බෝයිෆ්‍රෙන්ඩ්ට හරි ගර්ල්ෆ්‍රෙන්ඩ්ට හරි ගිෆ්ට් එකක් දෙන්න විශේෂ දවසක් එනකල්ම ඉන්න ඕන නෑ. බෝයිෆ්රෙන්ඩ්ගෙන් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් හරි ගිෆ්ට් එකක් ගන්නත් විශේෂ දවසක් එනකල් ඉන්න වුවමනාවක් නෑ. හැබැයි බෝයිෆ්‍රෙන්ඩ්ට හරි ගර්ල්ෆ්‍රෙන්ඩ්ට හරි දෙන්න ගිෆ්ට් එකක් තෝරගන්න නම් විශේෂ දවසක් දාගන්නම වෙනවා. මොකද විශේෂ ගිෆ්ට් එකක් තෝරගන්න එකත් එක්තරා ආට් එකක්. ඒක කරන්න නම් එයාගේ ටේස්ට් එක, ආස දේවල්, එයා ගාව තියෙන දේවල් ගැන හොඳ අදහසකින් යුක්ත වෙන්න වෙනවා. ඒ වගේම විශේෂත්වයක් තියෙන ගිෆ්ට් එකක් තෝරගන්න පොඩි කට්ටක් කන්නත් වෙනවා. හැබැයි කමක් නෑ. මොන කට්ට කෑවත් ඒ ආදරේ වෙනුවෙන් නිසා. හැබැයි ඒ කට්ට කන වැඩේ පොඩ්ඩක් ලේසි කරන්න අපි හිතුවා ගර්ල්ෆ්‍රෙන්ඩ්ට හරි බෝයිෆ්‍රෙන්ඩ්ට හරි දෙන්න හොඳ ගිෆ්ට් අයිඩියාස් කීපයක් ඉදිරිපත් කරන්න. ඇත්තටම ගර්ල්ෆ්‍රෙන්ඩ්ට ගිෆ්ට් එකක් දෙන්න අයිඩියාස් අපි කලිනුත් කියලා තියෙනවා. ඒ නිසා අද කියන්න යන්නේ බෝයිෆ්‍රෙන්ඩ් වෙනුවෙන් තෑග්ගක් තෝරගන්න උදවු වෙන අයිඩියාස් කීපයක් ගැන.
1. වොලට් එකක්
වොලට් එකක් තෝරගන්න කොට මුලින්ම හිතන්න ඕන ඒක සාමාන්‍ය ප්‍රමාණයේ එකක්ද, එහෙම නැතිනම් ලෝන්ග් වොලට් එකක්ද කියලා. ඒකට ඇත්තටම බෝයිෆ්‍රෙන්ඩ්ගේ කැමැත්ත ගැන දැනගන්න වෙනවා. ඉන් පස්සේ එයා කැමති පාට වගේ දේවල් ගැන හිතන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම වොලට් එකක් ගිෆ්ට් එකක් විදියට දෙනවා නම්, ඒකේ කොලිටිය ගැන හිතන්න ඕන. මොකද බැලූ බැල්මට පිටකොටුවේ තියෙන කඩේකින් ගන්න වොලට් එකක් වුනත් ලස්සනට තෑග්ගක් විදියට දෙන්න හොඳයි. හැබැයි හොඳ කොලිටි වොලට් එකක තියෙන ප්‍රීමියම් ලුක් එක සහ කල් පැවැත්ම, බාල සහ මිලෙන් අඩු වොලට් එකක නැහැ. නියම ලෙදර් වලින් හදපු වොලට් එකක් දෙන්න පුළුවන් නම් තවත් සුපර්.
2. ටයි එකයි, පින් එකයි
ටයි එකක් සහ ඒකට ගැලපෙන්න ටයි පින් එකක් කියන්නේ මරු ක්ලසි ගිෆ්ට් එකක්. හැබැයි මෙතනදී ටිකක් ඉහළ කොලිටියේ ටයි එකක් ගන්න එක වැදගත්. මොකද, අර ඕන එකක් එකසිය පණහයි, දෙසීයයි කියලා එළියේ එල්ලලා තියෙන ටයි එකක් කීප පාරක් හෝදනකොට නූල් ඇදෙන්න, හැඩේ නැතිවෙන්න ගන්නවා. අනික ඒවා අතට ගත්තහම වුනත් කොලිටියක් දැනෙන්නෙ නෑ. හැබැයි අර හොඳ බොක්ස් වල පිළිවෙලට අහුරලා තියෙන ටයි එකක් අතට ගත්තහමත් වෙනස දැනෙනවා, කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්.
ටයි පින් එකක් ගන්න නම් ලොකු අවුලක් නෑ. ටයි එකට ගැලපෙන විදියේ ඩිසයින් එකකින් සහ පාටකින් තෝරගන්න තමයි ඕන.
3. බෝතලයක්
මේක ගිෆ්ට් එකක් විදියට දෙන්න නම් බෝයිෆ්‍රෙන්ඩ් ඇල්කොහොල් පාවිච්චි කරන මනුස්සයෙක් වෙන්නත් ඕන. ගර්ල්ෆ්‍රෙන්ඩ් ඒකට අප්සට් එකක් නැති කෙනෙක් වෙන්නත් ඕන. ආන්න එහෙමනම් හොඳ වර්ගයේ බෝතලයක් කියන්නේ හොඳ ගිෆ්ට් එකක් තමයි. වයින් බෝතලයක් දුන්නොත් මේක තවත් රොමෑන්ටික්. ඕන නම් වෙනත් ඇල්කොහොල් වර්ගයක් වුනත් අවුලක් නෑ. හැබැයි ඔය වයින් වර්ග ගන්න තැන්වලදී බෝතලේ හැඩේටම තියෙන ලස්සන බෑග් එකක එහෙම දාලා ගන්න පුළුවන්. ආන්න ඒ විදියට ගත්තහම බෝතලේ නියම තෑග්ගක් වෙනවා!
4. නෝට්බුක්ස්
නෝට්බුක් එකක් හරියන්නේ ගොඩක් වෙලාවට ඔය ලියන කියන කටයුතු වල යෙදෙන බෝයිෆ්රෙන්ඩ්ස්ලාට තමයි. විශේෂයෙන්ම ඔය ලේඛක වෘත්තියේ එහෙම යෙදෙන බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා ලස්සන, වෙනස් විදියේ නෝට්බුක් වලට මාරම ලව්. මෙතනදී විශේෂයෙන්ම අවබෝධ කරගන්න ඕන කාරණේ වෙන්නේ, ඕනම බුක් ෂොප් එකකින් ගන්න තියෙන සාමාන්‍ය විදියේ නෝට්බුක් එකක් විශේෂ තෑග්ගක් වෙන්නෙ නැති බව. ඊට වඩා වෙනස් විදියේ නෝට්බුක්ස් හොයාගන්න පුළුවන් තැන් තියෙනවා. ආන්න එහෙම නෝට්බුක් එකක් කියන්නේ පර්ෆෙක්ට් ගිෆ්ට් එකක්!
5. විස්කි ග්ලාස් සෙට් එකක්
මේකත් සෙට් වෙන්නේ ඔය කන බොන බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ට තමයි. විස්කි වලට එහෙම ඇල්මක් දක්වන බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නම්, හොඳ විස්කි ග්ලාස් සෙට් එකක් අරගෙන දුන්නහම එපා කියන්නේ නෑ. විශේෂයෙන්ම යාලු මිත්තරයෝ සෙට් වෙන්න එන දවසකදී ඔය තෑග්ග ප්‍රයෝජනවත් වෙනවනේ. හැබැයි ඉතින් ඒ එක්කම ගර්ල්ෆ්‍රෙන්ඩ් පොඩි අවවාදෙකුත් දුන්නට කමක් නෑ, ඇල්කොහොල් පාවිච්චි කරනවා නම් පමණ දැනගෙන, මද පමණට පාවිච්චි කරන්න කියලා!
6. කැක්ටස් පැළයක්
දැන් කාලේ තියෙනවා ඔය ලස්සන, හුරුබුහුටි පළිඟු, මාබල්, ලී පෝච්චි වල දාපු පැළ වර්ග. මේවා ගොඩක් වෙලාවට කැක්ටස් වර්ග. ගොඩක්ම ලොකු වෙන්නෙත් නැති නිසා මේසයක් උඩින් වුනත් ලස්සනට තියලා තියන්න පුළුවන්. අනෙක් අතට මේ විදියේ පැළ වර්ග වල තියෙන විශේෂත්වය තමයි ලේසියෙන් බලාකියාගන්න පුළුවන් වීම. මේ පැල වලට ගොඩක් වෙලාවට වතුර ටිකක් ස්ප්‍රේ කරන්න අවශ්‍ය වෙන්නේ සති දෙකකට සැරයක් විතර තමයි. ඒ ඇරෙන්න හොඳට හිරු එළිය වැටෙන තැනක දවල් දවසේ තියන එක හොඳටම ප්‍රමාණවත්. මේකේ අපූරු ක්ලැසික් ගතියකුත් තියෙනවා. අන්න ඒ නිසාම මේක හොඳ ගිෆ්ට් එකකුත් වෙනවා.
7. චිත්‍රයක්
චිත්‍ර කොහෙන්ද ගන්නේ? චිත්‍ර අඳින්න දක්ෂ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට නම් ලේසියෙන්ම බෝයිෆ්‍රෙන්ඩ් වෙනුවෙන් චිත්‍රයක් ඇඳලා, ඒක ලස්සනට ෆ්‍රේම් කරලා දෙන්න පුළුවන්. ඒක මාරම ගිෆ්ට් එකක් වෙනවා තමයි. හැබැයි චිත්‍ර අඳින්න බැරි ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට චිත්‍රයක් සල්ලි දීලා අරගෙන ගිෆ්ට් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඔය ඕනම ෆැන්සි කඩේක තියෙන කොමන් චිත්‍ර ප්‍රින්ට් එකක් ගත්තට වැඩක් නෑ. එක්කෝ චිත්‍ර ප්‍රදර්ශනේකින් ගන්න පුළුවන්. හැබැයි එව්වා ගණන්. ඕන නම් ග්‍රීන් පාත් එකේ අර චිත්‍ර විකුණන්න තියෙන තැන් වලින් චිත්‍රයක් ගන්නත් පුළුවන්. එහෙම නැතිනම් ඊබේ එකෙන් වගේ ගෙන්නලා ෆ්‍රේම් කරන්නත් පුළුවන්. සමහර වෙලාවට බෝයිෆ්‍රෙන්ඩ් ඔය පරණ තාලේ දේවලට කැමති නම්, පරණ පෝස්ටර් එකක් වුනත් ගෙන්නලා ෆ්‍රේම් කරලා දෙන්න පුළුවන්. ඒකත් බොහොම විශේෂ ගිෆ්ට් එකක් වෙයි!
8. පාකර් පෑනක්
පාකර් පෑනක් වැදගත් වෙන්නේ ලියන කියන වැඩවල යෙදෙන කෙනෙක්ට විතරක් නෙවෙයි. පොදුවේ ඕනම කෙනෙක්ට හොඳ වර්ගයේ පෑනක් තෑගි දෙන එක වටිනවා. හැබැයි මෙතනදී හිතලා බලන්න ඕන කාරණාවක් තමයි, නියම වර්ගයේ පාකර් තීන්ත දාලා ලියන පාකර් පෑනක්ද තෑගි දෙන්නේ, එහෙම නැතිනම් පාකර් බ්‍රෑන්ඩ් එකෙන් එන බෝල්පොයින්ට් පෑනක්ද කියන එක. ඇත්තටම ලියන්නේ කියන්නේ නැති කෙනෙක්ට තියා ලියන කෙනෙක්ට වුනත් තීන්ත දදා පාවිච්චි කරන පෑනක් නඩත්තු කරන එක ලේසි කතන්දරයක් නෙවෙයි දැන් කාලේ. ඒ නිසා එහෙම කෙනෙක්ට කූරු මාරු කරන්න පුළුවන් හොඳ පාකර් පෑනක් දුන්නට කමක් නෑ. හැබැයි ක්ලැසික් තීන්ත පෑනකට ආස වෙන බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ට නම් හොඳ තීන්ත පුරවන පාකර් පෑනකුයි, පාකර් තීන්ත බෝතලේකුයි දුන්නට කමක් නෑ.
9. පර්ෆියුම් එකක්
ඇත්තටම මේ තෑගි ලිස්ට් එකෙන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ට දෙන්න එක්කෝ ලේසිම නැතිනම් අමාරුම තෑග්ග තමයි පර්ෆියුම් එකක්. මේකට හේතුව මේකයි. ඒ තරම් පර්ෆියුම් ගැන අදහසක් නැති බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ට පර්ෆියුම් එකක් අරගෙන දෙන එක ලේසියි. ගියා, පර්ෆියුම් වල සුවඳ බලලා, අල්ලනම එක ගත්තා. සරලයි. හැබැයි පර්ෆියුම් ගැන ගොඩක් හිතන බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ලේසියෙන් විවිධ සුවඳ ඒවා පාවිච්චි කරන්නේ නෑ. එහෙම බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් තමන්ටම ආවේණික සුවඳ තියෙන පර්ෆියුම් වර්ගයක් හෝ දෙකක් තමයි පාවිච්චි කරන්නේ. එහෙම කෙනෙක් ගොඩක් වෙලාවට බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් වලට යන්නේ. ආන්න එතකොට එහෙම කෙනෙක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට පුළුවන් එක්කෝ එයා පාවිච්චි කරන බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් එකෙන් එකක් ගිෆ්ට් කරන්න. එහෙම නැතිනම්, එයාට සෙට් වෙන සුවඳ තියෙන තවත් අලුත් පර්ෆියුම් එකක් හොයාගන්න උදවු කරන්නත් පුළුවන්. ඒකට නම් එයත් එක්ක ගිහින් තමයි පර්ෆියුම් එකක් ගන්න වෙන්නේ. එතකොට සර්ප්‍රයිස් එක නැතිවුනත්, ඒකත් වටින තෑග්ගක්.
මේ ගිෆ්ට් අයිඩියාස් දිහා බැලුවහම පැහැදිලි වෙනවා ඇති, මේ වලට කොලර් සයිස් වත්, කකුලේ සයිස් වත් වෙන කිසිම සයිස් එකක්වත් විශේෂයෙන් දැනගන්න ඕන නැහැයි කියන එක. ආන්න ඒ නිසා මේ විදියේ ගිෆ්ට් එකක් තෝරගන්න ගොඩක් අමාරු වෙන්නෙත් නෑ! අනික් එක මෙතන අපි මිලෙන් ටිකක් ඉහළ, කොලිටියෙනුත් ඉහළ තෑගි ගැන සඳහන් කරලා තියෙන්නේ හේතුවකට. මිලෙන් සහ කොලිටියෙන් වැඩි තෑග්ගක් අපි ආදරේ කරන කෙනෙක්ට ජීවිතේට එක පාරක් හරි දුන්නත් කමක් නෑ. මොකද, ඒක කාලයක් පවතින නිසා. ඒ ඇරෙන්න ඇත්තටම තෑග්ගකට මුලින්ම තියෙන්න ඕන ආදරේ තමයි.
Leave a Reply