ඔක්තෝබරයේ කරළියට පැමිණි කදිම ස්මාට්ෆෝන් 7ක්

මේ වෙද්දි ඔක්තෝබරය ඉවරයි. නොවැම්බරයේත් මැදකට අපි ඇවිත්. නමුත් තාමත් තාක්ෂණික ලෝකයේ කතාව නැවතිලා තියෙන්නෙ ඔක්තෝබරයේ. එයට හේතුවක් තියෙනවා. ඒ තමයි තාක්ෂණය ගැන උනන්දු පිරිසට වැඩිම අලුත් කතා බිහිවීමත් නව තාක්ෂණය හඳුන්වාදීමත් සිද්ධ වෙන්නේ ඔක්තෝබරයේ වීම. මේ නිසාම ඔක්තෝබරයට ටෙක්තෝබරය කියලත් කියනව. ඉතිං මේ ටෙක්තෝබරයේ ලෝකයේ ප්‍රමුඛ සමාගම් කිහිපයක්ම තමන්ගේ ඉහළම පෙළේ තාක්ෂණික උපාංග නිකුත් කළා. ඒ අතරින් අපි මේ ලැයිස්තුවට එක් කරන්නේ ඔක්තෝබරයේ කරළියට පැමිණි ප්‍රමුඛ ස්මාට්ෆෝන කිහිපයක්.

 

1. Xiaomi Black Shark Helo

Image Source – miui11.com

Razer සමාගම නිකුත් කරන ගේමින් ෆෝන්වලට තරඟ කරන්න තරඟකාරයෙක් හදන්න ඉදිරිපත් වුනේ Xiaomi සමාගමයි. පසුගිය ඔක්තෝබරයේ නවතම ගේමින් ස්මාට්ෆෝනය වෙන Black Shark Helo නිකුත් වෙන්නෙ ඒ අනුවයි. මන බඳින පෙනුම, ගිගාබයිට් 256ක අභයන්තරික මතකය, Qualcomm Snapdragon 845 චිප් පද්ධතිය, ගිගාබයිට් 10 රැම් අගය, Adreno 630 ග්‍රැෆික් සැකැස්ම, මෙගාපික්සල් 20 සහ 12ක ද්විත්ව ප්‍රධාන කැමරා සහ ඉදිරිපස මෙගාපික්සල් 20ක කැමරාව, විශේෂයෙන්ම Li-Ion 4000 mAh බලැති බැටරිය සමග නිකුත් වන උපාංගයක් නිසා ගේමින් වෙනුවෙන්ම අපහසුතාවයකින් තොරව භාවිතා කිරීමට හැකි ලෙසින් නිපදවා තිබෙනවා.

 

2. Apple iPhone XR

Image Source – cnet.com

වැඩිපුරම කතාබහට ලක්වූ ස්මාට්ෆෝනයක් ලෙසින් දැක්විය හැකියි. පෙර මාසයේ නිකුත් වුනු iPhone XS සහ XS Max උපාංග දෙක නිසා මෙහි අවධානය අඩු වෙතැයි සිතුවද කලකට පසු ඇපල් සමාගම ඩොලර් දහසකට අඩුවෙන් මිල කර ස්මාට්ෆෝනයක් නිපදවා ඇති නිසාත්, මෙහි කැමරාවේ සුවිශේෂතා නිසාත්, තිරය පිළිබඳ බොහෝදෙනෙකු කතා වුණු අඩුපාඩු නිසාත්, වර්ණ හයකින් වෙළඳපොලට නිකුත් වන නිසාත් වැඩි අවධානයක් එයට යොමු වුනා. පැයට මිලි ඇම්පියර් 3000කට ආසන්න බැටරිය, මෙගා පික්සල් 12 ප්‍රධාන කැමරාව, Apple A12 Bionic නවතම චිප පද්ධතියත්, ගිගාබයිට් 64/128/256 ලෙසින් ඇති මතක ධාරිතා සංස්කරණ සහ ගිගාබයිට් 3 රැම් අගය මේ ස්මාට්ෆෝනය පිළිබඳ සාකච්ඡා කිරීමේදී සඳහන් කිරීම වැදගත්.

 

3. RED Hydrogen Smartphone

Image Source – cinema5d.com

ටයිටේනියම් බඳකින් යුතුව නිමවෙනවා යැයි කීවද, එයට කල් යන නිසා පෙර ඇණවුම් කළ පිරිසට ඇළුමිනියම් බඳකින් යුතුව ස්මාට්ෆෝනය නිකුත් කර, පසු කාලීනව ටයිටේනියම් බඳක් සහිත උපාංගයද නොමිලේ ලබාදෙන නිසා ඔක්තෝබරයේ නිකුත් වුණු මෙම ස්මාට්ෆෝනය ගැන වැඩි අවධානයක් යොමු වුනා. එයටත් වඩා වැඩි අවධානයක් දිනාගන්නට හේතු වුනේ මෙය ලෝ ප්‍රකට අධි තාක්ෂණික කැමරා නිපදවන RED සමාගමේ පළමු ස්මාට්ෆෝන් නිපැයු​ම වීමයි. ගිය අවුරුද්දේ ඉඳන්ම කතාබහ ඇතිවෙලා තිබුණු මේ ස්මාට්ෆෝනය පසුගිය ඔක්තෝබරයේ මුලදී නැවුගත කරන්නට ඇරඹි අතර, ඔක්තෝබරය අග පමණ වන විට බොහෝ දෙනෙකුගේ අත පත්වී තිබුනා. පසුගිය වසරේ නිමවන්නට තිබූ නිසා Qualcomm Snapdragon 835 චිප් පද්ධතියක් ඇතුළත් වීම තරමක පාඩුවක් සේම, මෙහි සුවිශේෂිතම අංගය වූයේ එහි තිරයයි. එය වඩා ත්‍රිමාණ දැක්මක් ඔබේ දෑසට ලබා දෙනවා.

 

4. OnePlus 6T

Image Source – mobilesyrup.com

වසරේ තවත් වැඩිම කතාබහකට ලක්වූ උපාංගයක් වූයේ OnePlus සමාගම ඉදිරිපත් කරන මෙම ස්මාට්ෆෝනයයි. මෙහි විශේෂිතවම අවධානය යොමුවන කාරණා කිහිපයක්ම තිබෙනවා. OnePlus 6 උපාංගයේ ගිගාබයිට් 64 ධාරිතා සංස්කරණය ලබාදුන් මිලටම නව උපාංගයේ ගිගාබයිට් 128 වෙළඳපොලට ඉදිරිපත් කෙරෙනවා. එසේම අනෙක් කතාබහට ලක්වුණු විශේෂාංගය වූයේ තියෙනවාද කියා නොසිතෙන තරම් වක්වූ ටියර් ඩ්‍රොප් නොහොත් කඳුළු බිඳුවක් ගිලිහෙන්නට පෙර හැඩයේ කුඩා නොච් එකයි. බෙසල් විරෝධී, නොච් වීරෝධී මෙන්ම ෆ්‍රන්ට් කැමරා මෝටර්ද විරෝධී පිරිසට මෙය මාහැඟි පුවතක් බව නොකිවමනායි. අනෙක් කාරණාව වූයේ කිසිවකු නොසිතූ ලෙස OnePlus සමාගම ඕඩියෝ ජැක් එක ඉවත් කිරීමයි. ඒ වගේම වීදුරු නිමැවුමක් සහිත පසුපිටක් තිබියදීත් රැහැන් රහිතව චාජ් කිරීමේ හැකියාව එයට ලබා නොදීමටත් විරෝධයක් එල්ල වුනා. ඒ වගේම අනෙක් විශේෂිතම අවධානය යොමුවුනේ තිරය යටින් යොදා ඇති ෆින්ගර් ප්‍රින්ට් සෙන්සරයටයි කෙසේ වුවත් මිල, පෙනුම සහ විශේෂාංග අන්තර්ගතය ලෙසින් බලන කල වැඩි දෙනෙකුගේ ආකර්ෂණය දිනාගන්නේ මෙම උපාංගය බව පැහැදිලියි.

 

5. Google Pixel 3 සහ 3XL

Image Source – youtube.com

මහා සම්මත ඇන්ඩ්‍රොයිඩ් නිමැවුම්කරුවාගේ මෙහෙයුම් පද්ධතිය එලෙසින්ම ලැබෙන, විගසින්ම යාවත්කාලීන වන, ලොව විශිෂ්ටතම ස්මාට්ෆෝන් කැමරාව සහිත ස්මාට්ෆෝනයක් තිබේනම් ඒ අන් කිසිවක් නොව Google Pixel උපාංගයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. Google Pixel 3 හී නොච් නැති මුත් බෙසල් ඇති අත​ර 3XL හී බෙසල් නැති මුත් විශාල නොච් එකක් ඇත. නමුත් ස්මාට්ෆෝන් කැමරාව අතිවිශිෂ්ටය. තරඟකරුවන් ද්විත්ව කැමරා පද්ධති ඉදිරිපත් කරද්දි ගූග්ල් තවමත් තනි කැමරාවෙන් වැඩ පෙන්වයි. 12.2 MP කැමරාව, ගිගාබයිට් 64 සහ 128 ලෙස සංස්කරණ දෙකකින්, ගිගාබයිට් 4ක රැම් අගයකින් උපාංග නිකුත් වෙයි.  Google Pixel 3 සහ 3XL අතර ප්‍රධාන වෙනසකට කියා දැක්විය හැක්කේ හැඩය, තිර ප්‍රමාණය, බැටරිය සහ මිල පමණි.

 

6. LG V40 ThinQ

Image Source – 9to5google.com

තවමත් ඔබට ඕඩියෝ ජැක් එකක් සහිත ප්‍රධාන සන්නාමයක හයිඑන්ඩ් උපාංගයක් මිලදී ගන්නට අවශ්‍යනම් එයට ඇති විකල්ප අතලොස්සෙන් එකක් විදියට LG සමාගම නිපදවන හයිඑන්ඩ් උපාංග දැක්විය හැකියි. එයට V40 ThinQ කදිම නිදසුනක්. පැයට මිලි ඇම්පියර් 3300ක බැටරියක්, ගිගාබයිට් 6ක රැම් අගයක් ස​හ Qualcomm Snapdragon 845 චිප පද්ධතියක්, සමගින් සුසැදි මෙම ස්මාට්ෆොනයේ වැඩි අවධානය දිනාගත්තේ මෙහි කැමරා පහක් තිබීමයි. පසුපසට කැමරා ත්‍රිත්වයක් සහ ඉදිරිපසට කැමරා ද්විත්වයක් ලෙසින් සැකසෙන කැමරා පද්ධතිය තරමක අවලස්සනක් උපාංගයට එක් කළත්, එය සෙල්ෆි මෙන්ම සේයාරූ ගැන වැඩිපුර හිතන වර්තමාන තරුණ පරම්පරාවට කදිම පුවතක් වනු ඇත.

 

7. Nokia 7.1

Image Source – onlinenewsdesk.com

කලක් තිස්සෙම ලංකාවෙ වගේම පිටරටත් ජනප්‍රිය වෙච්ච ජංගම දුරකතන විශේෂය වෙන්නෙ Nokia. Nokia සමාගමේ නිෂ්පාදනවලට තරඟයක් දෙන්න ඉදිරිපත් වුණු ඕනෑම උපාංගයක ප්‍රසිද්ධිය මාසෙකට වඩා නොතියෙන්නට, කලින් කලට විවිධ හැඩයන්ගෙන් විවිධ විශේෂාංගයන්ගෙන් යුතුව නිකුත් වුණු Nokia දුරකතන හේතු වුනා. හැබැයි ඒ කොහොම වෙතත් ස්මාට්ෆෝන් වෙළඳපොලට ආවම යන එනමං නැතිවුණු Nokia සමාගම තමන්ගේ Nokia විතරක්ම මිලදී ගන්න පරිශීලක ප්‍රජාව අතරමං කර හැංගුනා. ආයෙත් ස්මාට්ෆෝන් ලෝකයට හිස ඔසවන Nokia ස්මාට්ෆෝන් පෙළේ නිෂ්පාදන අතරේ ඔක්තෝබරයට නිකුත් වුණු උපාංගයයි මේ. නවතාවයකින් යුතු පෙනුමකින් අඩු මිලකට වෙළඳපොලට නිකුත් වෙන මෙම උපාංගය ගිගාබයිට් 4ක රැම් එකකින්, ද්විත්ව කැමරා පද්ධතියකින්, පැයට මිලි ඇම්පියර් 3000කට අධික බැටරියකින් යුක්තයි.

Cover Image Source – digitaltrends.com//9to5google.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *