දැන් අපේ ලෝකේ මොන වගේද? ගෝලාකාරයිද? හරි, ඇත්තටම හරියටම ගෝලයක් වගේ නම් නෙවෙයි තමයි. හැබැයි ආසන්න වශයෙන් ගෝලාකාරයි. ඒක විද්‍යාවෙන් සහ තවත් සාධක බොහෝමයක් ඇසුරෙන් ඔප්පු වෙලා තියෙන දෙයක්නේ. හැබැයි එහෙම වුණාට, මේ ලෝකේ ගොඩක් මිනිස්සු ඉන්නවා තාමත් ලෝකේ ගෝලාකාර නැහැයි කියලා කියන අය. ඒ අය කියන විදියට, මේ ලෝකේ ගෝලාකාරයි කියන එක ජාත්‍යන්තර මට්ටමේ කුමන්ත්‍රණයක්. ඒ අයට අනුව ඇත්තටම ලෝකේ රොටියක් වගේ පැතලියි. ඇත්තටම, ලෝකේ රොටියක් වගේ පැතලියි කියන්නත් මේ පැතලි ලෝක න්‍යාය විශ්වාස කරන්නන්ට සාධක පෙන්නන්න තියෙනවා. අන්න ඒ නිසා අපි හිතුවා, ලෝකේ පැතලියි කියන ෆ්ලැට් අර්ත් සෙට් එක පැතලි ලෝකය සාධනය කරන්න ඉදිරිපත් කරන කරුණු කීපයක් ඉදිරිපත් කරන්න. ඒ කරුණු විමසලා බලලා, ඔයාලටත් පුලුවන් ලෝකේ ඇත්තටම පැතලිද, එහෙම නැතිනම් ගෝලාකාරද කියලා කියන්න.
01. අතීත විශ්වාස
ලෝකේ පැතලියි කියන අය ගෙනහැර දක්වන එක කාරණාවක් තමයි, පුරාතනයේ තිබුණු ශිෂ්ටාචාර සමහරක් ලෝකය පැතලියි කියලා කියපු බව. උදාහරණ විදියට කිව්වොත්, ආදී ඊජිප්තු ජාතිකයන් සහ මෙසපොතේමියානුවන් හිතුවා ලෝකේ පැතලි ඩිස්ක් එකක් වගේ, ඒක සමුද්‍රයක පාවෙමින් තියෙන්නේ කියලා. ඒ අය එහෙම හිතුවා කියන්න පිරමීඩ වල සහ මිනීපෙට්ටි වල තියෙන චිත්‍රාක්ෂර වලින් සාධක ලැබෙනවා. එතකොට, ග්‍රීසියේ හිටපු හෝමර් සහ හෙසියොඩ් වගේ කවියොත් හිතුවා ලෝකය කියන්නේ සමුද්‍රයක පාවෙමින් තියෙන තැටියක් කියලා. එතකොට, සොක්‍රටීස්ගෙන් පස්සේ හිටපු තේල්ස්, ඩෙමොක්‍රීටස් වගේ දාර්ශනිකයොත් හිතුවා පෘතුවිය පැතලි තලයක් කියලා. එතකොට අතීත නෝර්ඩික් වරුන්, ජර්මනික් වරුන් එහෙමත් පිළිගත්තේ ලෝකය තැටියක් වගේ කියන කතාව තමයි. එතකොට චීනේ? අතීත චීනේ හිටපු උදවිය හිතුවා ලෝකේ පැතලියි සහ චතුරශ්‍ර හැඩැතියි කියලා. ඉතින් ඔන්න ඔය වගේ අතීතේ හිටපු මිනිස්සු ලෝකය පැතලියි කියලා ප්‍රකාශ කරලා තිබීම වගේ කාරණා නිසාත්, වර්තමාන ෆ්ලැට් අර්ත කට්ටිය කියනවා ඒ හිතපු මොඩ්ල් එක තමයි හරි කියලා!
02. කාටසියන් සංශයවාදය
ඇත්තටම කාටසියානු සංශයවාදය නැතිනම් Cartesian doubt කියන්නේ ඇත්තම දාර්ශනික කතන්දරයක්. කොටින් කියනවා නම්, ඉන්ද්‍රියන්ට දැනෙන විදියට ලෝකේ තියෙන දෙයක් ගැන, යම් විශ්වාසයක් ගැන හෝ යම් කිසි දැනුමක් ගැන ක්‍රමවේදයකට අනුව සැකශංකාවන් ඇති කර ගැනීම. උදාහරණයක් විදියට ගත්තොත්, ඉස්සර මිනිස්සු දැක්කා ඉර නැගෙනහිරින් ඇවිත් බටහිරින් බැහැලා යනවා. එතකොට මිනිස්සු හිතාගත්තා මේ ලෝකේ වටේ තමයි ඉර ගමන් කරන්නේ කියලා. හැබැයි අපිට යම් කිසි ක්‍රමවේදයකට අනුව මේ කාරණාව ගැන සැකශංකාවන් ඇති කරගෙන, ඒ අපිට ඇස් වලින් පේන දේ ඇත්තම ඇත්තද කියලා හොයලා බලන්න පුලුවන්. දැන් පැතලි ලෝක න්‍යායන් විශ්වාස කරන අයත් මේක කාරණාවක් විදියට ගේනවා, පොළව ගෝලයක් නෙවෙයි කියලා කියන්න. ඒ අය කියන්නේ, ඇත්තටම මේ ලෝකය ගෝලාකාරයි කියලා තියෙන පොදු විශ්වාසය ඉන්ද්‍රිය සංවේදනයන් හෝ වෙනත් කෙනෙක් කියපු දැනුමක් මත තමයි පදනම් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ අය ඒ ගැන සැකශංකාවන් පහළ කරනවා. ඇයි පොළව පැතලි තැටියක් වෙන්න බැරිද කියලා අහනවා.
03. ප්ලේන් එකක් යනකොට
දැන් ඔය පැතලි පෘතුවිය ගැන විශ්වාස කරන අය, ඒක ඔප්පු කරන්න ගේන මතයක් තියෙනවා. දැන් අපි ප්ලේන් එකක වෙන රටකට යනවා කියමුකෝ. එතකොට ප්ලේන් එක යන්නේ අහසේ වුණාට, පෘතුවිය ඔය කියන විදියට ගෝලාකාරයි නං, ප්ලේන් එකටත් සිද්ධ වෙනවනේ ප්‍රක්ෂිප්ත චලිතයක යෙදෙන්න. ඒ කියන්නේ, ප්ලේන් එකත් එක්තරා විදියකට වක්‍ර රේඛාවක තමයි ගමන් කරන ඕන. එහෙම නම්, ප්ලේන් එකක් යනකොට, ප්ලේන් එකේ මුහුණත නිතරම ඉස්සරහට ආනත වෙලා තියෙන්න ඕන නැද්ද කියලා ඒ ගොල්ලෝ අහනවා. හැබැයි ඇත්තටම අපි ප්ලේන් එකක් දිහා බැලුවොත්, ප්ලේන් එක අහසට නැග්ගට පස්සේ වුණත් එහෙම ඉස්සරහට පොඩ්ඩක්වත් ආනත වෙලා යන්නෙ නෑ නේද කියලත් අහනවා. ඒකෙන් කියන්නේ පෘතුවිය ගෝලයක් නෙවෙයි, තලයක් කියන එකලු.
04. පොළව වක්‍ර නම්…
දැන් පෘතුවිය ගෝලයක් නම්, සෑහෙන්න දුර ප්‍රමාණයක් ගත්තහම, ඒ දුර ප්‍රමාණය ඇතුළේ පොළව යම් කිසි වක්‍රතාවයක් දක්වන්න ඕනනේ. ඒක ප්‍රායෝගිකව හොයලා බලන්න සමහරු පරීක්ෂණ කරලා බලලත් තියෙනවා. උදාහරණයක් විදියට, ඔය එක පැතලි පෘතුවි න්‍යාය පිළිගන්න එක්කෙනෙක් කරපු පරීක්ෂණයක් ගැන කියන්න පුලුවන්. එයා බැලුවා සැතපුම් කීපයක් දුරට එක දිගට, වක්‍ර වෙන්නේ එහෙම නැතුව විහිදෙන ඇළ මාර්ගයක් යොදාගෙන ඒ පරීක්ෂණය කරන්න. එයා හිතුවා ඒ ඇල මාර්ගයේ යාත්‍රා කරන යාත්‍රාවක රුවල ක්‍රමයෙන් නොපෙනී යන්න ඕනේ, පොළව ඇත්තටම වක්‍ර වෙනවා නම් කියලා. හැබැයි හැතැප්ම හයක් දුරට ගිහිල්ලත් යාත්‍රාවේ රුවල නොපෙනී ගියේ නෑ. ආන්න දැක්කද, ඒ කියන්නේ පෘතුවිය ගෝලාකාර නෑ, පෘතුවිය පැතලියි, කියලා මෙයා කිව්වා! ඒ ඇරෙන්න, පෘතුවිය ගෝලයක් නම්, මුහුදු වල එහෙම තියෙන වතුරත් වක්‍ර ස්වභාවයක් ගන්න ඕන නැද්ද කියලත් මේ අය අහනවා.
05. බෝලේ අනික් පැත්තෙ ඉන්න එවුන් වැටෙන්නෙ නැත්තෙ ඇයි?
ඔය ෆ්ලැට් අර්ත් තියරිය ගැන ටිකක් ප්‍රාථමික මට්ටමෙන් කථා කරන අය කියන කතන්දරයක් තමයි, ලෝකේ බෝලයක් නම්, යට පැත්තේ ඉන්න මිනිස්සු ලෝක තලයෙන් පහළට වැටෙන්න ඕන නැද්ද කියන එක. එතකොට ලෝක තලයේ පහළට වෙන්න පිහිටන ගංගා, මුහුදු වල තියෙන වතුර පවා එතනින් වැටෙන්න ඕන නැද්ද කියලා ඒ අය අහනවා. එතකොට ගුරුත්වය? ගුරුත්වය ගැන කියපු ගමන් තැටි ලෝක තියරිය පිළිගන්න අය කියන්නේ, ගුරුත්වය කියලා එකක් නැහැයි කියලා තමයි.
06. බුද්ධ දේශනාවෙන්
මේක නම් කියන්නේ බෞද්ධ ෆ්ලැට් අර්ත ඩයල් සහ බෞද්ධ දේශනා ගැන දන්න, පොළව පැතලියි කියලත් විශ්වාස කරන අය තමයි. මේ අයගේ තර්කය හරිම සරලයි. දැන් බුද්ධ දේශනා වල පොළව නැතිනම් පෘතුවිය හඳුන්වලා තියෙන්නේ කොහොමද? මොන වචන පාවිච්චි කරලද? “පොළෝ තලය”, “මහී තලය”, “ලෝක තලය” වගේ වචන තමයි අතීත බුද්ධ දේශනා වල සඳහන් වෙලා තියෙන්නේ. එතකොට බෞද්ධයන්ට අනුව බුදුන් තමයි සර්වඥ. ඒ කියන්නේ, බුදුන් මේ විශ්වස සම්බන්ධයෙන් නොදන්නා දෙයක් නෑ. එහෙමනම්, ඇයි බුදුන් මේ “පොළෝ තලය”, “මහී තලය”, “ලෝක තලය” වගේ වචන අපේ ලෝකය හඳුන්වන්න පාවිච්චි කරලා තියෙන්නේ? හේතුව සරලයි. මොකද, පෘතුවිය පැතලියි. ඒක දිවැසින් දැක්ක හින්දලු බුදුන් මේ වචන පාවිච්චි කරලා තියෙන්නේ. ඒකම ලොකු සාධකයක්ලු පොළව පැතලියි කියන්න.
07. ලෝකේ නැති කුමන්ත්‍රණ
මේ පැතලි පෘතුවි ඩයල්ස්, ලෝකේ ඇත්තටම පැතලියි කියන්න පාවිච්චි කරන තවත් ෂුවර් ෂොට් සාධකයක් තමයි, පෘතුවිය ගෝලාකාරයි කියන්න ඔය ගෝලාකාර පෘතුවි කුමන්ත්‍රණේට සම්බන්ධ ලෝකේ ඉහළ තැන්වල ඉන්න අය කරනවයි කියන කුමන්ත්‍රණ. සරලව ඒ කීපයක් ගැන කිව්වොත්, ඇත්තටම නීල් ආම්ස්ට්‍රෝන්ග් හඳට ගිහිල්ලා නෑ. ඒක මේ පොළවේ රූගත කිරීම් කරපු බොරුවක්. එතකොට ෆොටෝෂොප් කියන සොෆ්ට්වෙයාර් එක පවා මේ කුමන්ත්‍රණේ වෙනුවෙන් හදපු එකක් කිව්වොත් විශ්වාස කරනවද? ෆොටෝෂොප් හදල තියෙන්නේ, ඔය ලෝකේ ගෝලාකාරයි කියලා පෙන්නන්න හදලා තියෙන දහසකුත් එකක් ෆොටෝස් එහෙම ඒ විදියට එඩිට් කරන්නලු. ඒ කියන්නේ ඔය පෘතුවිය ගෝලාකාරයි කියලා අපි දකින හැම ෆොටෝ එකක්ම තඩි බොරු. ඒ හැම ෆොටෝ එකක්ම ෆොටෝ ෂොප් කරලා, ලෝකේ බෝලයක් වගේ පේන්න හදපු එව්වලු! ඒ කුමන්ත්‍රණ ගැන අපි ඉස්සරහට කතා කරනවා.
ඇත්තටම, පැතලි ලෝක න්‍යායන් විශ්වාස කරන අය, තවත් කුමන්ත්‍රණ න්‍යායන් සෑහෙන්න විශ්වාස කරනවා. උදාහරණයක් විදියට කිව්වොත්, ලෝකේ පැතලියි කියලා අනික් අයගෙන් හංගන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ, මේ ලෝකෙට පිටතින් ඉන්න පිටසක්වළ ජීවීන් හින්දාය කියලත් මේ පැතලි ලෝක න්‍යාය කාරයෝ කියනවා. එතකොට ලෝකේ ගෝලාකාරයි කියලා මිනිස්සුන්ව රවට්ටලා තිබ්බහම, ඒ පිටසක්වළ ජීවීන්ට මේ ලෝකේ මිනිස්සුන්ව තමන්ට ඕන විදියට පාවිච්චි කරන්න්න, මෙහෙයවන්න පුලුවන් කියන එක ඒ කුමන්ත්‍රණ කතන්දරේ කොටසක්. මේ විදියේ තවත් සෑහෙන්න කුමන්ත්‍රණ කතා තියෙනව පැතලි ලෝක න්‍යාය විශ්වාස කරන අය ගෙනහැර දක්වන. ඒ ගැනත් අපි ඉදිරි දවසකදී කියනවා. ඒ වගේම, පැතලි ලෝක න්‍යායන් පුස්සක් කියලා ඔප්පු කරන විද්‍යාත්මක සාධකත් අපි තවත් දවසක ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා!
Leave a Reply