කොවිඩ් නිසා අපේ ජීවිතවලට මඟහැරෙන ලොකුම දෙයක් තමයි දරුවන්ගෙ අධ්‍යාපනය. දැන් අවුරුදු එකහමාරකට ආසන්න කාලයක් තිස්සෙ හරියට පාසල් පැවැත්වුණේම නැහැනේ. විභාග එහෙමත් හරිම අපහසුවෙන්, ප්‍රමාදවෙලා තමයි තිබ්බෙ. ඒ සමහර විභාග වලත් ප්‍රතිඵල තවමත් ලැබිල නැහැ. මේ ඔක්කොම නිසා ආපස්සට යන්නෙ පුංචි දරුවන්ගෙ අනාගතය. හැබැයි ඉතින් කොරෝනා මාරයා බුරුලක් දෙන්නෙත් නැහැ තව සෑහෙන්න කාලෙකට මේ තත්ත්වයේ ලොකූ වෙනසක් වෙලා පරණ පුරුදු විදිහට පාසල් පවත්වන්න ලැබෙයි කියල හිතන්නත් අමාරුයි. ඒ නිසා හොඳම දේ තමයි මේ යන ඔන්ලයින් ක්‍රමයට අහුගතවෙලා ඒක දිගින් දිගටම කරගෙන යන එක. හැබැයි ඒකත් කියන තරම්ම ලේසි නැහැ. ජංගම දුරකථන හෝ ලැප්ටොප්, අන්තර්ජාල සම්බන්ධතා නැති දුප්පත් ගෙවල් මේ රටේ කොයිතරම්ද. ඒ දරුවෝ මේ අලුත් ක්‍රමය ඉස්සරහ අසරණ වෙනහැටි කියාගන්න බැරිතරම්. කොහොමින් හරි මේ කියන්න යන්නෙ ඒ ගැනනම් නෙමෙයි. ඔය කියන පරිගණක, දුරකථන වගේ හැමදේම තිබිලත් ගෙදර වැඩපළ, අනිත් දහසකුත් එකක් ප්‍රශ්න එක්ක අමාරුවෙන් ඔන්ලයින් පන්ති කරවන අම්මලාට වැඩේ ටිකක් පහසු කරගන්න, නැත්තම් වැඩෙන් උපරිම ප්‍රයෝජන ලබන්න පුළුවන්වෙන උපදෙස් කිහිපයක්.
1. සද්ද බද්ද, කරදර අඩු පරිසරයක්
පාසලක පන්ති කාමරයක් ඇතුළේ තියෙන පරිසරය ගෙදරක් ඇතුළේනම් කොහොමටවත්ම බලාපොරොත්තු වෙන්න බැහැ. ගෙදර අනිත් අයගේ වැඩ රාජකාරි, පොඩි ළමයින්ගේ සෙල්ලම් වගේ හැමදේම සිද්ධ වෙනවනේ. හැබැයි ඉතින් මේක ඔන්ලයින් ඉගෙන ගන්න ළමයට, උගන්වන ගුරුවරයට වගේම අම්මටත් කරදරයක්. මොකද ඒක කෙරෙහි අවධානය තියාගෙන ඉන්න අපහසුයිනේ. ඒ නිසා මේ වෙනුවෙන් වෙනම ස්ථානයක් වෙන්කරගන්න පුළුවන්නම් හොඳයි. ගෙදර අනිත් අයට මේ වෙන්කිරීම ගැන කලින්ම දැනුම්දීලා ඒ අයගේ පැමිණීම් හැකිතාක් අඩුකරන්න.
ඒ වගේම මේ තෝරගන්න තැන වීඩියෝ දර්ශන වලට සුදුසු තැනක්නම් තමයි වඩාම හොඳ. ඒ කියන්නෙ කැමරා එක ඔන් කළහම දරුවා අපහසුතාවයට පත්වෙන දේවල් පසුබිමින් පෙනෙන තැනක් නොවෙනවනම් තමයි හොඳ. මොකද කැමරව ඔන් නොකර ලොකූ සිසුන් ප්‍රමාණයකට ඉගැන්වීම ඇත්තෙන්ම ගුරුවරයාට අපහසුවක්. ඒ නිසා ගුරුවරයා කැමරාව ඔන් කරන්න කියන එක ගොඩාක් වෙලාවට වෙනවා.
2. හොඳ අන්තර්ජාල පහසුකමක්
මේකනම් අනිවාර්යය කරුණක්. අන්තර්ජාල පහසුකම හරියට නැත්තම් ඔන්ලයින් පන්ති ගැන හිතන්න එපා. කඩින් කඩ සම්බන්ධතාවය ගිලිහෙනකොට අවධානයෙන් ඉගෙන ගන්න බැහැනේ. ඒ නිසා මේ ගැන කළින් හොයල බලන්න. හොඳම අන්තර්ජාල පහසුකම් සපයනවා කියල ප්‍රසිද්ධ දුරකථන සමාගමක වුණත් ඔබේ ප්‍රදේශයට ලැබෙන සංඥාවල අඩුවක් තියෙන්න පුළුවන්. ඒ නිසා නමටම මිලදී නොගෙන ප්‍රායෝගික තත්ත්වය පරීක්ෂා කරල බලලම සේවාව ලබාගන්න.
3. අදාළ ජාලයේ හොඳ පැකේජ් එකක්
අන්තර්ජාල පහසුකම ලබාගත්තට විතරක්ම මදි. ඒ අදාළ සැපයුම්කරු සම්බන්ධ කරගෙන ඔන්ලයින් පන්ති සඳහා සකස්කෙරුණු පැකේජ ගැන විස්තර දැනගන්න. ඒ කියන්නෙ ඒ අදාළ දුරකතන සමාගම් වල තියෙනවා සූම් වගේ ඔන්ලයින් මීටින් ඇප්ලිකේශන් සඳහාම වෙන්වුණු පැකේජ. එහෙම නැතුව සාමාන්‍ය පැකේජයකින් වැඩිකාලයක් ඔන්ලයින් ඉන්න ගියොත් වියදම අධික වෙන්න පුළුවන්. අනික පෙරගෙවුම් සම්බන්ධතාවයක්නම් මුදල් ඉක්මනින් ඉවරවෙලා සමබන්ධතාවය විසන්ධි වෙන්නත් පුළුවන්. එහෙම අවදානමක් නොගෙන කළින්ම පැකේජයක් තෝරගන්න.
4. ජංගම දුරකථනයට ඇටවුමක්
ලැප්ටොප් එකකින් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයකින් ඔන්ලයින් පන්ති යන ගෙදරකටනම් මේ අවශ්‍යතාවය ඇතිවෙන්නේ නැහැ. හැබැයි ජංගම දුරකතනයකින් ඔන්ලයින් යනවනම් ෆෝන් එක අතේම තියාගෙන හුඟක් වෙලා ඉන්න අපහසුයිනේ. ෆෝන් එක හේත්තු කරල තියන එකත් සාර්ථක විසඳුමක් නෙමෙයි. අතරමඟදී වැටෙන්න එහෙම පුළුවන්. මේකට මොකක්හරි සරල ඇටවුමක් හදාගන්න එක තමා පහසුම විසඳුම. සමහර ෆෝන් කවර තියෙනවා ෆෝන් එක මේසයක් මත රඳවා තබන්න පුළුවන් කොටසක් පිටුපසින් තියෙන. එහෙම එකක් භාවිතා කරන්න පුළුවන්. නැත්තම් මේසය මත ජංගම දුරකථනය රඳවා තියන්න භාවිතා කරන Mobile Phone Holder එකක් භාවිතා කරන්නත් පුළුවන්. ජායාරූපකරණයේදී භාවිතා වෙන ට්‍රයිපොඩ් එකක් සාමාන්‍ය මිලකට මිලදී අරගෙන මේ වෙනුවෙන් භාවිතා කරන්නත් පුළුවන්. එහෙම නැත්තම් ගෙදර තියෙන පරණ සෙල්ෆි ස්ටික් එකක් හොයාගෙන ඒක මේස කකුලකට වගේ තියල ගැටගහල ගන්නත් පුළුවන්. ඔය වගේ අවටින් හොයාගන්න තියෙන දේකින් සරල ඇටවුමක් හදාගන්න.
5. ස්ක්‍රීන් රෙකෝඩින් ඇප් එකක්
මේකත් හරිම වැදගත්. සමගර ජංගම දුරකථනවලනම් ස්ක්‍රීන් රෙකෝඩින් තියෙනවා. එහෙම නැති ෆෝන් සහ පරිගණක වලට අනිවාර්යයෙන්ම මේ ඇප් එකක් දාගන්න. ප්ලේ ස්ටෝර් එකෙන් ලේසියෙන්ම ඇප් එකක් හොයාගන්න පුළුවන්. මේක වැදගත් වෙන්නෙ මොකද කිව්වොත් පන්තිය අතරේ මඟහැරෙන දෙයක් තිබුණොතින් නැවත වීඩියෝ එක බලලා ගැටළු නිරාකරණය කරගන්න පුළුවන්නේ. මේ රෙකෝඩ් කිරීමේ හැකියාව ඔන්ලයින් ඉගෙන ගැනීමේ එක්තරා වාසියකුත් වෙනවා. මොකද සාමන්‍ය පන්ති කාමරයක් ඇතුළේ ගුරුවරයා කියපු දේ නැවත බලන්න අපිට හැකියාවක් නැතත් මේ ක්‍රමයෙන් ඒ අවස්ථාව උදාකරගන්න පුළුවන්.
6. කාලය කළමනාකරණය
අම්මලාට වැදගත්ම දේ මේක. ඉස්සර දරුවෝ පාසල් යවලා ගෙදර වැඩ කරගත්තට දැන් පාසල් වැඩ වලටත් පස්සෙන්ම ඉන්න වෙන්නෙ අම්මලාටනේ. තනියම වැඩකරගන්න පුළුවන් ටිකක් ලොකු දරුවෙක්ට මිසක් පුංචි දරුවෝ ඉන්න අම්මලාට ඔන්ලයින් ක්ලාස් එක දාල දීලා ගෙදර වැඩ කරගන්න හිතන්න බැහැ. දරුවා ලඟින්ම ඉන්න ඕන. ඒ නිසා පන්ති කාලසටහන කලින්ම පරීක්ෂා කරලා ගෙදර වැඩ කරන වෙලාවල් තීරණය කරගන්න වෙනවා. ඊට පස්සේ අම්මටත් තියෙන්නෙ ආයෙත් මුල ඉඳන්ම පාසල් යනව වගේ දරුවා ලඟ ඉඳගෙන ඉගෙන ගන්න.
7. ගුරුවරයා සමඟ හොඳ සම්බන්ධතාවයක්
පාසලේ හෝ ටියුෂන් පන්තියේ ඔන්ලයින් උගන්වන ගුරුවරයා සමඟ හොඳ සම්බන්ධතාවයක් තබාගැනීමත් වැදගත්. ඒ කියන්නෙ වට්සැප් හෝ වෙනත් සන්නිවේදන ක්‍රමයක් මඟින් ගුරුවරයා සමඟ සම්බන්ධවීම. පන්ති කාලසටහන් ලබාගන්න, පාඩමට සූදානම් වෙන්න අවශ්‍යනම් ඒ දේවල් කරගන්න වගේම දරුවාගේ ප්‍රගතිය ගැන සාකච්ඡා කරන්න වෙන්නෙත් දැන් ඔන්ලයින් ක්‍රමයටනේ. ඒ නිසා ගුරුවරයා හෝ ගුරුවරු එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වාගන්නම ඕන.
Leave a Reply