වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණා වගේ කියලා සිංහලේ කියමනක් තියෙනවා නොව. ගොඩක් දේවාල ඇත්තටම ඒ වගේ තමයි. හැබැයි ලංකාවේ තියෙනවා සියවස් ගණනක් තිස්සේ වැල නොකැඩී දායකයෝ, බැතිමත්තු පෝලිමේ එන දේවාල කිහිපයක්ම. ඒවා ගැනයි අද මේ ඔබත් එක්ක කරුණු බෙදාහදාගන්න යන්නේ.
1. කතරගම දේවාලය

Source – timeout.com
කතරගම දේවාලය තියෙන්නේ කතරගම ප්‍රදේශයේමයි. කතරගම දෙවියෝ තමයි කතරගම දේවාල භූමියේ වැඩ සිටින බවට විශ්වාස කරන්නේ. කතරගම දේවාලය වඳින්න දස අතින් එන සෙනගෙන් හැමදාම වගේ දේවාල භූමිය පිරිලා යනවා. ඇසළ පෝයට අවසාන පෙරහැර යෙදෙන පරිදි තිබෙන පෙරහැර මංගල්‍යය සහ පූජෝත්සවය ජූලි සහ අගෝස්තු මාස වල කතරගම නගරයම අලංකාරවත් කරනවා.
2. දෙවිනුවර දේවාලය

Source – en.wikipedia.org
හත් වැනි සියවසේදී පළවෙනි දප්පුල රජ්ජුරුවෝ තමයි දෙවිනුවර දේවාලයයි දෙවිනුවර රජ මහා විහාරයයි දෙකම හදන්නේ. මේක තියෙන්නේ ලංකාවේ දකුණු කෙළවරේ දෙවුන්දර නගරයේයි. පස්සේ පෘතුගීසි ජාතිකයන් මේක විනාශ කරනවා. ආපහු දෙවැනි රාජසිංහ රජ්ජුරුවන්ගේ අවධියේදී තමයි මේක ප්‍රතිසංස්කරණය වෙන්නේ. දෙවුන්දර දේවාලේ වැඩ හිඳින්නේ උපුල්වන් ශ්‍රී විශ්ණු දෙවියන් කියලයි කියන්නේ. මේ දේවාලයේත් පූජෝත්සවය සමග පෙරහැර මංගල්‍යය ඇසළ මාසයේදී පැවැත්වෙනවා.
3. ගැටබරු දේවාලය

Source – sampathhamuwa.blogspot.com
ඓතිහාසික දකුණු ලක පිහිටලා තියෙන තවත් ඓතිහාසික දේවාලයක් තමයි ගැටබරු දේවාලය කියන්නේ. දෙස් විදෙස් සංචාරකයන්ගේ පහස ලබපු අකුරැස්ස – දෙනියාය මාර්ගයේ අතරමැද පිහිටලා තියෙන මේ දේවාලයටත් බැතිමතුන්ගෙන් අඩුවක් නෑ. රජ්ජුරු බණ්ඩාර කියන ප්‍රාදේශීය දේවතාවෙකුට උපහාර පිණිසයි මේ දේවාලය නිර්මාණය වෙලා තියෙන්නේ.
4. සබරගමු මහ සමන් දේවාලය

Source – flickr.com
මේ දේවාලය සුමන සමන් දේවාලය කියලත් හඳුන්වනවා. මේක පිහිටලා තියෙන්නෙ රත්නපුර පානදුර මාර්ගයේ රත්නපුර ඉඳලා කිලෝමීටර් තුනක් පමණ එද්දියි. මේ දේවාලය හදලා තියෙන්නේ දෙවැනි පැරකුම්බා රජුගේ අවධියේදී කියලයි කියන්නේ. මේකේ පෙරහැර මංගල්‍යය පවත්වන විදිහ වෙනස්. දුරුතු, බක් සහ ඉල් කියන මාස වල නැටුම් ගැයුම් හේවිසි වලින් තොරව පෙරහැර පවත්වන අතරේ, ප්‍රධාන පෙරහැර මංගල්‍යය අනිත් දේවාල වල වගේම ඇසළ මාසයේදී පවත්වනවා. බුදු රජුන්ගේ ආශිර්වාදය ලැබීමට තරම් වාසනාවන්ත වූ සුමන සමන් නම් දෙවිඳුන් මේ දේවාලයේ වැඩ හිඳින බවයි විශ්වාසය.
5. දැඩි මුණ්ඩ දේවාලය

Source – commons.wikimedia.org
මාවනැල්ල අලුත් නුවර දැඩි මුණ්ඩ දේවාලය කියන්නේ බැතිමත් ජනතාව අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වුණු පූජා භූමියක්. සඳුන් කුමාර, මැණික් බණ්ඩාර යන නම් වලින් හැඳින්වෙන දැඩි මුණ්ඩ දෙවියෝ මේ දේවාලයේ වැඩ ඉන්නවා කියලයි විශ්වාස කෙරෙන්නේ. දැඩි මුණ්ඩ දේවාලය වඩා ප්‍රකට වෙලා තියෙන්නේ විවිධ අන්දමේ ශාන්තිකර්ම වලින් යක්ෂ දෝෂ, භූත දෝෂ ආදිය නැති භංගස්ථාන කරලා දාන්න සමත් නිසාලු.
6. සීනිගම දේවාලය

Source – youtube.com
දක්ෂිණ දේශයේ ගාලු පුරවරයේ වේරගොඩ ප්‍රදේශයේ තමයි සීනිගම දේවාලය පිහිටලා තියෙන්නේ. මුහුදු වෙරළේ ඉඳලා මහ දුරක් නැති කුඩා දූපතක තමයි මේ දේවාලය පිහිටලා තියෙන්නේ. මේ දේවාලයේ ඉන්නවා කියලා කියන්නේ “දෙවොල් දෙවියන්” නමින් හඳුන්වන ප්‍රාදේශීය දෙවි කෙනෙක්. ධීවරයන්, ඔවුන්ගේ ධීවර ආම්පන්න සහ බෝට්ටු ආදිය මේ දෙවිඳුන්ට පූජා පැවැත්වීමෙන් ආරක්ෂා වෙන බව ධීවර ජනතාව විශ්වාස කරනවා.
7. කැබිලිත්ත දේවාලය

Source – refreshingsrilanka.blogspot.com
ගොඩනැගිලි නිර්මාණ වලින් පිරුණු දේවාල හයක් ගැන කතා කරපු අපි දැන් මේ කතා කරන්නේ ඝණ කැලයේ තිබෙන දේවාලයක් ගැනයි. ඒ කැබිලිත්ත දේවාලය. මේ දෙවොල පිහිටලා තියෙන්නේ යාල ජාතික වනෝද්‍යානයේ අංක 02 කලාපයේයි. මේ භූමියේත් අරක් ගෙන ඉන්නා බව කියන්නේ කතරගම දෙවියන්. ඒ වගේම මේ භූමිය කැබිලිත්ත ලෙස නම් කළේ ලන්දේසීන්ගේ සමයේ කතරගම දේවාලයේ වටිනා වස්තුව සඟවාගෙන ආරක්ෂා කළ කැබිලිත්ත රාළ නම් ගැමියාට උපහාර පිණිස බව පැවසෙනවා.
අපි මේ කිවුවේ දෙවියන් ගැන නෙමෙයි. දෙවියන් වෙනුවෙන් නිමැවුණු දේවාල ගැනයි. දෙවියන් විශ්වාස කිරීම හෝ අවිශ්වාස කිරීම ඔබේ වැඩක්. නමුත් මේ දෙවියන් විශ්වාස කරන නොකරන ඔබ සැමට ඓතිහාසික වැදගත්කමක් තියෙන නිසා මේ දේවාලනම් බලන්න යන්න පුලුවන්.
Cover Image Source – mygola.com
Leave a Reply