අපේ ලංකාවේ අපි දකින බොහොම සුලභ ගතිලක්ෂණයක් තියෙනවා. ඒ තමයි මනුස්සයෙක්ව මුණගැහුනොත් අපි “හලෝ, කොහොමද, මොනවද විස්තර?” කියලා නෙවෙයි අහන්නේ. “හායි, ඔයා කෙට්‍ටු වෙලානේ, මොකුත් බෙහෙතක් ගත්තොත් නරකද?”, “ඔයා මහත් වෙලා කලින් දැක්කට වඩා”, “ඇයි අනේ ඔයා මේ කලු වෙලා තියෙන්නේ?” ඔන්න ඔය වගේ කමෙන්ට් එකක් තමයි බොහොම සුලභව අහන්න ලැබෙන්නේ. ඕක ලොකු දෙයක් නෙවෙයි වගේද තේරෙන්නේ? ඔව්, අපිට මේක ඇඟට පත්තියම් වෙලා නිසා, කෙනෙක් මුණගැහුනම ඇඟවල් ගැන කතා කරන එක ලොකු දෙයක් නෙවෙයි කියලයි හිතෙන්නේ. හැබැයි ඒක පොදුවේ සැලකෙන්නේ බොහොම අශිෂ්ට දෙයක් විදියට. අර සුද්දගේ විදියට ගත්තොත් Body Shaming කියලා කියන්නේ මෙන්න මේකට. ඇත්තටම අපේ ඇඟ ගැන කෙනෙක් ඔය විදියට කියනකොට හිත රිදෙන්නෙ නැද්ද? ආන්න ඒක වළක්වා ගන්න ක්‍රම කීපයක් තමයි මේ කියන්න යන්නේ.
1. තමන්ව තේරුම් ගන්න
මේක ඔය පුරාණේ ඉරිසින්නාන්සෙලාගේ ඉඳන් කියන දෙයක්. ඒ තමයි හැමදේකටම කලින් තමන්ව තේරුම් ගන්න කියන එක. දැන් මේ තමන්ව තේරුම් ගන්න එක සහ ඇඟ ගැන අවමන් කතා ඇසීම අතර සම්බන්ධය මොකක්ද?
සම්බන්ධය මේකයි. කෙනෙක් අපේ ඇඟ ගැන අවමාන කතාවක් කියනකොට අපිට නොදැනුවත්වම හීනමානයක්, අනාරක්ෂිත හැඟීමක් ඇතිවෙනවා. ආන්න ඒක සමනය කරගන්න පුලුවන් තමන් ඇත්තටම තමන් ගැන දන්නවානම්. තමන්ගේ වටිනාකම දන්නවා නම්. ආන්න ඒ කාරණාව තමයි ඊළඟට කියන්නේ.
2. තමන් අති විශිෂ්ටයි කියන එක තේරුම් ගන්න
උඩින් කියපු විදියට තමන් කවුද කියලා අවංකව හොයාගෙන යනකොට සමහර වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුලුවන් තමන් කිසිම වැඩකට, වැදගැම්මකට නැති ඩයල් එකක් තමයි කියලා. ආන්න එහෙම හිතනවා නම් තේරුම් ගන්න ඕන කාරණේ තමයි, තමන් ඇත්තටම විශිෂ්ටයි කියන එක. තමන් සුවිශේෂීයි කියන එක. තමන් සුවිශේෂී වෙන්න සික්ස් පැක්ස් තියෙන්න ඕන නෑ, බියුටි ක්වීන් කෙනෙක් වෙන්න ඕන නෑ, රටේ ඉහළම රැකියාවක් කරන්න ඕන නෑ, පිටරටවල ආචාර්ය උපාධි අරගෙන තියෙන්න ඕන නෑ. තමන් විශිෂ්ට වෙන්න ඇත්තටම වෙන්න ඕන තමන් සුවිශේෂීයි කියන එක තේරුම් ගැනීම. හරි, ජීවිතේ වැරදීම්, පසුබෑම් තියෙන්න පුලුවන්. ඒත් මනුස්සයෙක් විදියට තමන් සුවිශේෂීයි කියන එක එතනින් වෙනස් වෙන්නෙ නෑ. කළ යුතු දේ තමන් විශිෂ්ටයි කියන එක අධිෂ්ඨාන කරගෙන, විශිෂ්ටත්වය කරා යන එක.
3. තමන්ගේ ශරීරය ගැන ආඩම්බර වෙන්න
දැන් ඔය බොඩි ෂේමින්ග් කියන එක නැතිනම් ශරීරය ගැන අවමන් කිරීම බලපාන්නේ මහතට, කෙට්‍ටුවට, කළු වීමට, සුදු වීමට වගේ දේවල් වලට විතරක් නෙවෙයි. ශරීරයේ තියෙන්න පුලුවන් යම් කිසි වෙනස් කමකට වුනත් ඔය බොඩි ෂේමින්ග් කියන එක අදාළ වෙන්න පුලුවන්. දැකලා ඇතිනේ සමහර මිනිස්සු යම් කිසි ශාරීරික වෙනස්කමක් තියෙන මනුස්සයෙක්ට වුනත් හිනාවෙනවා. ඒකත් බොඩි ෂේමින්ග් තමයි.
අන්න ඒ නිසා තමන් කවුද කියන එක ගැන තමන් ආඩම්බර වෙන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ ශරීරය කොයි විදියේ එකක් වුනත්, තමන්ට කොයි විදියක හරි ශරීරයක් තියෙන එක ගැන ආඩම්බර වෙන්න ඕන. අපිට අපේ ශරීරය ගැන අවුලක් නැති නම්, වෙන මනුස්සයෙක් අපේ ශරීරය ගැන කියන දෙයක් හෝ අවමානාත්මකව බලන බැල්මක් ගැන අපිට වද වෙන්න වුවමනාවක් ඇතිවෙන්නෙ නෑ.
4. තමන්ගේ වටිනාකම ඉහළ දමා ගන්න
මේක ටිකක් දීර්ඝ කාලීන දෙයක්. අපි හැම මනුස්සයෙක්ම දියුණු වෙන්න ඕනැනේ. හැබැයි හැම මනුස්සයාම දියුණු වෙන්නෙ නෑ. අදම අධිෂ්ඨාන කරගන්න, තමන් ඔය කියපු දියුණු වෙන මනුස්සයෙක් වෙනවාය කියලා. ඒක තමන්ගේ රැකියාව පැත්තෙන් වෙන්න පුලුවන්. තමන්ගේ වෙනත් තියෙන කුසලතාවයක් පැත්තෙන් වෙන්න පුලුවන්. මේ කොයි විදියට වුනත් දියුණු වෙන්න, ඉහළට යන්න තමයි අවශ්‍ය කරන්නේ.
දැන් දියුණු වීමයි, ශරීරය ගැන අවමානාත්මක දෙයක් ඇහිලා හිත රිදෙන එකෙයි තියෙන සම්බන්ධය මොකක්ද? අපි දියුණුවට පත් වෙන්න පත් වෙන්න අපිට අපි ගැන තියෙන ආත්ම විශ්වාසය වැඩිදියුණු වෙනවා. ඒ වගේම මිනිස්සු අපි දිහා බලන ආකල්පයත් වෙනස් වෙනවා. අපි නිකම්ම පුද්ගලයෙක් වෙලා හිටපු කාලේ කෙනෙක් අපි මහතයි කියලා හිනා වුනා කියලා හිතමු. හැබැයි අපි රටම දන්න ව්‍යාපාරිකයෙක් වුණු දවසටත් ඒ කෙනා අපි මහතයි කියලා කියන්න එයිද? නැහැනේ. අනික අපි එහෙම සාර්ථකත්වයකට පත් වුණු දවසකට කෙනෙක් “ඔයා මහත් වෙලා” කිවුවොත් ඒකෙන් අපේ හිත රිදෙයිද? නැහැනේ.
5. ශරීර සුවතාවයට මුල් තැනක් දෙන්න
සාමාන්‍යයෙන් ඔය මහත් වෙලා, කෙට්‍ටු වෙලා, ඇදිලා ගිහින්, පිම්බිලා ඇවිල්ලා වගේ ශරීරය ගැන කියන කතන්දර සම්බන්ධයෙන් කරන්න පුලුවන් සාර්ථකම දෙයක් තමයි ශරීර සුවතා ව්‍යායාම. ජිම් යන එක, දුවන්න යන එක, ඇවිදින්න යන එක, ක්‍රීඩා කරන එක වගේ ඔය ඕනෑම එකක්. මේ දේවල් වලින් ඇත්තටම තමන්ගේ ශරීරය තමන්ට වුවමනා විදියට සංවර්ධනය කරගන්න පුලුවන්. දැන් අපි කියමු මහත මනුස්සයෙක් ඔය මොනව හරි කරලා ඇඟ ගාණට හදාගත්තා කියලා. එතකොට මිනිස්සු අපේ ඇඟ ගැන කියන කතන්දර නතර වෙයිද? සමහර විට නෑ. මොකද සමහර මිනිස්සු ඉන්නවා, කෙනෙක්ට අවමානාත්මකව දේවල් කියන්නේ ඇති වැඩකට නෙවෙයි. ඉතින් එහෙම කෙනෙක් අපි ග්‍රීක දේව පිළිමයක් වගේ වුනත් මොනවාම හරි කියනවා. හැබැයි වැදගත්ම දේ තමයි අපි අපේ ශරීරය සංවර්ධනය කරගන්න කොට ඒ කියන දේවල් සතපහකට ගාණක් නැති වෙන එක.
6. හරිම ෆැෂන් කරන්න
කෙනෙක්ට ෆැෂනබල් වෙන්න, ඒ කියන්නේ විලාසිතාවන්ට අනුකූල වෙන්න අමුතුවෙන් කරන්න දෙයක් නෑ. තමන්ගේ වැරදියට කරන විලාසිතා නොකර හිටියත් තමන්ට ෆැෂනබල් වෙන්න පුලුවන්. මොකද්ද මේ ෆැෂන් කරන එකෙන් බොඩි ෂේමින්ග් නවතින විදිය? නෑ, බොඩි ෂේමින්ග් ෆැෂන් නිසා නවතින්නේ නෑ. හැබැයි තමන් හරි විදියට ඇඳුම් පැළඳුම් කරනවා නම් තමන්ට තමන් ගැන හොඳ හැඟීමක් ඇති වෙනවා. අන්න එතකොට ඇඟ ගැන අනං මනං කියන්න එන එවුන්ව ගණන් නොගෙන ඉන්න පුලුවන්. හරි විදියට ඇඳුම් පැළඳුම් කරනවා කියන්නේ මහ ලොකු අමාරු දෙයක් නෙවෙයි. තමන්ගේ ඇඟ කොයි විදියේ වුනත්, තමන්ට වඩාත් ගැලපෙන විදියට අඳින පළඳින එක ගැන තමයි මේ කියන්නේ. ඕනෑ නම් මේකට ෆැෂන් ගැන දන්න, ෆැෂන් සෙන්ස් එකක් තියෙන මනුස්සයෙක්ගෙන් ආධාර උපකාර ගන්න පුලුවන්.
7. බෝලෙට ගාණට පහර එල්ල කරන්න
අපි උඩිනුත් කියපු විදියට ගොඩක් වෙලාවට අපේ ශරීරය ගැන කතන්දර කියන ගොඩක් දෙනෙක්ට තියෙන්නේ, අපේ හිත සුව පිණිස අවංක වුවමනාවක් නෙවෙයි. ඒ අයට තමන්ගේ හිත් වල, තමන්ගේ පෞරුෂත්වයේ තියෙන අඩුපාඩු වසාගන්න වුවමනායි. ආන්න ඒ වෙනුවෙන් තමයි ගොඩක් වෙලාවට ඔය වගේ බොඩි ෂේමින්ග් කමෙන්ට්ස් දෙන්නේ. ආන්න ඒ වගේ දෙයක් කියන මොහොතකදී හිත රිද්දගෙන පැත්තකට වෙන එක නවත්තන්න. ඒ සිටුවේෂන් එකේ වින්දිතයා වෙන එක නවත්තන්න. ඒ වගේ මොහොතකදී කැපෙන දෙයක් ආපිට කියන ශාස්ත්‍රය ප්‍රගුණ කරන්න. උදාහරණයක් විදියට “අපෝ ඔයා හිටියටත් වඩා කෙට්‍ටු වෙලානේ” කියලා කෙනෙක් කිවුවොත් ලස්සනට හිනා වෙලා කියන්න “අනේ ඒ වුනාට ඔයා නං හරීම ලස්සන වෙලා, බලන්නකෝ ඇඟ ගාණට ලස්සනට තියෙනවනේ” කියලා. එහෙම නැතිනම් සාමාන්‍යයෙන් මහත දෙහෙතට ඉන්න කෙනෙක් ඔයාට කිවුවොත් “බලන්නකෝ ඔයාගෙ මහත” කියලා, කම්මැලි හිනාවක් දාලා අහන්න “ඔයාට මාව කණ්ණාඩියක් වගේද පේන්නේ?” කියලා!
ඒ වගේම තමයි, කෙනෙක් අපේ ශරීරය ගැන අවමානාත්මකව දෙයක් කියනවට අපි අකමැතියි නම්, කවදාවත් තව කෙනෙක්ගේ ශරීරය ගැනත් කමෙන්ට් කරන්න යන්න එපා. ඒක අශීලාචාර පුරුද්දක් කියන එක මතක තියාගන්න.
Leave a Reply