ලෝකේ කොහේ හිටියත් ඔබ අපි එක් කරවන බිග් මැච් කතන්දරේ

big match season

මනුස්සයෙක්ගේ ජීවිතේට වැඩිම බලපෑමක් ඇති කරන ස්ථානය තමයි පාසල. ඒක සෑහෙන හොඳ වෙන්න පුළුවන්. ජීවිතේට ම බලපාන නරක දෙයක් වෙන්නත් පුළුවන්. මේ දෙකෙන් බහුතරයකට පාසල නිසා වුණේ සෙතක්. මොකද අතීතය දිහා හැරිලා බලද්දී ඉගෙනගත්ත පාසලට බනින අය හොයාගන්න හරි අමාරු නිසා. පාසලට පින් දෙන අය වැඩි නිසා. එහෙම ජීවිතය ම හදපු තැනින් එක කාලෙකදී අපිට අයින් වෙලා යන්න වෙනවා. ඒ යනකොට අරන් යන මතක ආය එක්තැන් වෙන විදියක් තමයි බිග් මැච් සංකල්පය. ගෙට් ටුගෙදර්, විනෝද චාරිකා වගේ අරුමෝසම් තිබුණත් ඇඟේ අන්තිම ලේ බින්ඳුව දක්වා ම පාසල සම්බන්ධයෙන් අමුතු චිල් එකක් දෙන්නේ බිග් මැච් එක විතරයි.

 

1. සියල්ලට පෙර පාසල් මව

big match season

Source – thepapare.com

ඇත්තට ම පාසලත් දරුවාත් අතර ගොඩනැගෙන්නේ ලේ ඥාතීත්වයකටත් එහා ගියපු අරුම පුදුම බන්ධනයක්. නිවාසාන්තර තරඟවලදී උගුර ලේ රහ වෙනකන් නිවාසේ නම කියලා කෑ ගහපු, අන්තර්පාසල් ක්‍රීඩා තරඟවලදී හදවතින් ම ජයපතපු ගැම්ම බිග් මැච් අස්සේ පුපුරු ගැහෙනවා. මිනිස්සුන්ගේ හැඟීම් ප්‍රකාශනයේ තියෙන ලස්සන බලන්න හොඳම තැනක් තමයි බිග් මැච් එක තියෙන පිට්ටනිය. එදාට කොහේ හිටියත් ඇවිත් ජය පතන්නේ පාසලේ වැලි කැටයක් ගානේ තියෙන ආදරය නිසා. ප්‍රාථමික අංශයේ පුංචි පුතාගේ ඉඳලා රටේ ඉහළ ම තැනක රක්ෂා කරන නිලධාරියාත් ආදී ශිෂ්‍යයෙක් විදියට ඇවිල්ලා පාසල් ධජය තුරුලු කරන් උද්වේගයෙන් පිටියේ රැඳිලා ඉන්නවා. මේ දෙගොල්ලා ම එක ම ස්ථරයක එක අම්මා කෙනෙක්ගේ පුතෙක් බවට පත් වෙනවා. නිකන් ම ක්‍රිකට් තරඟයක් පවත්වලා තෑගි බෙදා දෙනවට වඩා දෙයක් බිග් මැච් අස්සේ සිද්ධ වෙන්නේ පාසල වෙනුවෙන් තියන මෙන්න මේ ආදරය නිසා.

 

2. මානව බැඳීම්

big match season

Source – youtube.com

කිව්වත් වගේ මේක නිකන් ම නිකන් ක්‍රිකට් ගැහිල්ලක් නෙවෙයි. ලෝකේ කොහේ හිටියත් පාසල වෙනුවෙන් එයට ආදරය කරන අය එකතු කිරීමක්. කවදාවත් තමන්ව බඩගින්නේ නොතිබ්බ යාළුවෝ යළි හමුවීමක්. අණ්ඩපාලයෝ වගේ හිටපු කොල්ලන්ව ලොකු මිනිස්සු කරනවාට වඩා හොඳ මිනිස්සු කරපු ගුරුවරු එක්ක ආයෙත් පොඩ්ඩක් කතා කරන්න ලැබුණ අවස්ථාවක්. පාසල් කාලේ වගේ ම එකට එකතු වෙලා අතීත මතක අලුත් කරගන්න හොඳ වේදිකාවක්.

 

3. බැහැලා වැඩ කිරීම

big match season

Source – anandacollegeoba.com

පාසල් සංවර්ධන සමිතිය, ආදී ශිෂ්‍ය සංගමය, ආචාර්‍ය මණ්ඩලය ඇතුළු සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම සම්බන්ධ වෙලා මේ කරන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. තරඟයට මාස ගණනාවකට කලියෙන් ඉඳන් මගුල් ගෙදරකට වගේ ලෑස්ති වෙන්නේ. එළකිරි ටී ෂර්ට් එකක් ගහනවා, ෆේස්බුක් ඇතුළු සෝෂල් මීඩියාවලින් කරන්න පුළුවන් උපරිම විදියේ කැම්පේන් එකක් කරනවා, දැන් දැන් ගීත නිර්මාණ එළියට දාන්නත් පටන් ගෙන. මේ කිසිම දෙයක් කරන්නේ මුදල් වාසියක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. තනිකර ම පාසලට තියන ආදරය. පාසලේ දැනට අධ්‍යාපනය ලබන අයත් තමන්ගේ ජ්‍යෙෂ්ඨ පරම්පරාවලින් ගුරුකරුකම් අරන් ඔවුන්ගේ මගපෙන්වීම යටතේ පාසල දිනවන්න ගොඩක් මහන්සි වෙනවා.

 

4. පැරඩ් එක

big match season

Source – kandysumangalaoba.com

මේක මැච් එකටත් වඩා උද්වේගයක් ගෙන දෙන අවස්ථාවක්. දැන් ඔය ලෝක කුසලාන වගේ ලොකු ලොකු තරඟවලත් කුසලානේ තියාගෙන වීදි සංචාරය කරනවනේ. ඒ වගේ ම තමයි. හැබැයි පන්සලේ පින්කමට යනවා වගේ පෝලිම් හැදිලා යන එකක් නම් නෙවෙයි. පැරඩ් යන්නේ පුළුවන් තරම් විනෝදකාමී විදියට. මේක ගොඩක් දෙනෙක්ට විනය විරෝධී දෙයක් වෙන්න පුළුවන්. අසභ්‍ය වදන් ලියාගත් පෝස්ටර් අරන් යාම වගේ දේවල් පිළිබඳ මේවා සංවිධානය කරන අය සැලකිලිමත් විය යුතුයි. නමුත් පාරට බැස්සම නගරෙම හොල්ලලා ගන්න පුළුවන් පැරඩ් එකක් තියෙන්න ඕනි. ඒකට අසභ්‍ය වෙන්න ම ඕනි නෑ. හරි ම කලාත්මක දේවල් පැරඩ් එකක් යද්දී දැක බලාගන්න පුළුවන්. පැරඩ් කියන්නේ අහිංසක ආතල් එකක්.

 

5. ජය පරාජය විඳගැනීම

big match season

Source – thepapre.com

බිග් මැච් එකකට එද්දී අනිවා දන්නවා එක පාසලක් ජය ගන්න බව. කුසලානය මොන යම් හෝ පාසලකට හිමි වෙනවා. ඒක අනික් පාසලට කිසි ලෙසකින් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද මේ තරඟය පාසල් දෙක අතර තිබුණ සම්බන්ධය වැඩි දියුණු කළ එක් මෙවලමක් වන නිසා. මේ කාලෙදී පාසල් දෙකම බොහෝ සතුටින් ඉන්නේ. ඒ නිසා ජයග්‍රහණයේදී ඒ පාසල අන්තයට ම සතුටු වුණත් අනික් පාසල අන්තයට දුක් දෙන්නේ නැහැ. රචනාවල, ධනාත්මක චින්තන කතාවල එන ජය පරාජය සමව විඳගැනීමේ කතාව යථාර්ථයක් විදියට දකින්න බිග් මැච් සීසන් එක තරම් කාලයක් තවත් නැහැ

බිග් මැච් කාලේ ගැන ඔබට කියන්න ඇති කතා පිළිබඳ අපිත් ආසයි දැනගන්න.

 
Cover Image Source – sportswithharitha.com / thepapare.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *