ඉස්කෝලේ සම්බන්ධ හැම බිබික්කමකම රහ දැනෙන්නේ ඒකෙන් එළියට ආවට පස්සේ තමයි. ඒ දවස්වල මොන තරම් අප්සට් දෙයක් වුණත් ඉගෙනගත්තු පොත් ටිකත් දැන් නම් රත්තරන්. පෙරළන්නත් කම්මැලිව තිබුණු පෙළපොත් අදටත් ඒ කාලේ සිහිගන්වන කෞතුක භාණ්ඩයක් තරමට ගෙවල්වල මකුළුදැල් බැඳි බැඳි තියෙනවා. ඒවා එක්ක බැඳුණු මේ මතකවල ඔයත් අනිවාර්යයෙන්ම කොටස්කාරයෙක් තමයි.
1. පොත්වල සුවඳ

Image Source – prweb.com
පොත අතට ලැබෙන්නේ වාරේ අවසන් දවසේ. එදාට ඕක පෙරළලා බැලුවම දැනුණු සුවඳට අද ගාන සැන් පවුඩර් ඔක්කොම පදිරි. අලුත් පොත්වලින් කොහොමත් සුවඳක් හමනවා තමයි. හැබැයි පෙළපොත්වලින් එන්නේ අමුතුම සුවඳක්. ඒවාට විතරක් අනන්‍ය වෙච්චි එකක්. සමහරු නම් ඕක පෙරළලා බලන්නෙත් එදාට විතරයි. හැබැයි ඒ ටික දෙනත් ඒ සුවඳ විඳිනවා. අදටත් අපේ නංගිලා මල්ලිලාට දුවලා පුතාලාට අලුත් පෙළපොත් ලැබුණම ඒ පොඩි වුන්ටත් කලින් ඒ පොත් අල්ලලා බලලා සුවඳ විඳින ඈයෝ ඉන්නවා නම් ඒ අර මතකෙන් මිදෙන්න බැරිම අය තමයි.
2. කවර දැමීම සහ ස්ටිකර් ඇලවීම

Image Source – youtube.com
මේක හරි ආසා හිතෙන වැඩක්. නිකන්ම කවරයක් අලවන එක නම් හද්ද කම්මැලි වැඩක් තමයි. හැබැයි පෙළපොත්වලට නිකන්ම නිකන් කවර දාන්නේ නැහැනේ. ඒවාට ම වෙන් වුණ ඉස්ටිකර් කෑලි තියනවා. සමහර ඒවාගේ නමගම විෂය අරවා මේවා ලියන්නත් පුළුවනි. කවර ගැන කතා කරෝතින් ඉටි කවර, බ්‍රවුන් ප්‍රේපර්, ක්‍රාෆ්ට් පේපර් (අර තැඹිලි පාට අයිටම්ස් එක) වගේ කවර වර්ග ගොඩක් තිබ්බා. දැන් නම් ඔයිටත් වඩා වෛවර්ණ ඒවා ඇවිල්ලා. අම්මගේ සහයත් අරගෙන දවසම වුණත් පොත්වලට කවර දාන එක ආසාවෙන් කරන්න පුළුවන්කමක් තිබ්බා.
3. පොත්වල රූපවලින් යහළුවන් දැකීම

Image Source – wikihow.com
ඔය පෙළපොත් දෙන්නේ ළමයිට කියලා හිතං නේ දෙන්නේ. ඉතින් ළමයින්ට ඔබින විදියට එක එක රූප ආදිය ඇඳලා තියෙනවා. අලි බඩක් තියෙන මුදලාලියෙක්ගේ ඉඳලා කැලේ ඉන්න අලියෙක් කොටියෙක් වෙනකන් රූප සෙට් එකක් පෙළපොත්වල තියෙනවා. ඉතින් අපි මොකෑ කරේ. එහෙම ඇඳලා තියෙන එක එක රූප අරගෙන මේක නම් අරූ වගේ මූ වගේ කියලා මොකක් හරි සමානකමක් හොයාගෙන යාළුවෝ බයිටට ගත්තා. ගණන් පොතේ හෙම දවසට කොමඩු ගෙඩි හැටක් මිලට ගන්න, චොකලට් විස්සක් තිහක් කන හාදයෝ ගැන තිබ්බම ඒවටත් වගකියන්න යාළු මිත්‍රාදියෝ තියාගෙන හිටියේ.
4. එහා පන්තියෙන් පොත් ඉල්ලීම

Image Source – readbrightly.com
දවස් දෙකක් තුනක් වැඩිම වුණොත් මේ පෙළපොත් අරගෙන ඉස්කෝලේ යාවි. ඉතුරු දවස් ටිකේම ඕවා ගෙදර තමයි. ඉතින් අදාළ විෂය එන්න කලින් එහා පන්තියේ ෆිට් එක එකෙක්ගෙන් පෙළපොත ඉල්ලන් එන එකයි වැඩේ. මේ සම්බන්ධයෙන් කප් ගහපු පොත තමයි ඉංග්‍රීසි පෙළපොත. සකසුරුවමින් බෙදාහදාගන්න ළමයි ඉන්දැද්දි අපරාදේ අනේ රාජ්‍ය දේපළ.
5. පාඩම් කියවීම

Image Source – scholastic.com
එක එක පන්තිවල එක එක විදියට මේක සිද්ධ වෙනවා. සමහර ඒවයේ පන්තියම කියවනවා, නැත්තම් එක්කෙනෙක් කියවනවා, ඒත් නැත්තම් ටීචර් විතරක් කියවනවා. මුල් කාලයේ පාඩම් කියවන්න පුදුමාකාර උනන්දුවක් තමයි තියෙන්නේ. පස්සේ පස්සේ තමයි වෙන කෙනෙක් පාඩම කියවලා අහවර කරේ කොතනින් ද කියලා හොයාගන්නවත් සිහියක් නැති වෙන්නේ. එහෙම මැදක ඉඳන් පාඩම කියවන්න කියලා ගොඩක් වෙලාවට ටීචර් කියන්නෙත් පොතක් ළඟපාතවත් නැති ඩෑල් එකකට තමයි. සිහිය අරන් පොතක් හොයන්න සවුදම් පාලිය දාන ටිකට මුළු පන්තියටම කොමඩියක් වෙලා තමයි නවතින්නේ.
6. පෙළපොත්වල අභ්‍යාස

Image Source – lovingkorean.com
ඉස්කෝලෙට අරගෙන ආවා හරි නාවා හරි ගෙදර වැඩ කරන් එන්න නම් පිටු පෙරළන්නම වෙනවා. සමහරු නම් අකුරක වැරැද්දක් කියන්න බැරි වෙන්න ලස්සනට වැඩේ කරන් එනවා. තවත් සමහරු ගෙදර ගිහින් පෙළපොත හොයන්න පැය ගාණක් මහන්සි වෙලා ඒ හොයාගත්තට පස්සේ මල්ලෙන් ගහලා කරගෙන එනවා. තවත් සමහරුන්ට එහෙමවත් හොයාගන්න බැරි වෙලා අනික් පහුවෙනිදා පන්තියට ඇවිත් වේයා හුඹස බඳිනවා වගේ වැඩේ කරන්න පටන් ගන්නවා. සිංහල පොතේ, ගණන් පොතේ එහෙම තියෙන අභ්‍යාස එහෙම මල්ලෙන් ගහන්න පුළුවන් ඒවත් නෙවෙයි නේ.
7. පෙළපොත් අමතක කිරීම

Image Source – mittalsouthasiainstitute.harvard.edu
සාමාන්‍ය පෙළ ඉවර වුණාට එතනින් ඉස්කෝල ගමන හමාර වුණේ නැහැ. හැබැයි එක දෙයක් හමාර වුණා. ඒ තමයි පෙළපොත් නැති වුණ එක. ඒ ඒ විෂයන්ට අදාළ නිර්දේශිත කියවීම් පොත් සල්ලි දීලා කඩෙන් ගන්න වුණා. මෙච්චර කාලයක් තිස්සේ කරගෙන ආපු සම්ප්‍රදායක් වගේ රැකගත්තු දේ බිඳිලා ගිය. අර අතිරේක කියවීම් පොතකට කවරයක් දාන්නවත් මහා ලොකු ආසාවක් ඇත්තෙන්ම ඇති වුණා නම් ඒ එහෙමත් පොරකට තමයි. හැබැයි ඉංග්‍රීසිවලට තඩිම තඩි පොතක් ලැබුණා. ඒක කවදාවත් ඉස්කෝලේ අරන් ගියපු පොතක් නම් නෙවෙයි.
Leave a Reply