රටේ මූලික පොදු ප්‍රවාහන දෙකයිනෙ තියෙන්නෙ. ඕකෙන් කෝච්චි ඈයො එයාලගෙ කෝච්චිවලට එක එක නං දාගෙන තියෙන්නෙ. බංගෙ කියයි, කැලෑ කුමාරි කියයි එක එක නං. හැබැයි ඒ කෝච්චි ඇතුළෙ සිද්ධ වෙන්නෙ බොහෝවිට එකම දේ. නමුත් අපි මේ කියන්නෙ බස් ගැන. ඒ ඒ රූට් අනුව වෙනස් අත්දැකීම් විඳින්න ලැබෙන බස් ගමන විටෙක ආනන්දජනකයි. තව වෙලාවකට පට්ට අවුල්. අපි අද කියන්නෙ අන්න ඒ විදියට අවුල් යන්න පුළුවන් බස් රූට් පහක් ගැන. මේ බස් රූට් පහට සමාන ලක්ෂණ තියෙන තවත් බස් රූට් තියෙනවනං කමෙන්ට් කරන්න.
1. පාසල් මාවත – 154 අඟුලාන-කිරිබත්ගොඩ
පාසල් මාවත කියල ලංකාවෙ ඕනතරං පාරවල් තිබුනත් පාසල් මාවත කියල සුපිරියටම කියන්න පුළුවන් පාරක් තමයි 154 බස් පාර කියන්නෙ. අඟුලානෙන් පටන්ගත්තම ගල්කිස්සෙන් මුලින්ම සයන්ස් කොලේජ්, සේන්ට් තෝමස්, ඇතුළත්මුදලි, හයිස්කූල්, එච්එෆ්සී 2, මුස්ලිම් ලේඩීස්, සේන්ට් පීටර්ස්, එච්එෆ්සී 1, සේන්ට් පෝල්ස්, විශාඛා, ලින්ඩ්සේ, රෝයල්, තර්ස්ටන්, සිරිමාවෝ, සුසුමය වර්ධන, ආනන්ද, නාලන්ද ඉඳන් කිරිබත්ගොඩට යනකංම ලොකු පොඩි ඉස්කෝල ටික වන්දනා කරගෙන යන බස් එකක යන්න පිං කරන්න ඕන මහත්තයො. ඉස්කෝලෙ කොල්ලො බස් එකේ ඉඩ තිබ්බත් යන්නෙ ෆුට් බෝඩ්. ඒ මදිවට රොතු පිටින්. ඒ අස්සෙ උන්ගෙ වලි. කනක් ඇහෙන්න නෑ සින්දු කියනව. අපිත් ඉස්කෝලෙ යන කාලෙ ඔය ටිකම කරාට, ගිහින් ඉවර වුනාට පස්සෙ ඔය දේවල් විඳගෙන බස් එකක යන්න පට්ට කට්ටක් කන්න වෙනවාමයි.
2. සාරි ආමි – 174 කොට්ටාව-බොරැල්ල
154ට හපං ආතල් එකක් තමයි 174 තියෙන්නෙ. 174 යන අතරෙ රජයේ ඔෆිස් බර ගාණක් තියෙනවා. අමුතුවෙන් කියන්න ඕන නෑනෙ රාජ්‍ය සේවෙ වැසියො ගැන. ඔය අතරෙ ඉන්නව සාරි ඇඳපු ඇන්ටිලා ගැන්සියක්. එයාලව අපි හඳුන්වන්නෙ සාරි ආමි නමින්. හම්මටසිරි මහත්තයො යන බස් එකේ බාර් අල්ලන්නෙ නැතුව තුන් දෙනා එක්ක කතා කර කර ෆුට් බෝඩ් එකේ උඩට නගින්න හැකියාව තියෙන ඇන්ටිලා. හැබැයි බස් එක ඇතුළට අඩිය තිබ්බ ගමන් කකුල් කොර වෙනවා. ඊට පස්සෙ කොල්ලෙකුට හිනාවක් දාලා අසරණ විදියට පූස් ඉන් බූට්ස් එකේ පූසා ටයිප් එකේ ලොන්තපෝල් මූඩ් එකක් දානව. ඒ කරලත් සීට් එක දුන්නෙ නැත්තං පිටිපස්සෙ සීට් එකේ වාඩි වෙලා ඉන්න දෙන්නෙකුගෙ කකුල් මැද්දෙන් අත තියල ඉඩ චුට්ටක් ඉල්ලනව. අනේ ඒ චුට්ටෙන් පස්ස ඩීංගිත්තක් තියාගන්න මේ සාරි ආමි එකේ ඈයො බස් හෝල්ට් දෙකක් යද්දි තමුන්ගෙ පශ්චාත් භාගෙ ඔබාගන්න තරමට ඉඩත් ආක්‍රමණය කරල ඉවරයි. පරංගි කැළේ. ඔය කරලත් සීට් එක හම්බුනේ නැත්තං මෙයාලා සීට් තුනක විතර ඉඩ හිටගෙන කවර් කරගෙන වටපිටට උකුසු ඇස් දාගෙන ඉන්නව කාගෙ හරි පස්සක් ඉස්සෙනකං. ඇත්තටම සාරි ආමි එක තමයි භයානකම කණ්ඩායම. නිකමට හරි ලංකාව බස් එකක් වෙලා, ප්‍රභාකරන් කෑල්ලක් වෙන් කරගන්න හැදුවනං, මෙයාල බස් හෝල්ට් තුනක් යන්න කලින් ප්‍රභාකරන්ව උඩුකුරුංඥ්ඥං කරවනව ෂුවර්.
3. පොකට් කඩේ – 101 මොරටුව-පිටකොටුව
101 කියන්නෙ කොයි වෙලෙත් අඩුත් නැති වැඩිත් නැති සෙනග ඉන්න බස් එකක්. මහා ලොකුවට හිර වෙලත් නැති, එහෙමයි කියල නිදහසේ යන්න තරං ඉඩකුත් නැති බස් එකක් වැඩිපුරම වටින්නෙ කාටද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. පොකට් අයියලට තමයි. නිදහසේ ප්ලෑන් කරලා, අසරණයෙක්ට ගේම දීලා, මොකුත් නොදන්න ගාණට බැහැලා යන්න මේ බස් රූට් එක තරං පහසු තැනක් තවත් නෑ. මේ බව දන්න නිසාම මේකෙ පොකට් අයියල වැහි වැහැලා. හතර දෙනාගේ සිට එකා දක්වා කල්ලි විදියට ඇවිත් පොකට් ගහන මෙයාලගෙ එක එක ක්‍රම තියෙනවා. ඒ ගැන පස්සෙ කියන්නං. කොහොම වුනත් පුතේ දැළි පිහි පාරක් කන්න බයේ කොන්දොස්තර මහත්තයත් මොකුත් නොකියන නිසා කට්ටිය මේ අයියල බස් එකක ඉන්නව කියල දන්නෙත් නෑ.
4. කාළගුණේ වගේ – 255 කොට්ටාව-ගල්කිස්ස
කවදාවත් නිශ්චිත කරලා මේ යැයි කිව නොහැකි බස් එකක් විදියට ගල්කිස්සේ සිට කොට්ටාවට යන මේ බස් එක හඳුන්වන්න පුළුවන්. බස් එක කොට්ටාවෙන් නවත්තපු ගමන් පෝලිමේ ඉන්න සෙනග නගිනවා. විනාඩි පහකින් විතර සීට් ඔක්කොම පිරුණම දැන් යයි කියල හිතෙනවා. නෑ යන්නෙ නෑ, ඔය විදියට පැය භාගයක් ගියාම ඔන්න බස් එක අද්දනවා සෙනග ඉන්නව ඩ්‍රයිවර්ගෙ උකුලෙත්. ඩ්‍රයිවරුත් අරින්නෙ නෑ. තවත් තුන්දෙනෙක්වත් උකුලට හරි පටෝගන්න තමා කල්පනාව. හැබැයි හැමදාම ඔහොම නෑ. සමහර දාට කොන්දොස්තරවත් දාලා යනව හදිස්සියට. ගමනත් එහෙමයි. සමහර වෙලාවට අසූවෙ ආච්චිලා යන බස් එකෙන් බැහැලා යනවා. තවත් වෙලාවකට බස් එකට නගින්න ඕන මිනිස්සු ත්‍රීවීල් වලින් ෆලෝ එක දෙන්න ඕන. ගමනාවසානයත් එහෙමයි. ඔන්න ගල්කිස්සෙන් පටන් ගත්තු බස් එක ටිකක් දුර යද්දි කොන්දොස්තරයි ඩ්‍රයිවරුයි කතා කර කර ඉන්නව පේනව. අනේ මෙන්න ටිකකිං කියනව යන්නෙ පිළියන්දලට විතරයි කියල. කොට්ටාවෙන් අද්දන ඒවත් එහෙමයි. කටුබැද්දට විතරයි කියනව. කිසිම නිශ්චිත බවක් නැති බස් එකක්. කවදාවත් ප්ලෑන් කරලා වැඩක් කරන්න බෑ.
5. සුළඟ වගේ ඇවිදින් – 03
අපි අංක 03 දැම්මෙ කොළඹ ඇඹිලිපිටිය බස් එක ගැන කියන්න වුනත් දෙයියනේ කියල ලංකාවෙ දුර ගමන් බස් ඔක්කොම මෙහෙම තමයි. ඔන්න ඉතිං කොටුවෙන් බස් එකට නැගපු ගමන් නිදා ගන්නව පැය දෙකක් විතර. නිදාගෙන ඇහැරිලා බලද්දිත් කොට්ටාවෙ. නෙද්දකිංවත් සීඝ්‍රගාමී කියල ආයෙ හීනෙකට වැටිලා විනාඩි දහයෙන් ඔලුව උස්සද්දි මෙන්න අවිස්සාවේල්ලෙ. පාරෙ තියෙන දර්ශන පාස් වෙන්නෙ සිං සිං ගාලා. අතොරක් නෑ වටේ පිටේ උන් නන්දිකඩාල් කලපුවෙ වගේ ඔක්කොම දොයි. ඒ මදිවට බස් අජියයි අර නන්දා මාලීනී නෝනගෙ ඩිජිටල් පුත්‍ර රත්නයයි නෙලනව ටකරං ගීත මාරුවෙන් මාරුවට. කොන්දොස්තර මොනව කියනවද කියල තේරෙන්නෙ නෑ උගෙ කටේ බුලත්. ඇඹිලිපිටියෙන් ගිහින් බැස්සොත් මිසක් මගින් බහින්න හිටියොත් සුම්මා තමයි. ගැටහැත්තෙන් වගේ බහින්න හිතුනොත් අම්මට කෝල් එකක් දීලා තමයි ඉස්සරහට යන්න ඕන. ඒකට බස් එකේ යන උනුත් ඒකටම මරු. බෙල් එක ගැහුවාම 110ට විතර යන බස් එක 70ට විතර ස්ලෝ කරාම තමයි උන් පනින්නෙ. පනින්නෙ නෑ විසි වෙනව. එක්කො ඒ හුළඟට විසි නොවී ඉන්න සිරුරේ සිවු පස බර එල්ලගෙන යන්න ඕන කිලෝ දෙසීයකවත්. අන්න මහත්තයො බස්. බංජි ජම්පින්වලින්වත් ගන්න බෑ එහෙම ආතල්.
Cover Image Source – moneylife.in
Leave a Reply