාව ප්‍රධාන වශයෙන් පූජනීයත්වයෙන් සැලකුණේ ඉන්දියාව තුළයි. ගණදෙවියන් වන්දනාවත් එයට එක හේතුවක් වන්නට ඇති. භාණ්ඩ ප්‍රවාහනය සඳහා මෙන්ම යුද්ධ සඳහාත් අලියා නැතුවම බැරිය සත්වයෙක් වුණා. විශේෂයෙන්ම මහා ඇලෙක්සැන්ඩර්ගේ ඉන්දියානු ආක්‍රමණය ව්‍යාර්ථ උනේ අති දැවැන්ත හස්තීන්ගේ ප්රහාරවලට මුහුණදීමට ඇලෙක්සැන්ඩර්ගේ සෙබළුන්ට මෙන්ම අශ්ව හමුදාවට නොහැකිවීමයි.

 

6. ව්‍යාඝ්‍රයා 

පැරණි කොරියානු ජන ඇදහිලි වලට අනුව ව්‍යාඝ්‍රයා දිව්‍ය ආත්මයක් ලෙස සැලකුණු අතර බටහිර ප්‍රදේශයේ ආරක්ෂකයා ලෙස සැලකුණා. ධෛර්ය​යේ සහ බලයේ සංකේතය ලෙස සැලකුණු ව්‍යාඝ්‍රයෙකු දැකීමෙන් කෙනෙකු වටා ඇති අයහපත් බලවේග පලා යන බවත්, ඔහු වාසනාවන්ත පුද්ගලයෙකු වන බවත් ඔවුන් විශ්වාස කළා. සුදු පැහැති ව්‍යාඝ්‍රයන් පාරිශුද්ධ වස්තූන් ලෙස සැලකුණු අතර එම සතුන් බුද්ධිමත් බවින් වැඩි බවත් එම ස්වභාවය ලෝම වල සුදු පැහැයෙන් නිරූපණය වන බවටත් ඔවුන් අතර මතයක් පැවතුණා. එසේම නේපාලයේ සහ වියට්නාමයේ ඇතැම් ප්‍රදේශවල ව්‍යාඝ්‍රයන් සඳහා කැපවුණු දේවාල පවතිනවා.

 

7. සර්පයා 

ක්‍රිස්තියානි සංස්කෘතීන් තුළ සර්පයා සැලකෙන්නේ යක්ෂයාගේ සංකේතයක් ලෙසයි. නමුත් පෙරදිග රටවල සර්පයාව සැලකෙන්නේ බුද්ධිමත් භාවයේ සංකේතයක් විදිහට. ඇතැම් විද්වතුන්ගේ අදහස් අනුව තහනම් ගහේ ඇපල් කෑමට මිනිසාව පෙළඹවීම තුළින් මිනිසා බුද්ධිමත් කිරීම සිදුව තිබෙනවා. ක්‍රිස්තියානිකරණයට ලක් වීමට පෙර උතුරු ඇමෙරිකාවේ ජීවත් වුණු ගෝත්‍රයක ප්‍රජාව වාර්ෂිකව සර්පයන් වෙනුවෙන් පූජෝපහාර සහ නැටුම් සැණකෙළි පවත්වනු ලැබුවා. ඉන්දියාව තුළ සර්පයන්, විශේෂයෙන්ම නාගයන් කෙරෙහි දක්වන ගරු සැලකිල්ල ගැන විශේෂයෙන්ම සඳහන් කළ යුතු යැයි අප සිතන්නේ නැහැ.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *