ඔබ සිටින්නේ ජීවිතයේ හතරවෙනි දශකයේද? ඒත් ඔබ තවමත් ප්‍රමාද නැත!

ජීවිතේ කියන්නේ කා වෙනුවෙන් වත් නැවතිලා තියෙන දෙයක් නෙවෙයි. එතකොට කාලය කියන්නෙත් කා වෙනුවෙන්වත් නැවතිලා තියෙන දෙයක් නෙවෙයි. අපිට කාලය හරහා ඉස්සරහට පස්සට යන්න බැහැනේ. අන්න ඒ නිසා තමයි අද කළ යුතු දේ අදම කරන්න කියන ආප්තෝපදේශය සෑහෙන්න ජීවිතේට වැදගත් වෙන්නේ. හැබැයි ඉතින් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔය දේවල් අපි කොයි තරම් දුරට දැනගෙන හිටියත්, ඇත්තටම අපිට ජීවිතේ මගහැරෙන දේවල් බොහොමයක් තියෙනවා. එහෙම මගඇරුණා කියලා අපි පසුතැවිලි වෙන දේවල් බොහෝමයක් තියෙනවා. විශේෂයෙන්ම අපි අවුරුදු 40 ක මායිම පහුකරලා 50 ට විතර ලඟාවෙමින් නම් ඉන්නේ, අපි අවුරුදු 20 ගණන් වලදී, 30 ගණන් වලදී කරන්න තිබුණු, ඒත් කරන්න බැරි වුණු දේවල් ගැන පසුතැවෙන්න පටන් ගන්නවා. ඒකත් ඉතින් ජීවිතේ හැටි. හැබැයි ඇත්තටම ජීවිතේ සමහර දේවල් තියෙනවා, අපි පසුතැවීම හින්දා, කරන්න පරක්කුයි කියන හැඟීම හින්දා මගහැර ගන්න. ඇත්තටම ඒ දේවල් කරන්න අපි කවදාවත් පරක්කු නැහැ. ඒවා මොනවද කියන එක තමයි මේ කතා කරන්න යන්නේ.

 

1. අලුත් වෘත්තියකට

සාමාන්‍යයෙන් අපි අපේ වෘත්තීමය ජීවිතය ආරම්භ කරන්නේම වයස අවුරුදු 20 ගණන් වෙනකොට. සාමාන්‍යයෙන් සමාජේ තියෙන පිළිගැනීම වෙන්නේ, අපි අවුරුදු 30 ගණන් වෙනකොට අපේ වෘත්තිය ජීවිතයක ස්ථාවර වෙලා ඉන්න ඕන කියන එක. ඒ කියන්නේ එක ජොබ් එකක් කරමින් ඉන්න කියන එක නෙවෙයි. හැබැයි අපේ වෘත්තිය මොකද්ද කියන කාරණය ස්‍ථාවර වෙන්න ඕන කියන එක. ඒත් ඒක ඇත්තම ඇත්තද? අපිට අවුරුදු හතළිහ පැන්නට පස්සේ සම්පූර්ණයෙන්ම අලුත් වෘත්තියක් තෝරගන්න බැරිද? මේකට උත්තරයක් අපිට මේ කොවිඩ්19 වසංගතයත් එක්ක ලැබිලා තියෙනවා. අපිට හොඳ සැලසුමක් තියෙනවා නම්, අලුතෙන් වෘත්තිය ජීවිතේ ආරම්භ කරන්න වුණත් අපි ප්‍රමාද නෑ!

මෙහෙමයි. තමන් කරමින් ඉන්න වෘත්තිය අතඇරලා අලුතෙන්ම වෘත්තියකට යන එක ලේසි වැඩක් නෙවෙයි. අපි අලුත් වෘත්තියක් ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ ඒ වෘත්තියේ ප්‍රවීණත්වයක් ලබාගන්න ඕන. හැබැයි රහස මේකයි. අපි ජීවිතේ මුලින්ම වෘත්තියක් ඉගෙන ගන්න සහ ප්‍රවීණත්වය ලබාගන්න අවුරුදු පහක් ගත කළා කියමු. හැබැයි අපිට දැන් අලුත් වෘත්තියක් ඉගෙන ගන්න ඒ තරම් කාලයක් අවශ්‍ය වෙන්නෙ නෑ. අපිට හොඳ සැලසුමක් තියෙනවා නම්, ඉක්මනට ඉගෙන ගන්න හැකියාව, කට්ටක් කන්න ධෛර්යය තියෙනවා නම් ඊට සෑහෙන්න අඩු කාලෙකින් අපිට අලුත් වෘත්තියක ප්‍රවීණත්වය ලබාගන්න පුළුවන්. මොකද, මේ වෙනකොටත් වෘත්තිය මොකක් වුණත් අපිට වෘත්තීය ජීවිතය කියන්නේ අලුත් දෙයක් නෙවෙයි!

 

2. අලුත් බිස්නස් එකකට

ඇත්තටම දැන් කාලේ අපි හැමෝටම එක රැකියාවක් විතරක් කරලා ජීවත් වෙන්න අමාරු කාලයක තමයි ඉන්නේ. අන්න ඒ නිසාම තමයි අපිට සයිඩ් එකෙනුත් පොඩි හරි ආදායම් මාර්ගයක් තියෙන එක වටින්නේ. හැබැයි ගොඩක් දෙනෙක් හිතනවා, බිස්නස් එකක් වගේ දෙයක් පටන් අරගෙන දියුණු කරන්න නම් ඒක අපි ජීවිතේ කලින්ම පටන් ගන්න ඕන කියලා. නෑ, ඇත්තටම එහෙම එකක් නෑ. අපිට හොඳ බිස්නස් ප්ලෑන් එකක් තියෙනවා නම්, නවෝත්පාදන අදහස් තියෙනවා නම්, වෙනස් විදියට හිතන්න පුලුවන් නම් අවුරුදු පණහ පැන්නත් බිස්නස් එකක් පටන් ගන්න පරක්කු නැහැ. හැබැයි ඉතින් අර තරුණ කාලේ ජවය, තනිකඩ ජීවිතේ නිදහස එහෙම අපිට මේ කාලේ වෙනකොට අලුත් බිස්නස් එකකට ආයෝජනය කරන්න නැති වෙන්න පුළුවන්. ඒත් ගැටළුවක් නෑ. අපිට ජීවිතේ අත්දැකීම් සහ කැපවීම ඒ වෙනුවට ආයෝජනය කරන්න පුළුවන්!

 

3. අලුත් විනෝදාංශයකට

විනෝදාංශ කියන්නේ ඇත්තටම මොකක්ද? සරලවම අපි විනෝදය සඳහා එක දිගට කරන්න තෝරගන්න දෙයක් කියන්න පුළුවන් නේද? එහෙමනම් ඉතින් අලුතෙන් ජීවිතේට විනෝදාංශයක් එකතු කරගන්න ජීවිතේ විශේෂ කාලයක් තියෙනවද? ඇත්තටම කිවුවොත් නැහැ. ඒක අමුතුවෙන් කියන්න දේකුත් නෙවෙයි.

හැබැයි ඇත්තටම ගොඩක් දෙනෙක්ට එන ප්‍රශ්නය වෙන්නේ හතළිස් ගණන් පහුවෙලත් අලුතින් විනෝදාංශයක් පටන් ගන්න එක නෙවෙයි. අපි පුංචි කාලේ හරි තරුණ කාලේ හරි කරන්න තිබුණු විනෝදාංශයක් මේ කාලේ පටන් ගන්න තියෙන සැකසංකාවන්. උදාහරණයක් විදියට කිවුවොත්, අවුරුදු හතළිහක මනුස්සයෙක් මුද්දර එකතු කිරීමේ විනෝදාංශයක් පටන් ගන්න තියෙන ඉඩ ඉතාම අඩුයි. ඒත් ඉතින් මුද්දර එකතු කරන්න වයසේ ප්‍රශ්නයක් තියෙනවද? නැහැනේ. ඊටත් වඩා බැලූබැල්මට ලාමකයි කියලා තමන්ට හිතෙන, ස්ටිකර් එකතු කිරීම වගේ විනෝදාංශයක් වුණත් පටන් ගන්න කිසිසේත්ම ප්‍රමාද නැහැ. 

 

4. අලුත් බකට් ලිස්ට් එකකට

බකට් ලිස්ට් එකක් කියලා කියන්නේ අපි මැරෙන්න කලින් කරන්න ඕන කියලා තදින් හිතන වැඩ ලැයිස්තුවකට. සාමාන්‍යයෙන් බකට් ලිස්ට් එකක් කෙනෙක් විසි ගණන් වල, තිස් ගණන් වල ඉන්නකොටම හදන්න පුළුවන්. ඒ කියන්නේ තමන් මැරෙන්න කලින් කරන්න ඕන දේවල් මේවා තමයි කියලා හිතාගන්න පුළුවන්. ඒත් බකට් ලිස්ට් එකේ තියෙන දේවල් කීපයක් හරි ගොඩක් දෙනෙක්ට ගොඩ දාගන්න ලැබෙන්නේ වයස හතළිහ, පණහ වගේ පැන්නහම තමයි.

 

හැබැයි එහෙම වුණත්, වයස හතළිහ, පණහ පනිනකොට, තමන්ගේ බකට් ලිස්ට් එකට අළුතින් කරන්න ඕන දේවල් එකතු කරන්න හරි, අලුතින්ම බකට් ලිස්ට් එකක් හදන්න හරි පරක්කු වැඩියි කියලා ගොඩක් දෙනෙක් හිතනවා. බය වෙන්න එපා. අලුතින්ම බකට් ලිස්ට් එකක් හැදුවත්, ඒකේ තියෙන දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න අපි පරක්කු වැඩි නැහැ.

 

5. අලුත් යාළුකම් ඇති කර ගන්නට

සාමාන්‍යයෙන් අපි යාළුමිත්‍රකම් වලට කැමති, යාළුවෝ ආශ්‍රය කරන්න තරමට සමාජශීලී මිනිස්සු නම්, හැට පැන්නත් අලුතින් යාළුකමක් ඇති කරගන්න එක අමුතු දෙයක් නෙවෙයිනේ. ඒක හරි. හැබැයි අපි අවුරුදු හතළිහ විතර පැන්නට පස්සේ, අපේ වයසින් භාගයක් විතර වෙන කෙනෙක් එක්ක යාළුකමක් ඇති කරගන්න පෙළඹෙයිද? ආන්න ඒක නම් සැකයි. ඒකට හේතු තියෙනවා. තමන්ට වඩා අවුරුදු විස්සකින් විතර බාල කෙනෙක් අපිට කොයි විදියට පිළිගනීවිද කියන සැකය. පරම්පරා පරතරයත් එක්ක එහෙම යාළුකමක් ඇත්තටම වැඩ කරයිද කියන සැකය. හැබැයි ඕවා ගැන වද වෙන්නේ මොකටද? තමන්ට වයස් අවුරුදු හතළිස් පහක් වුණත්, තමන්ට අවුරුදු දහයක දරුවෙක් එක්ක යාළුවෙක් වෙන්න පුළුවන් නම්, ඇයි ඒ අවස්ථාව මග අරින්නේ? අවුරුදු දහයේ හෝ පහළවේ දරුවට අපි අංකල් කෙනෙක් හරි ග්‍රෑන්ඩ්පා කෙනෙක් හරි වෙන්න ඕන කියලා නියමයක් නැහැනේ. මොනම වයසක වුණත් යාළුකමකට අපි තාමත් පරක්කු නෑ! 

 

6. අලුතින් දේවල් ඉගෙන ගන්නට

ඇත්තටම ඉගෙන ගන්න වයස් සීමාවක් නැහැ. ඒ කියන්නේ ඉගෙනීම කියන දේ පුළුල්ව බැලුවොත්. එතකොට වයස අවුරුදු හතළිහ පැනපු මනුස්සයෙක්ට වුණත් සාමාන්‍යයෙන් මාස්ටර් එකක්, පීඑච්ඩී එකක් එහෙම කරන්නත් අවුලක් නැහැනේ. ඒත් වයස අවුරුදු හතළිහ පැනපු කෙනෙක් ද්විතීයික අධ්‍යාපනයට එහෙම යොමු වෙන්න, ඒ-ලෙවල් විෂයක් ආයෙ කරන්න, ඩිග්‍රියක්, පාඨමාලාවක් කරන්න පෙළඹෙනවා අඩුයි නේ? සමහරුන්ට තමන්ගේ වයසත් එක්ක පොඩි එවුන් ඉන්න ක්ලාස් එකකට ගිහින් ඉඳගෙන ඉගෙන ගන්නවා කියන එකත් විකාරයි වගේ තමයි පේන්නේ.

හැබැයි අපි කියන්නේ මෙච්චරයි. තමන්ට දෙයක් ඉගෙන ගන්න ඕනෙද? ඒ ඉගෙන ගන්න දේ අලුත් වෘත්තියකට හරි, ඉන්න වෘත්තියේ උඩට යන්න හරි, තමන්ගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් හරි, තව කෙනෙක්ට දෙයක් ඉගැන්වීමට හරි අවශ්‍යද? එහෙමනම් දෙපාරක් හිතන්න එපා. ගිහින් ඉගෙන ගන්න, ඒකට තවමත් පරක්කු නෑ!

 

7. අලුත් ආදරේකට

අන්තිමට අපි ආදරේ ගැන තියාගත්තට, ඇත්තටම ලිස්ට් එකේ මුලටම මේක ආවත් කමක් නැහැ. දැන් අපි දකිනවා සමහරු කලාතුරකින් ඉන්නවා අවුරුදු පණහ හැට පැනලත් කසාද බඳිනවා. සමහර වෙලාවට තමන්ට වඩා තරුණ කෙනෙක්ව. අන්න එතකොට සමාජේ ඉන්න ඒ තරම් ගැඹුරක්, බරක් පතලක් නැති කෙනෙක් ඒක විවේචනය කරනවා. මේ නහින දෙහින කාලේ මොන ලව්ද කියලා තමයි ඒ ගොඩක් දෙනෙක් කියන්නේ. හැබැයි ඇත්තටම ආදරේ කරන්න එහෙම විශේෂ කාලයක් තියෙනවද? අපි කියන්නේ නැහැ කියලා. අපි පණහ පැන්නත්, අපි තනිකඩයි නම්, අපිට ආදරයක් එක්ක තව ජීවිත කාලයක් තව ජවයකින් ජීවත් වෙන්න ඉඩ ලැබෙයි. ඉතින් අන්න ඒ නිසා, අලුත් ආදරයක් හොයාගන්න තවමත් ප්‍රමාද නැහැ!

 

එහෙනම් මතකයිනේ. ජීවිතේ මේ දේවල් පටන් ගන්න තවමත් කිසිසේත්ම පරක්කු නැහැ. වැදගත් වෙන්නේ ඒකට අඩිය තියන එක තමයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *