ගූග්ල් සමාගම කියන්නෙ තාක්ෂණික ලෝකෙ දැවැන්තයෙක්. මිනිස්සුන්ට තමුන්ගෙ එදිනෙදා ජීවිතය වගේම කාර්යාලීය ජීවිතයත් පහසු කරවන නිෂ්පාදන බොහෝමයක් ගූග්ල් සමාගම නිපදවනවා වගේම පවත්වාගෙන යනවා. මේ අපේ සටහනට එකතු වෙන්නෙ මීට කලින් අපි ප්‍රයෝජනේට ගත්තු, එහෙත් දැන් නවත්වා තිබෙන ගූග්ල් සේවාවන් කිහිපයක්. මේ බොහෝමයක් සේවාවන් ගූග්ල් විසින් නවත්වද්දි මිනිස්සු බැන වැදුනත්, කාලෙකට පස්සෙ මේවා මිනිස්සුන්ට අමතක වෙලාම ගියා.
1. Google Buzz
ලංකාවෙ අයට වැඩිපුරම ළඟ දැනට අහිමි ගූග්ල් නිෂ්පාදනය විදියට Google Buzz හඳුන්වන්න පුළුවන්. ඉස්සර කට්ටිය Google Buzz එකේ ත්‍රෙඩ් පුරවන්නෙ බස් පදිනව කිය කිය. මිතුරු සංවාද වගේම සාහිත්‍ය, සිනමාව පැත්තෙ වැදගත් කියවීම් බොහෝමයක් Google Buzz ඇතුළෙ ආරම්භ වුනා. 2011 දෙසැම්බරයේදි Google Buzz අහිමි වුණු කාලයේදී, ඒ වගේම ඉහළ නගිමින් තිබුණු ෆේස්බුක් වෙත තිබූ ඉහළ ජන ආකර්ෂණය නිසා බොහෝ දෙනෙකුට Google Buzz අහිමි වීම දැනුණෙ නෑ. හැබැයි ඒක නොදැනුණු අයත් නැතුව නෙමෙයි. ඒ සංවාද ගොඩනැගීම මයික්‍රො බ්ලොගින් ඇතුළෙ එකිනෙකා සම්බන්ධ කරන පද්ධතියකට ඇරෙන්න සමාජ මාධ්‍ය ඇතුළෙ එකිනෙකා සම්බන්ධ කරන පද්ධතියකට කරන්න අමාරුයිද කියලත් හිතෙන තරම්.
2. G Talk
දැන් දැන් මෙසෙන්ජර්, වට්ස්ඇප්, වයිබර් හෝ ඉමෝ ඇතුළෙ චැට් කරන කට්ටිය මීට අවුරුදු දහයකට කලින් පාවිච්චි කළේ ගූග්ල් එකේ G Talk හරි යාහු මෙසෙන්ජර් එක හරි විතරයි. කම්පියුටර් එක ඔන්වෙද්දිම මුලින්ම අමුතු සද්දයක් දාගෙන ඕපන් වෙන සොෆ්ට්වෙයා එක අන්තර්ජාලයට සම්බන්ධ වෙච්ච ගමන් ඒ වෙනකං කට්ටිය එවපු කරපු පණිවුඩ ටික පෙන්නන්න ගන්නවා. සාමාන්‍යයෙන් ඒ කාලෙ මේල් එකක් දැම්මොත් කෝල් එකක් දීලා කියන කාලයක් නිසා කිසිම හදිස්සි දෙයක් G Talk ඇතුළෙ එවුවෙ නෑ. G Talk ඇතුළෙ හුවමාරු වුනේ ගොඩක් වෙලාවට ආතල් කතා විතරයි. එනිසාමයි 2013 අවුරුද්දෙ මැයි මාසෙදි G Talk අහිමි වෙද්දි පාඩුවක් නැතත් පාලුවක් දැනුණෙ.
3. Google Wave
Google Wave කියන්නෙ එසැණ තොරතුරු හුවමාරු කරන චැට් සිස්ටම් එකක්, තොරතුරු දැනගත හැකි පද්ධතියක්, ඊමේල් වගේම සමාජ ජාලකරණයේත් මූලික පියවරක් විදියට සියල්ල එකතුවුණු Google Wave එළියට එන්නෙ 2009දි. හැබැයි බොහෝදෙනෙක් Google Wave හා එක්වෙන්නෙ නෑ. ඒකට ෆේස්බුක් ප්‍රධාන හේතුවක් වෙන්නට පුළුවන්. ඒ නිසාම පටන් අරගෙන අවුරුද්දකින් Google Wave නවතා දමනවා. හැබැයි පාවිච්චි කරපු අයනම් Google Wave ගැන දරන්නෙ හොඳ ආකල්පයක්. Google Wave වෙත අවධානය අඩුවෙන්න ලොකුම හේතුව වෙන්න ඇත්තෙ ඒකෙ ප්‍රයෝජනය ඉහළ වුනත් අලුතින් සම්බන්ධ වුණු අයට මහා නිදහසක් නොලැබුණු නිසා වෙන්න පුළුවන්.
4. Google Dictionary
දැන් ඉන්න අයට තවත් එක ඔන්ලයින් ඩික්ෂනරියක් විතරක් වුනාට මයික්‍රසොෆ්ට් ජීනි විතරක් තිබුණු කාලෙ ඔන්ලයින් ඩික්ෂනරියක ලොකු වැදගත්කමක් තිබුනා. ඒ නිසා බොහෝමයක් ගූග්ල් නිෂ්පාදන සමගින්ම 2011දි ඩිස්කන්ටිනියු වුනත්, කාලෙකට කලින් වඩා ප්‍රයෝජනවත් වුණු සාඩම්බර ගූග්ල් නිෂ්පාදනයක් විදියට Dictionary හඳුන්වන්න පුළුවන්. මේ වෙද්දි ගූග්ල් ට්‍රාන්ස්ලේට් ඇතුළෙත් දිවෙන මේ යාන්ත්‍රණය මීට කාලෙකට කලින් ගූග්ල් සර්ච් එංජින් එක හරහා මිනිස්සුන්ට උදවු වුනා. මේක ඇත්තටම මහා යාන්ත්‍රණයේ යටින් දුවපු එක් වැදගත් කොටසක් විදියට හඳුන්වන්න පුළුවන්.
5. Google Notebook
බ්‍රවුසර් එකක ඉඳගෙන අන්තර්ජාලය සරද්දී අවශ්‍ය වෙන තොරතුරු සටහන් කරගන්න තමයි Google Notebook භාවිතා වුණේ. පින්තූර සේවු කරගන්න වගේම කෙටි සටහනක් තියාගන්න, වෙබ් සබැඳි එල්ලා තබාගන්න හැකියාව තිබුණු මේ සේවාව බ්‍රවුසරය හරහා ඇප් එකක් විදියටයි ක්‍රියාත්මක වුණේ. තමුන් කැමති පුද්ගලයෙක් හෝ පිරිසක් එක්ක තමුන්ගේ සටහන බෙදාගන්නත්, තමුන්ට පමණක් දකින්නට තබාගන්නත්, තොරතුරු හිතැති ජනයාට දකින ලෙස පොදු අවකාශයක ඒ දත්ත පෙනෙන්නට තබන්නත් එයට හැකිවුණා. 2013 වසරේ මාර්තු මාසයේදී එය නවතා දැමුණා.
6. Aardvark
දැනුම බෙදන තැනක් වෙච්ච Aardvarkට ඒ නම ලැබෙන්නෙ අප්‍රිකාවට ආවේණික සතෙක්ගෙන්. ඒකම තමයි Aardvark ලෝගෝව වෙන්නෙත්. මිතුරන් වගේම, මිතුරන්ගේ මිතුරන් අතරේ දැනුම බෙදාගන්න හදපු වේදිකාවක් විදියට Aardvark හඳුන්වන්න පුළුවන්. 2011 දී වසා දැමෙන Aardvark මූලිකව තාක්ෂණික දැනුම හුවමාරු වෙච්ච තැනක්. අපේ ප්‍රශ්නයක් ප්‍රවීණයන් වෙත යොමු කරලා උත්තර හොයා දෙන ෆෝරම් එකක් විදියට Aardvark හඳුන්වන්න පුළුවන්. මේක ගූග්ල් නිපදවපු දෙයක් නොවුනත්, ගූග්ල් විසින් දියුණු කළ වග කියන්න පුළුවන්.
7. Knol
ගූග්ල් නිෂ්පාදන අතරේ නවතා දැමූ සේවාවන් බැලුවොත් ඒවා බොහෝවිට දැනුම සංසරණයට මූලික වුණු ඒවා වග දකින්න පුළුවන්. ගූග්ල් සමාගමේ Knol කියන්නෙත් එවැනි සේවාවක්. විකිපීඩියා වගේම විවිධ වූ ඉසවු යටතේ ලිපි එකතු කර තබාගත්තු මධ්‍යස්ථානයක් විදියට Knol හඳුන්වන්න පුළුවන්. අවුරුදු පහක් පැවතිලා 2012 අප්‍රේල් 30වැනිදා නවතා දමන Knol තුළ තිබුණු සියළු දත්ත 2012 ඔක්තෝබරය වෙද්දි මකා දමනවා. ඒ තුළ වූ වැදගත් සටහන් කිහිපයක් විකිපීඩියා තුළට ගෙනැවිත් තිබුනත්, බොහෝමයක් අතුරුදන් වූ වගයි පැවසෙන්නේ.
Cover Image Source – medium.com
Leave a Reply