වලි ගිය හස්බන්ඩයි වයිපරෙයි ආයෙ යාලු වෙන්න කරන විගඩං 7ක්

Husband n Wife Fights

මෙලොව වෙසෙන අටෝරාසියක් වූ හබියලා සහ වයිපරේලා මෙම ප්‍රකාශයට එකඟ වනු ඇතැයි මා සිතනවා. ඒ තමයි අපි මේ ගෙවන සිස්ටම් එකේ වැඩිපුරම රණ්ඩු වෙන්නෙ ඔ‍ෆිස් එකේ නෙමෙයි ගෙදර තමුන්ගෙ කුටුම්බය ඇතුලෙ බව. ඉතිං ඔය ගෑනිගෙයි මිනිහාගෙයි වලි බත ඉදෙනකං විතරයි වගේ කතා තියෙනවනෙ. අන්න එහෙම වෙන්නෙ දෙන්නගෙන් එක්කෙනෙක් ගේම් එක ගිවප් කරලා පොඩි ජෝගියක් දැම්මොත්. අන්න ඒ විදියට හබියලයි වයිපරේලයි අතරෙ ඇතිවෙන පෝස්ට් වලි ජෝගි ගැනයි මේ ලිපිය.

 

1. කොසු පෙරළිලි

Husband n Wife Fights

Source – favkitchens.in / imdb.org

මේක ඉතිං පරණම විදිය. වයිෆ් අතුගාන ගමන් හස්බන්ඩ් ලඟට ඇවිත් කොස්ස පෙරළනව ඇඟට. හස්බන්ඩ් වයිෆ් ලඟට ඇවිත් කොස්ස ඇඟට විසි කරල යනව. ඊලඟට දෙන්න මූණෙ හිනාවක් තියාගෙන රණ්ඩු වෙනවා. ඒක තමයි ඒ වලි සීසන් එකේ අන්තිම රණ්ඩුව. ඊටපස්සෙ ඉතිං වලියක් ගියාද කියල මතකයක්වත් නෑ. මොකද ඒ දෙන්න අන්තිමට රණ්ඩු වුණේ කොස්ස පෙරලපු එකට කියලයි දෙන්නටම හිතෙන්නෙ.

 

2. සටන් විරාමෙත් රණ්ඩු

Husband n Wife Fights

Source – up-up.tv

ඔන්න ඉතිං රණ්ඩු දරුණුවටම ගියාම දෙන්නට දෙන්න කතා නැති සංක්‍රාන්ති කාලයක් එනවනෙ. මේ සංක්‍රාන්ති කාල හරිම මූසලයි. ඒ මූසල සංක්‍රාන්ති කාල මගහරවන්නට කරන්න පුළුවන් හොඳම දේ තමයි ආයෙ රණ්ඩු වෙන එක. ඒ විදියට සටන් විරාම සමයේ පටන්ගන්න රණ්ඩු කලින් ඒවා තරං දරුණු නෑ. මොකක් හෝ අතිශය සුළු කාරණයකට තමයි ඒ දේවල් සිද්ධ වෙන්නෙ. අන්න ඒ නිසා සටන් විරාමයෙ කරන රණඩුවලත් වටිනාකමක් තියෙනවා.

 

3. අසනීපයි

Husband n Wife Fights

Source – bbc.com

මේ ක්‍රමය බොහෝදුරට අනුකම්පාව දිනාගන්නා ක්‍රමයක්. ඒ තමයි අසනීප පෙන්වීම. පැය ගණන් ටොයිලට් එකේ ඉඳල බොරුවට අසමෝදගම් බොන්නෙ ඒ නිසයි. බොරුවට ලේංසු තද කරගෙන හචෝස් හචෝස් ගගා යන්නෙ ඒකයි. යාළුවොන්ට කෝල් දීලා හදිස්සියේ ඇතිවුණු හන්දිපත් රුදා සහ වාතවේදනා ගැන කියන්නෙ ඒකයි. අන්තිමට ඉතිං අනිත් කෙනාට අනුකම්පා හිතිලා ලෙඩේට බෙහෙතක් කරන්න කතා කරාම වලි අමතක කරල ඩෝං ගාලා යාලු වෙන්නෙත් ඒකයි.

 

4. තර්ජන

Husband n Wife Fights

Source – frombearcreek.com

මේ ක්‍රමවේදය අමුතුම ආකාරයක මිතුරු වීමේ ක්‍රමවේදයක්. ඒ තමයි එකිනෙකා තමුන් මෙතෙක් නොකරපු එහෙත් තමුන්ට කරන්නට හැකි දේවල් ගැන අනෙකා දැණුවත් කර තැබීම. මං කියනව ඔයාගෙ මහලොකු යාළුවොන්ට එයාලා ඉස්සරහ ආදරෙන් හිටියට ඔයා මට මෙහෙමයි සලකන්නෙ කියල. වගේ හෝ ඔයාගෙ අම්මල හිතං ඉන්නෙ ඔයා තරං මහලොකු පුතෙක් නෑ කියලනෙ. මං කියන්නංකො ඔයා මට කතා කරපු විදිය ගැන. දැන් ඉතිං ඔහොම ටෝක් එකක් දුන්නම අනෙක් පාර්ශවය ඒ තර්ජනයට බිය වෙනවා. ඒ කියන්නෙ තමුන් මේ ගැන තුන්වෙනි පාර්ශවයක් ඉස්සරහ කතා කරන්න ඕන නේද කියන දේ මතක් වෙද්දි වලි මූඩ් අමතක වෙලා යනවා.

 

5. නෝක්කාඩු

Husband n Wife Fights

Source – kateheddleston.com

අපි හිතං ඉන්නෙ මේ නෝක්කාඩු කියවිල්ල සිද්ධ වෙන්නෙ ගෑණු පාර්ශවයෙන් විතරයි කියල වුනත් ඒක එහෙම නෑ. හස්බන්ඩ්ලත් හරියට නොක්කාඩු කියනව. ඔයාගෙ මහ ලොකු රණ්ඩුව නිසා ඊයෙ කඩෙන් කන්න වුණේ. කාලෙකින් කාපු අජූතම කෑම එක. තරහ වුනා කියල කෑමවලින් පලිගන්නවද? වගේ නොක්කාඩුමය කතා හස්බන්ඩ්ලා කියනවා. හැබැයි ඊට හපං වයිෆ්ලා. මං ඊයෙ රෑ දිනිතිලා එක්ක යන්න හිටිය පාටි එකත් කැන්සල් කළා හිතට හරි නැති හින්දා. දැන් හැමෝම අහනව ඇයි කියල. මට බැනල බැනල, මගේ ඔලුව සවුත්තු කරානං දැන් ඒවට දෙන්න උත්තරේකුත් ලෑස්ති කරල දෙනව මිනිහො.

 

6. නැතුව බැරි නිසා

Husband n Wife Fights

Source – huffingtonpost.com

ඔන්න මේ අමුවලිය මැද්දෙ නරක වචන වගේම අතිශය නරක වචනත් කියාගෙන ඉවර වෙලා එකෙක් පනිනව අනිත් එකාගෙ ඇඟට. නෑ නෑ ගහන්න නෙමෙයි. ඒ කරන්නෙ වෙනිං වැඩක්. නෑ නෑ නරක දේකුත් නෙමෙයි. මට ඔයා නැතුව බෑනෙ ඕයි… යාලු වෙනවකො කියල ඇඟට පැනල කිවුවම කොයි කසාද මිනිහටද ගෑනිටද ආදරේ නොවී ඉන්න පුළුවන් වෙන්නෙ.

 

7. තෑගි

Husband n Wife Fights

Source – dconheels.com

හැමෝටම තියෙනවනෙ බලාපොරොත්තු සහ ආසාවල්. ඕවා හොඳටම දන්නෙ කසාද බැඳලා ඉන්න අනිකා තමයි. ඉතිං මේ අනිකා කැමති දෙයක් අනපේක්ෂිත විදියට තෑග්ගක් දෙන එකත් මේ යාලු වීමෙ විගඩමේ එක් ක්‍රමයක්. කොහොමෙන් කොහොමහරි වැඩේ සාර්ථක බවත් කියන්නම ඕන.

 
Cover Image Source – dconheels.com/ 123rf.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *