පහුගිය සතියක අපි අපේ රටේ පොත් ලියපු දේශපාලනඥයෝ ගැන කතා කළා. අද අපි කතා කරන්න යන්නේ අපේ රජවරු ලියපු පතපොත ගැන. අපේ රටේ බොහෝමයක් රජවරු සාහිත්‍ය කලාවන්ට ඉතාමත්ම ලැදි අය. ඒ නිසා පොත පත ලියන අයට ගොඩක් හොඳට සලකලා තියෙනවා. ගම්වර පවාදීලා තියෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල කවි කියන්නත් රජවරු පෙලඹිලා තියෙනවා. විශේෂයෙන් දෙවෙනි රාජසිංහ රජ්ජුරුවෝ කවි කියන්න කප් ගහපු කෙනෙක්. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට අපේ රජවරු දෙන්නෙක් ලියපු සිගිරි ගී දෙකකුත් තියෙනවා.
සීගිරි ගී ලියූ අපේ රජවරු
ස්වස්ති සිරිස(ග්බො අ)බා මහරජ් උදා කී වදන් මසිව් ඇවි(ද් මෙගිය) ලී(වෙ)
රන්වනු ගිරිබිතැ (වී ගැ)ති තමා ලී නොරිසි ද
දන බ(ල) යත් සෙ එකින් සකැ රතු උපුලැති පැලැන්දි
තේරුම:
යහපතක් වේවා!
සිරිසග්බෝ අබා (නම් විරුද නම් ලත්) උදා (නම්) මහරජ් කී වදන් ගෙන අවුත් මසිව් (නමැත්තා විසින්) මේ ගීය ලියන ලද්දේය.
පර්වත භිත්තියෙහි (සිටි) රන්වන් (තැනැත්තියට) ගැති වූයේ තම අඹුව නොරිසි (හෙයින් ද) ශිඛාවෙහි රතු උපුල් පලඳා ඇති තැනැත්තිය කෙරෙන් ජනයා බලා ගෙන යන්නාහුය.
මේ ගීය ලියන්නේ පළවෙනි උදය රජ්ජුරුවෝ. මීළඟට අපි උපුටා දක්වන ගීය ලියපු රජ්ජුරුවෝ කවුද කියන එක නම් පැහැදිලි නෑ.
ස්වස්ති
එ මළ ද නො බණය සහනෙ මෙ කිම නම
කළයි පින ත පවසමො හිමබ අකමය වය්
මපරුම ගී
තේරුම:
ඔහු මළේ වී නමුත්,(තොප කෙරෙහි ) කථා නැත. ඉවසීම (ඇත්තේය). මෙයි අදහස කිමෙක්ද?(පෙර අත්බැව්හි) තොප පින් කර ඇති බව පවසමු. කාන්තාව ! (මට) සමාවනු මැනවි
රජතුමාගේ ගීයයි
හරි දැන් අපි බලමු ඔෆීෂියලි අපේ රජවරු ලියපු පතපොත ගැන.
1. දම්පියා අටුවා ගැට පදය – පස්වෙනි කාශ්‍යප
අනුරාධපුර යුගයේ පොත් අතරින් දැනට ඉතිරි වෙලා තියෙන එකම ප්‍රධාන පෙළේ ගද්‍ය කෘතිය විදිහය දම්පියා අටුවා ගැටපදය හඳුන්වා දෙන්න පුළුවන්. මේ පොත ලියවෙන්නේ ධම්මපදට්ඨකතාවේ අමාරු වචන විස්තර කරන්න. පොත ලියපු කෙනා ගැන පොතේ සඳහන් වෙන්නේ “දෙබිසෙවැ ජා අභාසලමෙවන් කසුබ් මහ රජ්හු දම්පියා අටුවාවට කළ සන්න්‍යය” කියලා. මේ සඳහන උඩ ඉතිහාසඥයෝ තීරණය කළේ මේ පොත ලිව්වේ පස්වෙනි කාශ්‍යප රජ්ජුරුවෝ විසින් කියලා.
2. සියබස්ලකර – පළවෙනි සේන
අනුරාධපුර යුගයෙන් අපිට ඉතිරි වෙලා තියෙන එකම කාව්‍ය ග්‍රන්ථය වෙන්නේ සියබස්ලකර. මේ පොත ලියලා තියෙන රජතුමා කවුද කියන එක ගැන විවිධ වාදවිවාද තිබ්බත් බොහෝ දෙනෙක් පිළිගන්නෙ මේ පොත ලිව්වේ පළවෙනි සේන රජ්ජුරුවෝ කියලා. දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශය කියන කෘතිය සිංහලයට පරිවර්තනය කිරීමක් තමයි මේ කෘතියෙන් වෙලා තියෙන්නේ. හැබැයි ලංකාවේ කාව්‍ය සම්ප්‍රදායට ගැලපෙන්න මේ පරිවර්තනය සිද්ධ කරන්න පළවෙනි සේන රජ්ජුරුවෝ වගබලාගෙන තියෙනවා.
3. ජානකීහරණය – කුමාරදාස රජ
ජානකීහරණය කියන්නේ සංස්කෘත මහා කාව්‍යයක්. ලියන්නේ අපෙ රටේ කුමාරදාස රජ්ජුරුවෝ. රාම රාවණ කතාව මාතෘකාව කර ගත්තට මේකට නම දීලා තියෙන්නේ සීතා පැහැර ගෙන යාම කියලා (අද භාෂාවෙන් කියනවා නම් සීතාව ඉස්සීම). සමහරවිට කුමාරදාස රජ්ජුරුවන්ට රාවණා කරපු දේ ගැන යටි හිතෙන් ආඩම්බරයක් තියෙන්න ඇති. ඇයි ඉතින් අපේ රටේ රජ කෙනෙක් පිටරටක රජ කෙනෙක්ගේ බිරිඳක්වනේ පැහැර ගෙන ආවේ. මේ ජානකීහරණය පොත අපේ රටෙන් හොයාගන්න බැරුව ගිහිල්ලා තිබ්බේ. පොතේ අමාරු වචන පැහැදිලි කරමින් ලියපු සන්නය විතරක් ඉතුරු වෙලා. ඒ නිසා රත්මලානේ ධර්මාරාම හාමුදුරුවෝ සන්නය පාවිච්චි කරලා ජානකීහරණය ආපහු ලිව්වා. පස්සේ ඉන්දියාවේ තිබිලා ජානකීහරණයේ මුල් පිටපතක් ආපහු හම්බ වුණා.
4. කව්සිළුමිණ – දෙවෙනි පරාක්‍රමබාහු (?)
සිංහල සාහිත්‍යයේ මුණ ගැහෙන විශිෂ්ටතම මහා කාව්‍යය විදිහට බොහෝ දෙනෙක් පිළිගන්නේ කව්සිළුමිණ. කව්සිළුමිණ ලිව්වේ කවුද කියලා එකේක මත තියෙනවා. කුමාරතුංග මුනිදාස මහත්තයා කියන්නේ පළවෙනි පරාක්‍රමබාහු කියලා. වැලිවිටියේ සෝරත හාමුදුරුවෝ කියන්නේ දෙවෙනි විජයබාහු කියලා. හැබැයි බොහෝමයක් උගතුන් පිළිගන්නේ දෙවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවෝ කියලා. කව්සිළුමිණට පාදක වෙන්නේ කුස ජාතකය, මේ කාව්‍යය ඇතුළේ ඉතාමත් ශෘංගාරාත්මක වර්ණනා ඇතුළත් වෙනවා. මේ නිසා සමහරු කව්සිළුමිණ හඳුන්වන්නේ “අනංගයා අරක් ගත්ත දේවාලයක්” කියලා.
5. විශුද්ධි මාර්ග සන්නය – දෙවෙනි පරාක්‍රමබාහු
විශුද්ධි මාර්ගය ලියන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ. මේ පොතට සන්නය ලියවෙන්නේ දෙවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවෝ අතින් දඹදෙණි යුගයේදී. විශේෂත්වය වෙන්නේ රජ්ජුරුවෝ හාමුදුරුවන්ට වැරදිච්ච තැන් පවා නිවැරදි කරනවා. ඉතින් හිතා ගන්න පුළුවන් නේද රජ්ජුරුවන්ට කොච්චර ධර්ම ඥානයක් තිබ්බද කියලා. අපි අර ඉස්සෙල්ලා කියපු කව්සිළුමිණ දෙවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ පොතක් නෙමෙයි කියන්න ගේන එක තර්කයක් තමයි විශුද්ධි මාර්ග සන්නය වගේ උසස් ධර්ම ග්‍රන්ථයක් ලියපු රජ කෙනෙක් අතින් කව්සිළුමිණ වගේ ශෘංගාරාත්මක පොතක් ලියවෙන එකක් නෑ කියලා කියන එක.
6. නම් රුවන්මල – හයවෙනි පරාක්‍රමබාහු
නම් රුවන්මල කියන්නේ හයවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවෝ ලියපු කෝෂ ග්‍රන්ථයක්. අද භාෂාවෙන් කියනවා නම් ශබ්දකෝෂයක් වගේ පොතක්. එක් එක් වචනවලට සමාන පද දීම තමයි නම් රුවන්මල ග්‍රන්ථයෙන් සිද්ධ වෙන්නේ. ජනප්‍රවාදයේ කියන විදිහට රජතුමාගේ බෑනා වුණු නන්නුර්තුනයාත් නාමාවලිය කියලා කෝෂ ග්‍රන්ථයක් ලියනවා. මේ පොතේ යම් යම් අඩුපාඩු තියෙනවා කියලා දකින රජතුමා අලුතෙන්ම ලියන කෝෂ ග්‍රන්ථයලු නම් රුවන්මල කියන්නේ. කොහොම වුණත් ලංකාවේ සාහිත්‍යයේ විශිෂ්ටතම අවධිය වුණු කෝට්ටේ යුගය නිර්මාණය වෙන්නේ හයවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ අනුග්‍රාහකත්වය යටතේ. තොටගමුවේ රාහුල හාමුදුරුවෝ, වීදාගම මහා මෛත්‍රී හාමුදුරුවෝ වගේ මහා පඬිවරුන්ට ගම්වර ලබා දීම පවා රජ්ජුරුවෝ කරලා තියෙනවා. මේ නිසාම කෝට්ටේ යුගයේ ලියවුණු සෑම සංදේශ කාව්‍යයකම වගේ හයවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ව මහ ඉහළින් වර්ණනා කරලා තියෙනවා.
7. අසදිස දා කව – රාජධිරාජසිංහ
අසදිස දා කව ලියවෙන්නෙ මහනුවර යුගයේදී රාජධිරාජසිංහ රජ්ජුරුවෝ අතින්. මේ පොත අපේ රජකෙනෙක් ලියපු අවසාන පොත විදිහට සලකන්න පුළුවන්. ඔයාලත් දන්න විදිහට රාජාධිරාජසිංහ කියන්නේ නායක්කාරවංශික රජ කෙනෙක්. මව් භාෂාව සිංහල නෙමෙයි. ඒත් රජ්ජුරුවෝ ශිල්ප ශාස්‍ත්‍ර ඉගෙන ගන්නේ ඒ කාලේ හිටපු ප්‍රධාන පෙළේ පඬිවරයෙක් වුණු මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවන්ගෙන්. උන්වහන්සේගේ ආශ්‍රය සහ ඉගැන්වීම නිසා රජතුමා කෙටි කාලයක් ඇතුළත දක්ෂ ලේඛකයෙක් බවටත් පත් වෙනවා.
හරි එහෙනම් මේ ලිපියත් ඔන්න නොවැරදීම ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකකුත් පුළුවන් නම් දාන්න. ආහ් රිඇක්ෂන් කියලා ජාතියකුත් තියනවා හොඳේ.
Leave a Reply