කටින්ම ශිල්ප දක්වා තෙල් බේත් විකිණූ අපේ කාලේ තෙල්බේත් කාරයෝ

තෙල්බේත් කාරයා කියන වචනේ පවා දැන් දැන් අපේ මතකයෙන්, ඩික්ශනරියෙන් ඈත් වෙමින් යනවා. කැම්පස් එකේද සින්නෝ ඇවිල්ලා ජුන්නන්ට මුලින්ම කියාදෙන පාඩම් වලට තෙල බෙදනවා කියලා කියනවා. පස්සේ කාලෙක කුප්පි දාන්නේ නම් අමාරු පාඩම් යාළුවන්ට සහ ජූනියර්ස්ලට කියා දෙන්න. තෙල්බේත් කාරයා කියන්නේ ඒ කාලේ කඩමණ්ඩියේ, බස් නැවතුමේ, දුම්රියේ හිටිය හරිම ආකර්ෂණීය චරිතයක්. ආකර්ෂණීය කිව්වට තෙල් බේතා හින්දි සිනමාවේ ඛාන් ලා වගේ හැඩ කඩවසම් කෙනෙක් නෙමෙයි. එයාගේ ඉදිරිපත් කිරීමේ තමයි සම්පූර්ණ ආකර්ෂණය රැඳිලා තිබුණේ. 

 

1. සර්ප තෙල් බේත් වෙළෙන්දා 

ගමේ ගොඩේ, සිදාදියේ ඇත්තෝ දැන් වගේ හිතුන හිතුන වෙලාවට කඩේ යන සිරිතක් එදා තිබුණෙ නැහැ. සති පොළ හෝ හවස් කාලේ තියෙන මාර්කැට් පොළ තමයි ගොඩක් තැන්වල තිබුණේ. ඒ වගේ සෙනඟ එකතු වෙන තැන්වල සමහර දවස්වලට මේ තෙල් බේත්කරු ඉන්නවා. එයා අරන් එන පෙට්ටි කිහිපයකුත් ඒ අසළ තියෙනවා. ඒවායේ ඉන්නේ රජ බඩු. නාගයෝ, පොළොංගු, මාපිල්ලු වගේ සර්පයෝ පෙට්ටි ගොඩක් එක්ක එන මේ තෙල් බේත් වෙළෙන්දා සර්පයෝ ගැනත් සැර විස්තරයක් දෙනවා. ඉන් පස්සේ මෙයා හිමිහිට එයාගේ තෙලට එනවා. සර්පයෝ කෑවහම ගාන්න තියන එක කෙසේ වෙනත්, ගෝනුසු විෂට, පත්තෑ විෂට, කළු කූඹි කෑවම ඇතිවෙන විෂට ඉක්මන් සුවය දෙන මහාර්ඝ ඔසුවක් කියන එකක් මේ තෙල් බේත් වෙළෙන්දා හරි හරියට විකුණනවා. ඉතින් ඒ සර්ප සංදර්ශනය එක්ක මෝහනය වෙලා බලාගෙන ඉන්න පිරිසෙන් කිහිපදෙනෙක් ඒ කුඩා තෙල් බෝතලයක් මිලදී ගන්නවා. 

 

2. දත් බේත් වෙළෙන්දා 

“බලන්න ඕගොල්ලන්ට මම අද ගෙනල්ල තියෙන දේ. මේ කට තමයි හැම එකටම මුල. මේ කට නිසා පවුල් අවුල්, සමාජ අවුල් වගේම රට රටවල අවුලුත් වෙනවා. මේ කට අවුල් වුණොත් ඉතින් කොහොමත් එතැන පවුල් අවුල් තමයි. ගෑණි මිනිහ ගාවට යන්න නැහැ… මිනිහ ගෑණි ගාවට යන්නේ නැහැ. මොකද? කට ගඳයි. ඒ වගේම අපේ බස් එකේ සීට් එකේ ළඟ වාඩිවෙලා ඉන්න කෙනාගේ කට ගඳ නම් කොහොමද? කට අරිනකොටම අපිට එපා වෙලා ඉවරයි. අපේ කටේ ගඳ අපිට දැනෙන් නැහැ. ඒ කටගඳ නැති කරන්න මම ඔයාලට ගෙනාව අපූරු බෙහෙතක්. බෙහෙතක් කිව්වට මේ ඉංගිරිසි බෙහෙතක් නෙමෙයි, පුරාණ වට්ටෝරුවකට අනුව හදපු වටිනා බේතක්. මේ කතාකරන මගේ නම ගම විස්තර මේ බේත් පැකට් එකේ ගහල තියෙනවා. තව වැඩිය නැහැ තව 15 දෙනෙක්ට විතරයි බඩු තියෙන්නේ. පරක්කුවෙලා කට ගඳ ගහන්න ගත්තම මේවා හොයන්න බැහැ දැන්ම අරගෙන ගිහින් තියාගන්න.” ආදී ලෙසින් දත්බේත්කාරයා තමුන්ගේ දත්බේත් විකුණනවා. දත් බේත් කිව්වම දත් මදින බෙහෙත් වගේම දත් වල පණුවො කෑම් නිසා ඇතිවෙන දුගඳ ආදියටත් බෙහෙත් දෙන දත් බේත් වෙළෙන්දෝ එදා හිටියා. 

 

3. බාම් වෙළෙන්දා 

වසා සළුව විසිතුරු කොට තිබෙන්නේ 

දවසට දෙවේලක් සෝදා හරින්නේ 

කෑම වතුර දී සනහා පිනන්නේ 

මේ කුණු සිරුර ටික ටිකමයි දිරන්නේ… 

 

“ආන්න ඒ කියන විදිහට අපි මේ හොඳට තියාගෙන ඉන්න සිරුර හැම වෙලේම හරි ටික ටික දිරනවා.  වාත අමාරු, කොන්ද අමාරු, කකුලෙ අමාරු, හන්දිපත් අමාරු එන්නෙ කොයි වෙලේද කියලා අපිට කියන්න බැහැ. කොච්චර හොඳට සිරුර නඩත්තු කළත් මේ ඇඟේ පතේ අමාරු අපිට නැතිවෙන්නේ නැහැ. හැදුනට පස්සේ අර ලේප මේ ලේප හොය හොය ගේ අස්සේ කූරු ගාන්න ගියාම වේදනාව තවත් වැඩිවෙනවා. ආන්න ඒ වෙලාවට වැඩට ගන්න මිල අඩු පොඩි බඩුවක්. වේදනාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් දැන් කියන්න. දැන් ගාල පෙන්නනවා විනාඩියෙන් සුවේ.” මේ බාම් වෙළෙන්දාගේ බාම් එක සුවඳයි. ඒ සුවඳ නිසාම කට්ටිය පස්සෙන් ඇවිත් මේ බාම් එක මිලදී ගන්නවා. වෙළඳපොලේ ජනප්‍රිය බාම් වලට වඩා මේ බේත් වෙළෙන්දාගේ බාම් එක ලාබ නිසාත්, හොඳ සුවඳක් විහිදෙන නිසාත් මේ බාම් වෙළෙන්දාගේ බාම් ඉක්මනටම ඉවර වෙනවා. 

 

4. බස් රියේ තෙල් බේත් කාරයෝ

 

බස් රියක් බස් නැවතුමක නවත්වා තියෙද්දි වෙළෙන්දෝ, යාචකයෝ ගොඩක් ඒකට ගොඩ වෙනවා. ඒ පෝලිමේ එන අය නිසා එක තෙල් බේත් වෙළෙන්දෙක්ටත් ලැබෙන්නේ සුළු වෙලාවක්. මේ වෙලාව ඇතුළේ තෙල්බේත්කරුට තමුන්ගේ බිස්නස් එක කරගන්න වෙනවා. අපේ බස්වල කොයිතරම් ගැස්සීම් පැද්දීම් තිබුණත් බස් එකේ යන ගමනුත් මේ තෙල් බේත් විකුණන අය තමුන්ගේ කාරිය කරනවා. මේ බස් එකේ යද්දි හොර තෙල්බේත්කාරයින්ට නම් සමහර වෙලාවට වැඩ වරදිනවා. ටිකක් සැරපරුෂ කෙනෙක් හිටියොත්, “අනේ මේ තවුසේගේ මගුල මම අරං ගිහින් ගෑව. කෝ කිසි හොඳක් නැහැ නේ” කියලා කෙලින්ම කියනවා. එහෙම අවස්ථාවකදී බොහෝවිට තෙල් බේත්කරු එහෙන් මෙහෙන් මොනාහරි කියලා හිමිහිට මාරු වෙනවා. සමහර තෙල් බේත් අය නම් ඒ ගුණදොස් කියන අය එක්ක වාදෙට යන වෙලාවලුත් තියෙනවා. කොහොම වුණත් “මීට කලින් මගෙන් මේ බේත ගෙනියලා වැරදුන කෙනෙක් ඉන්නවනම් කෙලින්ම කියන්න” කියලා කරන ඉල්ලීම නම් බෙහෝවිට තෙල්බේත්කරුවන්ගේ මුවින් නිකම්ම වගේ නික්මෙනවා. 

 

5. තෙල්බේත් ඉස්ටාටර් පැක් එක 

හොඳ බ්‍රීෆ් කේස් එකක් හෝ මල්ලක් – ගෙඩක් තෙල් බේත්කරුවන් ළඟ හොඳ මට්ටමේ බ්‍රීෆ් කේස් එකක් තියෙනවා. ඔවුන් විකුණන්නේ කුමන බේත වුණත් ඒ මල්ලෙන් ගෞරවාන්විත විදිහට අරගෙන දෙන්න එයාල වගබලාගන්නවා. 

 

හොඳට ඇඳ පැළඳගෙන ඒම – පැරණි තෙල් බේත්කරුවන් නම් බොහෝවිට සිංහල වෙදෙක් කියා පේන්න ජාතික ඇඳුම හෝ සරම කමිසය ඇන්දා. පසු කාලීනව දුම්රියේ, බස්රියේ ගිය තෙල් බේත්කරුවන් වුවත් කලිසමින්, අත්දිග කමිසයෙන් සැරසී මහත්මයෙක් වගේ පෙනී හිටියා. 

 

පොයිය සහ ටෝක – තමුන් තෙල් බේත් විකුණන කාලය, ඉතිහාසය, බේත් වල ගුණ, බේත් වලින් හොඳ වෙන ලෙඩ සහ වෛද්‍ය දැනුම ඇතුළත් සාරගර්භ කතාවක් තෙල්බේත්කාරයින්ට අනිවාර්යයෙන්ම තියෙනවා. 

 

ඉදිරිපත් කිරීමේ හැකියා – කතාව කටින් විතරක් නෙමෙයි, ගොඩක් තෙල් බේත්කරුවන් මතකයට ගත්තොත් ඔවුන්ගේ සම්පූර්ණ ඉදිරිපත් කිරීමම යම් නාටකීය ගුණයෙන් යුක්ත වෙනවා. ඔවුන් කියන කරන දේ උස් හඬින් මුල් බස්රියටම, නැතිනම් අවට පළාතටම ඇහෙන්න කරන්න ඔවුන් වගබලාගත්තා. 

 

6. මේ තෙල් බේත් ඇත්තටම වටිනවාද?

 

මේ තෙල් බේත් විකුණන අයම බොහෝවිට ඒවා පාවිච්චි කරන්න කියන්නේ සුළු ආබාධ වලට. බාම් නම් තැල්ම සහ කැක්කුම්වලට, විෂ තෙල් නම් සුළු විෂ වලට, වේදනා නාශක නම් සුළු සුළු කැක්කුම් වලට… එහෙම ඒ හැම දෙයක්ම බොහෝ අවස්ථාවල යෙදෙන්නේ සුළු මට්ටමේ ප්‍රතිකාර වලට විතරයි. ඉතින් මේ තෙල් බේත් විකුණන අය සතුව මේවාට ලියාපදිංචි සහතික ආදියත් තියෙනවා. සමහර විට එතනින් එහා ගියපු සහතික ආදියත් මේ අය තියාගෙන පෙන්වනවා. කොහොම වුණත් හරියට ලෙඩක් දුකක් අඳුනගන්නෙ නැතුව කෝකටත් තෛලය වගේ තියෙන තෙල් බේත් නම් හිතුමනාපේ  ලොකු ලෙඩ වලට භාවිතා කරන්න හොඳ නැහැ. විකුණන තෙල් බේත් වෙදා මොනා කිව්වත්, ඒවා සිරුරට යොදාගන්න අය ඒ ගැන සැළකිලිමත් වෙන්නට ඕනි. 

 

7. දැන් කාලේ එයාල නැත්තේ ඇයි? 

තෙල් බේත්කරුවන් කියන්නේ සංචාරක වෙළෙන්දන්. ඔවුන් අපෙන් අනුකම්පාව, පින බලාපොරොත්තු වෙන තවත් එක යාචක කණ්ඩායමක් නෙමෙයි. කාලයත් එක්ක සංචාරක වෙළෙන්දන්ට තමන්ගෙ වැඩ ඉස්සර තරම් ලේසි වුණේ නැහැ. කාලෙකදි දුම්රිය වලට ගොඩවන්න තහනම් වෙනවා. තවත් කලකදි බස් වලට ගොඩවෙන්න තහනම් වෙනවා. සති පොළක, මාකට් එකක නම් ඒ තැන්වල ඉන්න වෙළෙන්දන් සහ රාජකාරි කරන අය විරුද්ධ වෙනවා. නාගරික වටපිටාවක වුණත් දැන් ඉස්සර වගේ හිතුන හිතුන අයට බිස්නස් කරන්නට අමාරුයි. සර්පයින් අරන් ගිහින් පෙන්වන අයටත් සර්පයින් සම්බන්ධ වනසත්ව නීති රීති තියෙනවා. එකක් දෙකෙක් නෙමෙයි, බොහෝ හේතු නිසා තෙල් බේත් කාරයා නූතනයෙදි අඩුවෙන් දකින්න ඉන්න චරිතයක්. ඒත් එදා ආකර්ෂණීය විදිහට මිනිසුන්ට තෙල් බේත් අලෙවි කරපු තෙල් බේත් වෙළෙන්දා සදාකල් අමරණීය චරිතයක්. 

 

අද හරිම කාර්යබහුලයි. හේතුවක් නැතුවම මිනිස්සු කාර්යබහුලයි. බස් රියක් ඇතුළේ වුනත් ෆෝන් එකේ තියන දෙයක් බලනවා අහනවා මිසක බස් එකට ගොඩවෙන සංචාරක වෙළෙන්දකුගේ වෙළඳ දැන්වීමකට සවන් දෙන්න අද තරුණ පරම්පරාව ලෑස්ති නැහැ. පොළකට කඩේකට ගියත් ඒ ගිය වැඩේ කරගෙන එනවා මිසක අහක යන නාටක බලන්න කට්ටිය ලෑස්ති නැහැ. ඒ විදිහට ලයිෆ් එක බිසී වෙද්දි ඒ කාලෙට හරියන්න තෙල් බේත් කාරයා වගේ උදවියත් සමාජයෙන් ටික ටික ඈත් වෙමින් යනවා. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *