ඉස්සර කාලේ මිනිස්සුන්ව හඳට යවපු කොම්පියුටරේ ඒ කාලේ විදියට බොහොම දියුණු යන්ත්‍රයක් වුනාට, අද කාලේ ස්මාට්ෆෝන් එකකින් දාහෙන් පංගුවකටත් අඩු පරිගණක බලයක් තමයි ඒකට තිබුණේ. ඇත්තටම Apollo 11 කොම්පියුටරේ ක්ලොකින් ස්පීඩ් එක යන්තම් 4.077MHz ක් වගේ වුනේ. දැන් තියෙන නිකම් ගේම් ගහන්න, වර්ඩ් ඩොකියුමන්ට් එකක් අමුණගන්න පාවිච්චි කරන ලැප්ටොප් යන්තරයක් වුනත් ඒ කාලේ හීනෙන්වත් හිතන්න බැරි තරමට ප්‍රබලයි. එහෙමයි කියලා ලැප්ටොප් දියුණු වෙන වේගය අඩු වෙන්නෙත් නෑ. ඇත්තටම අද කාලේ සමහර ලැප්ටොප් යන්තර තියෙනවා, දැක්කහම අපිට හිතෙනවා මෙව්වා ෂුවර් එකටම අනාගතේට ගැලපෙන මැෂින් තමයි කියලා. හැබැයි ඉතින් සාමාන්‍ය මනුස්සයෙක්ට ගන්න පුලුවන් මිල ගණන් වලට නෙවෙයි මෙව්වා අලෙවි වෙන්නෙත්. ඒත් මොකද, සල්ලි තියෙන දවසක ගන්න පුළුවනිනේ. එතකල් බලලා සැනසෙන්නයි තියෙන්නේ!
1. ASUS ROG Mothership
ඇත්තටම ස්පේස් ෂිප් එකක් වගේ පේන මේ ලැප්ටොප් පරිගණකය සාමාන්‍යයෙන් මේ කාලේ දකින්න ලැබෙන ලැප්ටොප් නියමයක් වෙනස් කරනවා. ඒ තමයි ලැප්ටොප් එකක් නවීන වෙන්න වෙන්න ඒකේ ප්‍රමාණය සහ හුරුබුහුටි බව වැඩිවෙනවා කියන එක. මේකේ වෙන්නේ අනික් පැත්ත. මේක සාමාන්‍ය ලැප්ටොප් එකකට වඩා හැඩිදැඩියි. හැබැයි ඒකට හේතුවක් තියෙනවා. සාමාන්‍ය ලැප්ටොප් එකක වගේ මේකේ හාඩ්වෙයාර් කෑලි තියෙන්නේ කීබෝඩ් එක යට නෙවෙයි, ස්ක්‍රීන් එක පිටිපස්සේ. ඒකේ වාසිය මොකද්ද? කීබෝඩ් එක ගලවලා අරගෙන ඕන තරම් ඈතක ඉඳලා පාවිච්චි කරන්න පුළුවන්. කීබෝඩ් එක වයර්ලස් ක්‍රමයට ස්ක්‍රීන් එකට සම්බන්ධ වෙනවා. මේක ගේමින්ග් ලැප්ටොප් එකක් විදියට නිර්මාණය කරලා තිබුණත්, මේ විශේෂත්වයත් එක්ක තව භාවිතයන් ගණනාවකටම යොදාගන්නත් පුළුවන්!
2. HP Omen X 2S
අපි දන්න කියන ඕනම ලැප්ටොප් එකක ස්ක්‍රීන් එකයිනේ තියෙන්නේ. හැබැයි ස්ක්‍රීන් දෙකක් තියෙන ලැප්ටොප් නැද්ද? තියෙනවා. ඒත් ලැප්ටොප් එක ඇතුළේම දෙවෙනි ස්ක්‍රීන් එකක් තියෙන විදියේ මොඩ්ල් එකක් නම් මීට කලින් ඇවිත් නෑ.
ඒ අඩුව පුරවන්න ඔන්න තියෙනවා HP සමාගමේ HP Omen X 2S ලැප්ටොප් එක. මේකේ කීබෝඩ් එක තියෙන්නේ ලැප්ටොප් බඳේ පහතට වෙන්න. එතකොට ඉහළින් ඉතුරු වෙන තීරුවේ අඟල් 6 ක ප්‍රමාණයේ දෙවෙනි ස්පර්ෂ තිරයක් ස්ථාපනය කරලා තියෙනවා. ගේම් එකක් ගහන අතරතුරේදී ඔන්-ගේම් චැට් එක ඕන නම් මේ ස්ක්‍රීන් එකට ගේන්න පුළූවන්. වැඩක් කරමින් ඉන්න අතරේ ඕන නම් ෆේස්බුක් හරි වට්ස්ඇප් හරි චැට් එක මේ ස්ක්‍රීන් එකට ගේන්න පුළුවන්. මේ දෙවෙනි ස්ක්‍රීන් එකෙන් තව හිතලා මතලා ගන්න පුළුවන් වැඩත් බොහෝමයි!
3. Asus Zenbook Pro Duo
HP සමාගමෙන් ස්ක්‍රීන් දෙකක ලැප්ටොප් එකක් ගැහුවට පස්සේ ASUS සමාගමටත් ඕන වුනා ඒ වගේම වැඩක් කරන්න. ඒ අය කරපු දේ, HP සංකල්පය තව ඉස්සරහට ගෙනිච්චා. දැන් අර කීබෝඩ් එක තියෙන ලැප්ටොප් බොඩි එකේ ඉහළ ඉතුරු වෙලා තියෙන සම්පූර්ණ තීරුවේම අඟල් 14 ක දෙවෙනි ස්පර්ෂ තිරයක් තියෙනවා. ඇඟිල්ලෙන් හෝ ස්ටයිලස් පෑනක් ආධාරයෙන් මේකේ කටයුතු කරන්න පුළුවන්. ඇත්තටම දිග තීරුවක් විදියට තියෙන මේ දෙවෙනි තිරය එක්ක බොහොම පහසුවෙන් වීඩියෝ එඩිටින් කරන හාදයොන්ට පුළුවන් තමන්ගේ අර එඩිටින් ට්‍රැක්ස් ටික දෙවෙනි තිරේට ගේන්න. ඒ නිසා ප්‍රධාන තිරයේ සෑහෙන ඉඩක් ඉතුරු වෙනවා. මීට අමතරව තව බොහෝමයක් වැඩකටයුතු මේ ඔස්සේ ඉෂ්ට කරගන්න පුළුවන්.
4. 2019 Razer Blade Pro 17
දැන් ඔය නවීන ස්මාට්ෆෝන් වල නිෂ්පාදකයෝ උත්සාහ කරන්නේ පුළුවන් තරම් ඉහළ තිර ප්‍රමාණයක්, කුඩා ස්මාට්ෆෝන් බඳක් ඇතුළේ අන්තර්ගත කරන්නනේ. ඒකම ඔන්න ලැප්ටොප් නිෂ්පාදකයොත් පටන් අරගෙන. ඒකේ එක සාර්ථක උත්සාහයක් තමයි මේ ගේමින්ග් ලැප්ටොප් එක. මේක සාමාන්‍යයෙන් අඟල් 15 ක් ප්‍රමාණයේ තිරයක් තියෙන ලැප්ටොප් එකකට ප්‍රමාණයෙන් සමානයි. හැබැයි ඇත්තටම නම් මේකේ අඟල් 17 ක තිරයක් තියෙනවා. ඒ කියන්නේ දෙපැත්තේ සහ ඉහළ දාරයන් හැකි උපරිමයෙන් සිහින් කරලා තියෙන්නේ. මේක හදපු අය කියන්නේ ප්‍රබල ඩෙක්ස්ටොප් මැෂින් එකකින් ලබාදෙන විදියේ ගේමින්ග් අත්දැකීමක් කිසි කරදරයක් නැතුව මේ ලැප්ටොප් එකෙන් ලබාගන්න පුළුවන් කියලා තමයි!
5. Intel Honeycomb Glacier
හරි, දැන් මේ වෙනකොටත් HP සමාගම සහ ASUS සමාගම දෙවෙනි තිරයකුත් ලැප්ටොප් එක ඇතුළේම තියෙන විදියේ ඩිසයින් එකක් එළිදක්වලා තියෙනවනේ. ඉන්ටෙල් සමාගමත් සූදානම් වෙන්නේ ඒ විදියේම කොන්සෙප්ට් එකක ලැප්ටොප් එකක් එළිදක්වන්න. හැබැයි මේ ලැප්ටොප් එකේ තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි උඩ කියපු ලැප්ටොප් දෙකේම ද්විතීයික තිරය තියෙන්නේ කීබෝඩ් එක මත නිසා, කීබෝඩ් එක තියෙන කෝණයටම තමයි දෙවෙනි ස්ක්‍රීන් එක තියෙන්නෙත්. ඒ කියන්නේ සෑහෙන්න ආනත කෝණයක් තියෙන විදියට ස්ටෑන්ඩ් එකක් උඩ ලැප්ටොප් එක තිබ්බොත් මිසක්, දෙවෙනි තිරය පාවිච්චි කරන්න පහසු කෝණයක පිහිටන්නේ නෑ. හැබැයි මේ ලැප්ටොප් සංකල්පයේ විදියට ප්‍රධාන තිරයට අල්ලු වලින් සම්බන්ධ වෙන ද්විතීයික තිරය, කීබෝඩ් එකෙනුත් වෙන් වෙනවා. ඒ නිසා ප්‍රධාන තිරයට පහළින්, කීබෝඩ් එක මත පාවිච්චියට බොහොම පහසු ආනත කෝණයකට තමයි දෙවෙනි තිරය තියෙන්නේ. හිතන්න මේ වගේ තිරයන් දෙකක ලැප්ටොප් එකකින් ගන්න පුළුවන් ප්‍රයෝජන කොයි තරම්ද කියලා!
6. LG Gram
ස්මාට්ෆෝන් පාවිච්චි කරනකොට වගේම ලැප්ටොප් පාවිච්චි කරනකොටත් අපිට කාලයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක් තමයි බැටරිය එක පාරක් චාර්ජ් කළාට පස්සේ කොයි තරම් වෙලා පාවිච්චි කරන්න පුළුවන්ද කියන ගැටළුව. විශේෂයෙන්ම ස්මාට්ෆෝන් එකක් සම්පූර්ණ හැකියාවන් එක්ක පාවිච්චි කළොත් ඉස්සර දවස් බාගෙන් බැහැලා යනවා. ලැප්ටොප් එකක් සම්පූර්ණ හැකියාවන් එක්ක පාවිච්චි කළොත් පැය දෙක තුනයි. හැබැයි දැන් වෙනකොට නම් නවීන ස්මාට්ෆෝන් එකක් එක පාරක් චාර්ජ් කරලා දවසක් දෙකක් යනකල් උපරිම බලයෙන් වැඩගන්න පුළුවන්. ඒත් නවීන ලැප්ටොප් එකක් වුනත් එහෙම උපරිමයෙන් පාවිච්චි කළොත් පැය කීපයක් තමයි බැටරිය තියෙන්නේ. ආන්න ඒකට වෙනසක් ගේන ලැප්ටොප් එකක් තමයි මේ. බොහොම සිහින්, හුරුබුහුටි නිමාවක් තියෙන මේ ලැප්ටොප් එක සාමාන්‍ය විදියට වැඩ කළොත් පැය 22.5 ක් වෙනකල් තියාගන්න පුළුවන්. උපරිමයෙන් වැඩ කළත් වැඩ කරන දවසක් ගත වෙනකල් බොහොම පහසුවෙන්ම පාවිච්චි කරන්න පුළුවන්!
7. Alienware Area 51m
සාමාන්‍යයෙන් අපි ඉස්සර පාවිච්චි කළේ ඩෙක්ස්ටොප් කම්පියුටර්ස්නේ. මේවා එහා මෙහා ගෙනියන්න බෑ තමයි. හැබැයි සෑහෙන පවර්ෆුල්. ඒ වගේම තමයි, අපිට මේ ඩෙක්ස්ටොප් පරිගණක වල කෑලි මාරු කරන්න, අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ හාඩ් එකේ සයිස් එක මදි නම් ඔන්න අලුත්ම වැඩි ධාරිතාවක හාඩ් එකක් ගහන්න පුළුවන්. අලුතින් ආපු ග්‍රැෆික් කාඩ් එකක් මදර් බෝඩ් එකට කම්පැටිබල් නම් දෙපාරක් නොහිතා ඒක ගහන්න පුළුවන්. අලුතින් රැම් හයි කරන්න පුළුවන්. ඒත් ලැප්ටොප් එක්ක නම් මේ සෙල්ලං බැහැනේ. ගත්ත එක තමයි හැමදාම පාවිච්චි කරන්න වෙන්නේ. ඒත් ගේමර්ස්ලා ගැන හිතලා ඊට වඩා වෙනස් ලැප්ටොප් එක ඇවිත් තියෙනවා. මේකේ විශේෂත්වය වෙන්නේ මේක උපරිමයෙන් කස්ටමයිස් කරන්න පුළුවන් වීම. ඒ කියන්නේ තව අවුරුද්දකින් අලුතෙන්ම එන ග්‍රැෆික් කාඩ් එකක් වුනත්, ප්‍රොසෙසර් එකක් වුනත්, හාඩ් එකක් වුනත්, රැම් එකක් වුනත් මේකට හයි කරන්න පුළුවන්. දැන් ගේමර්ස්ලාට අවුරුදු පහක් හයක් යනකොට තමන්ගේ මැෂින් එක අවුට්ඩේටඩ් කියලා දුක් වෙන්න ඕන නෑ!
Leave a Reply