ලෝකයේ ප්රසිද්ධම භාෂා කඩඉම් විභාග

ලෝකයක් එක්ක ගනුදෙනු කරනකොට ඉංග්‍රීසි විතරක් තිබ්බාම ඇති කියලා ලෝකයා හිතුවේ ඉස්සර. දැන් දැන් ඒ භාෂාවෙන් විතරක් දන්නා සෙල්ලම් ටික දාන්න බැරි වෙලා තියනවා. ඉතින් ඒකට වෙනත් භාෂා ප්‍රගුණ කරන්න මිනිස්සු පෙළඹෙනවා. හැබැයි නිකන්ම කටකහනවට කාත් එක්ක හරි කතා කරන්න විතරක් නෙවෙයි, වෘත්තියමය සහ අධ්‍යාපනික වශයෙන් දියුණු වෙන්නත් මේ භාෂා ප්‍රවීණතාව බලපානවා. ඒක මැන බලන්න ලෝකයේ අතොරක් නැති භාෂාවලට වෙන් වුණ විවිධ විභාග තියනවා. මේවයෙන් ගොඩ යනවා කියන්නේ අවස්ථා පස්සෙන් පන්නගෙන එනවා කියන එක. ඉතින් අන්න ඒක නිසා වර්තමාන ලෝකයේ මේ දේවල් ගැන සුළුවෙන් හෝ දැනගෙන ඉන්න එක වැදගත්.

 

1. IELTS

Image Source – ecenglish.com

මේක ලෝකය පුරා ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් තියෙන හොඳම කඩඉම විදියට හඳුන්වන්න පුළුවන්. විභාගය දෙයාකාරයි. වෘත්තීයමය වශයෙන් නම් එහෙමයි. වැඩිදුර අධ්‍යාපනය සඳහා අවශ්‍ය සුදුසුකමක් නම් ඒ විදියයි. තමන්ගේ අවශ්‍යතාව අනුව ඒක තෝරාගන්න පුළුවන්. මේ විභාගයේ අංශ 4ක් තියනවා. Speaking, Writing, Listening සහ Reading තමයි ඒ අංශ 4. මේවයෙන් ගන්න පුළුවන් උපරිම ලකුණ වෙන්නේ 9. සාමාන්‍යයෙන් 6.5ක් ගන්න ඕනි ඉතින්. ගොඩක් අධ්‍යාපනික ආයතනවලින් ඉල්ලන්නේ ඔය ලකුණ තමයි. අවුරුද්ද පුරාම සති දෙක තුනකට වරක් වගේ පැවැත්වෙනවා. ලංකාවේ ACBT සහ British Council කියන ආයතන දෙක තමයි ප්‍රධාන වශයෙන් වැඩේට බැහැලා ඉන්නේ. මේකට සූදානම් වෙන කාලය සහ විදිය තමන්ගේ සාක්ෂරතාව මත තමයි රඳා පවතින්නේ. පෙර සූදානම සඳහා පාඨමාලා පවා ආයතනවල පවත්වනවා.

 

2. HSK

Image Source – ycclc.cuhk.edu.hk

අපේ රටේ දැන් විශාල වශයෙන් අවධානයක් යොමු වෙලා තියෙන චීන භාෂාව හා සම්බන්ධ ප්‍රවීණතා විභාගයයි මේ. විභාගය කිව්වට ඇත්තටම අදියර වශයෙන් විභාග 6ක් තියෙනවා. මේ එක එක අදියර සඳහා වෙන වෙනම සහතික පත්‍රෙකුත් ලැබෙනවා. අපි 1 වසරේ ඉඳන් ඩිංග ඩිංග ඉගෙනගන්නකොට අපේ විෂය පථය ලොකු වෙනවා. ඒ වගේ වැඩක් තමයි ඉතින් මේ. අපේ රටේ කැලණිය විශ්වවිද්‍යාලයේ තියෙන කොන්ෆියුසිස් ආයතනයේ මේ විභාග ප්‍රධාන වශයෙන් අවුරුද්දකට තුන්වරක් වගේ පැවැත්වෙනවා. පළමු අදියර දෙකේ තියෙන්නේ Listening සහ Reading කියන අංශ දෙක විතරයි. ඉතුරු ඒවායින් කලින් දෙකට අමතරව Writing කෑල්ලකුත් එකතු වෙනවා. සමත් වෙන්න නම් මුල් අදියර දෙකේ අවම වශයෙන් ලකුණු 120ක්වත් ගන්න ඕනි. අනික් අදියරවල දී 180ක්වත් ගන්න ඕනි.

 

3. JLPT

Image Source – buna.yorku.ca

චීනෙන් යන්නේ ජපානය පැත්තටයි. ජපන් භාෂා ප්‍රවීණතා විභාගයත් ගණනින් කිව්වොත් අදියර 5ක එකතුවක්. ඒවා N1, N2, N3, N4, N5 විදියටයි සඳහන් වෙන්නේ. මෙතන දී විභාගයේ සංකීර්ණම එක තමයි N1. පටන්ගැන්ම තමයි N5. අවුරුද්දකට දෙවතාවක් පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ජපන් භාෂා අධ්‍යයන සංගමය හරහා විභාගය සඳහා අයදුම් කරන්න පුළුවනි. ජපානයේ රැකියාවක් කරන්න අදහසක් තියෙනවා නම්, විශ්වවිද්‍යාලයක ඉගෙනගන්න ඕනි නම් ජපනා වගේ යන්න ඕනි ඉතින් එතෙන්ට. සමත් වෙන්න නම් සමස්ත අගය වශයෙන් වගේම එක එක කොටස් වශයෙනුත් සමත් වෙලා තියෙන්න ඕනි. උදාහරණයක් විදියට අපි ඉස්කෝලේ කාලේ ලිව්ව සිංහල ප්‍රශ්න පත්‍රයක් ගමු. සම්පූර්ණ ලකුණු 75න් උඩ. රචනාවට ලකුණු 5යි. හැබැයි පාස්. ඔය කතන්දරේ මෙතන බැහැ. රචනාවත් සමත් වෙන අගයක් ලබාගෙන තියෙන්න ඕනි. මේ ලකුණු මට්ටම් අදියර අනුව වෙනස් වෙනවා.

 

4. TOPIK

Image Source – tomatomediavn.com

මේ නමින් නොදන්නවා වුණාට සෑහෙන ජනප්‍රිය භාෂා විභාගයක් තමයි මේ. ඒ තමයි කොරියාවේ යන හීනේ හැබෑ කරන විභාගේ. මේ විභාගයත් TOPIK I සහ TOPIK II විදියට කොටස් දෙකක් තියෙනවා. මේ දෙක යටතේ අදියර 6ක් තියෙනවා. මුල් අදියර දෙක TOPIK Iට අයිතියි. මේවයේ ලකුණු මට්ටම් එකිනෙකට වෙනස්. දිස්ත්‍රික්කවල තියෙන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශවල පුහුණු මධ්‍යස්ථානවලින් විභාගය සඳහා අයදුම්පත් ලබා දෙනවා.

 

5. TCF

Image Source – francedc.org

ආසියාවේ කරක් ගහලා දැන් යන්නේ යුරෝපය පැත්තට. මේ පැත්තේ භාෂාවලින් ගොඩක් ආකර්ෂණීය භාෂාවක් තමයි ප්‍රංශ බස. ප්‍රංශ භාෂාව ප්‍රගුණ කරගන්න අපේ රටේ දිස්ත්‍රික්ක කිහිපයකම වාගේ Alliance Française ශාඛා තියනවා. ප්‍රංශ භාෂාවේ ප්‍රවීණතාව සඳහා තියෙන එක් ප්‍රධාන කඩඉමක් තමයි මේ. ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය කොටසක් වගේ ම වෛකල්පික කොටසකුත් තියෙනවා. අනිවාර්ය කොටසේ Listening, Reading, Writing කියන අංශ කෙරේ අවධානය යොමු කරනවා. මේ කඩඉම පහු කරන ආකාරය අනුව පුද්ගලයන්ව A, B, C විදියට වර්ග කෙරෙනවා. C කියන්නේ ඉතින් සුපිරිම ගණයේ කියන එකයි.

 

6. DELE

Image Source – cervantesobservatorio.fas.harvard.edu

ස්පාඤ්ඤ භාෂාව සඳහා වන ප්‍රවීණතාව මැන බලන DELE අනික් විභාගවලට වඩා වෙනස්කම් පෙන්නනවා. එකක් තමයි මේක ඩිප්ලෝමා එකක්. අනික ජීවිත කාලෙටම වලංගුයි. අනික් එක තමයි තමන්ට පුළුවන් අදියරකින් පටන් ගන්න හැකියාවක් තිබීම. අනික් විභාගවල මුල ඉඳන් එන්න ඕනි බබා වගේ. හැබැයි මෙතන දී අපේක්ෂකයාට තේරීමක් තියනවා. A1, A2, B1, B2, C1 සහ C2 විදියට අදියර හයක් වෙච්චි. ඔතනින් ඕනි තැනකින් පටන් ගන්න පුළුවන්කමක් තියනවා.

 

7. TELC

Image Source – anda-sprachschule.de

මේ තියෙන්නේ එක භාෂාවකට සීමා වෙච්චි එකක් නෙවෙයි. හැබැයි එහෙමයි කියන්නත් බැහැ. මේ නම ඇතුළේ ඇත්තටම භාෂා 10ක් තියෙනවා. හැබැයි වරකට එකයි කරන්න පුළුවන්. ජර්මන් භාෂාව වෙනුවෙන් කඩඉම් විභාගය කරනවා නම් TELC German වෙනවා. A ඉඳන් C වෙනකන්ම ශ්‍රේණියක් තියෙනවා. සමත් වෙන්න අවම වශයෙන් 60%කවත් ප්‍රතිඵලයක් තියෙන්න ඕනි. ලංකාවේ ජර්මන් අධ්‍යාපන සඳහාම පිහිටුවා තියෙන Goethe-Institut Sri Lanka මේ භාෂා කඩඉම ඇත්තක් කරලා දේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *