තමන්ගේ මංගල ටෙස්ට් ඉනිමේදීම ශතකයක් වාර්තා කරනවා කියන්නේ ලේසි පාසු දක්ෂතාවයක් නෙමෙයි. පළමු ටෙස්ට් ඉනිමෙන්ම ශතකයක් කරා ගිය ක්‍රීඩකයො ලැයිස්තුව බැලුවාම ඒ ලැයිස්තුවට ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයො රැසක්ම ඇතුළත් වෙලා ඉන්නවා. හැබැයි පළමු ඉනිමෙන්ම ශතකයක් වාර්තා කරපු සමහරු ඉන්නවා ශ්‍රේෂ්ඨ කෙසේ වෙතත් ඉන් පස්සේ ජාත්‍යන්තර ටෙස්ට් කරළියේ නම කියවෙන්න තරම් වැඩක් කරන්නවත් සමත් නොවච්ච. අපේ මේ ලැයිස්තුව සමන්විත වෙන්නේ එහෙම ක්‍රීඩකයන් කීප දෙනෙක්ගෙනුයි. ඒ වගේම අපි විශේෂයෙන් කියන්න කැමතියි මේ ලැයිස්තුවට අපි එකතු කරගන්නේ පසුගිය දශක දෙක තුන ඇතුළත ටෙස්ට් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් පමණක් බව.
1. සුරේෂ් රයිනා
ඉන්දියානු කණ්ඩායමේ ජනප්‍රිය නාමයක් වුණු සුරේෂ් රයිනා විස්සයි විස්ස සහ එක්දින තරඟවල කැපී පෙනෙන දක්ෂකම් දක්වන්න සමත් වුණු ක්‍රීඩකයෙක්. 2010 අවුරුද්දේදී ශ්‍රී ලංකාවට එරෙහිව තමයි රයිනා ටෙස්ට් වරම් හිමිකර ගන්නේ. ඒ තරඟයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 642ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් හඹායන ඉන්දීය කණ්ඩායම ලකුණු 241කට කඩුලු 4ක් දැවී ගොස් සිටින අවස්ථාවකදීයි රයිනා පිටියට පිවිසෙන්නේ. ඒ වෙනකොට පිටියේ නොදැවී ක්‍රීඩා කරමින් හිටපු සචින් ටෙන්ඩුල්කාර් එක්ක එකතු වෙන රයිනා ලකුණු 256ක සම්බන්ධතාවයක් සචින් එක්ක ඊළඟ කඩුල්ලට පවත්වන්න සමත් වෙනවා. එහිදී තම මංගල ඉනිමේදීම ලකුණු 120ක් රැස් කරගන්න රයිනා සමත් වෙනවා. ඉන් පස්සේ පැවැත්වුණු ටෙස්ට් තරඟයේදීත් අර්ධ ශතකයක් ලබා ගනිමින් රයිනා සාර්ථක පිතිකරණයක නිරත වෙනවා. ඒත් ඔහුගේ අවාසනාවකට ඉන් පස්සේ රයිනාට ටෙස්ට් පිතිකරුවෙක් හැටියට සාර්ථක වෙන්න ලැබෙන්නේ නැහැ. 2015 දී තමන්ගේ අන්තිම ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන අවස්ථාව වෙද්දී රයිනාගේ ලකුණු සාමාන්‍යය සටහන් වෙන්නේ 26ක් හැටියටයි. තමන්ගේ මංගල ටෙස්ට් තරඟයෙන් පස්සේ කිසිම ටෙස්ට් ශතකයක් වාර්තා කරන්නටත් ඔහුට බැරි වෙනවා.
2. මැතිව් සින්ක්ලෙයාර්
නවසීලන්ත කණ්ඩායමේ අනාගත තරුවක් වේවියැයි ගොඩක් දෙනා බලාපොරොත්තු තියන් හිටපු ක්‍රීඩකයෙක් වුණු මැතිව් සින්ක්ලෙයාර් තමන්ගේ පළමු ටෙස්ට් ඉනිමෙන්ම ක්‍රිකට් ලෝකයේ අවධානයට ලක් වෙන්න සමත් වෙනවා. ඒ 1999දී බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරපු තමන්ගේ මංගල ටෙස්ට් තරඟයේ මංගල ඉනිමේදීම ද්විත්ව ශතකයක්, එනම් ලකුණු 214ක් රැස් කර ගැනීමෙන්. ඉන් පස්සේත් වසරක් දෙකක් යනකන් එක දිගට අති සාර්ථක නොවුනත් කැපී පෙනෙන ඉනිම් ක්‍රීඩා කරමින් කණ්ඩායමේ රැඳී ඉන්න සින්ක්ලෙයාර් සමත් වෙනවා. ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 150කුත්, පාකිස්ථානය සමග ටෙස්ට් තරඟයක ඉනිම දෙකේදීම නොදැවී ලකුණු 204ක් සහ 50ක් ලබාගන්නත් මැතිව් සින්ක්ලෙයාර්ට හැකි වෙනවා. ඒත් එයින් පස්සේ දිගින් දිගටම සින්ක්ලෙයාර් අසාර්ථක වෙනවා. ටෙස්ට් තරඟ 33කට සීමා වෙන ඔහුගේ ටෙස්ට් ක්‍රීඩා දිවියේදී ලකුණු 32ක ලකුණු සාමාන්‍යයක් විතරයි සින්ක්ලෙයාර්ගේ නම ඉස්සරහින් සටහන් වෙන්නේ.
3. හේමිෂ් රදර්ෆර්ඩ්
මේ තවත් නවසීලන්ත ක්‍රීඩකයෙක්. නවසීලන්ත පළමු පෙළ ක්‍රිකට් තරඟාවලිවල දක්වපු ඉහළ දස්කම් හේතුවෙන් 2013 වසරේදී එංගලන්තයට එරෙහිව රදර්ෆර්ඩ්ට ටෙස්ට් වරම් හිමි වෙනවා. ඒ තරඟයේදි නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා හැටියට පිටියට පිවිසෙන රදර්ෆර්ඩ් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 171ක් රැස් කරන්නට සමත් වෙනවා. බොහෝ දෙනෙක් හිතනවා මේ ඉනිම රදර්ෆර්ඩ්ට ටෙස්ට් දිවියේ දිගු ගමනක් යන්නට පාර හදාවි කියලා. ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ. තමන්ගේ කෙටි ටෙස්ට් ජීවිතයේදී රදර්ෆර්ඩ් රැස් කරගන්නා එකම ශතකය වෙන්නේ ඒ ලකුණු 171 විතරයි. ඉන් පස්සේ ක්‍රීඩා කරපු ටෙස්ට් තරඟ 15දී එක ටෙස්ට් අර්ධ ශතකයක් විතරයි හේමිෂ් රදර්ෆර්ඩ් ලබා ගන්න සමත් වෙන්නේ. ලකුණු 27කට ආසන්න ටෙස්ට් ලකුණු සාමාන්‍යයක් විතරයි රදර්ෆර්ඩ්ට පවත්වාගන්න හැකි වෙන්නේ…
4. යසීර් හමීඩ්
හිටපු පාකිස්ථාන පිතිකරුවෙක් වුණු යසීර් හමීඩ් කියන්නේ තමන්ගේ දක්ෂතාවයෙන් නිසි ප්‍රයෝජනයක් ලබා ගත්තේ නැති පිතිකරුවෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. 2003 වසරේදී බංග්ලාදේශයට එරෙහිව තමන්ගේ පළමු ටෙස්ට් තරඟය සඳහා සුදුසුකම් ලබන යසීර්, තමන්ගේ මංගල ටෙස්ට් ඉනිමේදිම ලකුණු 170ක් ලබා ගන්න සමත් වෙනවා. එයිනුත් නොනැවතී පාකිස්ථාන දෙවැනි ඉනිමේදීත් ඔහු ලකුණු 105ක් ලබා ගනිමින් තරඟයේ වීරයා බවට පත් වෙන්න සමත් වෙනවා. මේ දක්ෂකම නිසා පාකිස්ථාන කණ්ඩායමේ ස්ථානයක් තහවුරු කරගන්න යසීර් සමත් වෙනවා. අවුරුද්දක් විතර කාලයක් විටින් විට අලංකාර ඉනිම් ක්‍රීඩා කරමින් තමන්ගේ තැන රැකගෙන ඉන්න යසීර්ට හැකියාව ලැබෙනවා. නමුත් තමන් සතු දක්ෂතාවයේ තරමටම ප්‍රතිඵල පිත්තෙන් පෙන්නන්න යසීර් අසමත් වෙනවා. ඉතා හොඳ ආරම්භයන් ලබාගත්තත් දිගු ඉනිම් කරා යන්න ඔහු අසමත් වෙනවා. එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් හැටියට යම්කිසි සාර්ථකත්වයක් ලබා ගත්තත්, ටෙස්ට් ක්‍රීඩකයෙක් හැටියට තමන්ගේ නම රන්දන්න යසීර් අසමත් වෙනවා. තරඟ 25කට සීමා වුණු තමන්ගේ ටෙස්ට් දිවියේදී පළමු ටෙස්ට් තරඟයේ රැස්කළ ශතක දෙක හැරෙන්නට යළිත් ශතකයක් රැස් කරන්න යසීර්ට හැකියාව ලැබෙන්නේ නැහැ.
5. ස්ටියාන් ෆොන් සිල්
ස්ටියාන් ෆොන් සිල් කියන්නේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක්. ඔහු දකුණු අප්‍රිකානු පළමු පෙළ තරඟවලදී ඉතාම ඉහළ දස්කම් පිත්තෙන් සහ පන්දුවෙන් යන අංශ දෙකෙන්ම දැක්වූ ක්‍රීඩකයෙක්. මේ නිසාම 2014 වසරේදී දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ දොර ෆොන් සිල් වෙනුවෙන් විවෘත වෙනවා. මැද පෙළ පිතිකරුවෙක් හැටියට ඒ තරඟයට ක්‍රීඩා කරන සිල්, ඒ තරඟයේ පළමු ඉනිමේදී ලකුණු 101ක් නොදැවී ලබා ගන්නට සමත් වෙනවා. නමුත් ඒ තරඟයෙන් පස්සේ කිසිම තරඟයකදී පන්දුවෙන් හෝ පිත්තෙන් කැපී පෙනෙන දස්කමක් දක්වන්න ෆොන් සිල් හට හැකියාව ලැබෙන්නේ නැහැ. ටෙස්ට් තරඟ 12කදී ලකුණු 26ක පිතිකරණ සාමාන්‍යයක් සහ පන්දු යැවීමෙන් කඩුළු 6ක් පමණයි ස්ටියාන් ෆොන් සිල්ට ලබාගන්න හැකි වෙන්නේ.
6. කීටන් ජෙනින්ග්ස්
දකුණු අප්‍රිකානු සම්භවයක් සහිත එංගලන්ත ක්‍රීඩකයෙක් වෙන කීටන් ජෙනින්ග්ස් ගැන අවසාන නිගමනයකට එන්න තව කල් තිබුණත්, මෙතෙක් ඔහුගේ ක්‍රීඩා ජීවිතය ගැන සලකා බලද්දී මේ ලැයිස්තුවට ඔහුව ඇතුළත් කිරීමේ වරදක් නැහැයි කියලා අපි හිතනවා. 2016 වසරේදී ඉන්දියාවට එරෙහිව මුම්බායිහී ටෙස්ට් තරඟයකින් තමන්ගේ ටෙස්ට් ගමන අරඹන ජෙනින්ග්ස් එහිදී පළමු ඉනිමෙන්ම ශතකයක් වාර්තා කරනවා. ලකුණු 112ක් හැටියටයි ඔහුගේ ඉනිම සටහන් වෙන්නේ. නමුත් ඒ තරඟයේ දෙවැනි ඉනිමේ තමන් මුහුණ දෙන පළමු පන්දුවෙන්ම ජෙනින්ග්ස් ලකුණු නොලබාම දැවී යනවා. තමන්ගේ තුන් වැනි ටෙස්ට් ඉනිමේදීත් ඔහු ලබා ගන්නේ එක් ලකුණක් පමණයි. ඉන් පසුව ක්‍රීඩා කළ ටෙස්ට් තරඟවලදී විටින් විට ජෙනින්ග්ස් හොඳ ආරම්භයන් ලබා ගත්තත් ඔහුට සාර්ථක ඉනිම් ක්‍රීඩා කරන්න ලැබෙන්නේ කිහිප අවස්ථාවකදී විතරයි. මේ ලිපිය ලියවෙන මොහොත වෙන විට ජෙනින්ග්ස් ටෙස්ට් තරඟ 17කට ක්‍රීඩා කොට ලකුණු 25ක සාමාන්‍යයක් පමණයි ලබා ගන්න සමත් වෙලා තියෙන්නේ.
7. ඇල්විරෝ පීටර්සන්
හිටපු දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවෙක් වුණු ඇල්වීරෝ පීටර්සන් අසාර්ථක ක්‍රීඩකයෙක්ය කියලා අපිට නම් කරන්න අමාරුයි. හැබැයි සාර්ථකත්වය අතිනුත් ඉහළ ක්‍රීඩකයෙක් හැටියට පීටර්සන්ගේ නම අපිට සටහන් කරන්න අමාරුයි. දකුණු අප්‍රිකානු පළමු පෙළ තරඟාවලි වලදී දිගින් දිගටම දක්වන ලද දස්කම් නිසා තරමක් පමා වී වුණත් ටෙස්ට් වරම් ලබාගන්න පීටර්සන් සමත් වෙනවා. ඉන්දියාවට එරෙහිව කොල්කටාවේදී පවත්වපු ඒ මුල්ම ටෙස්ට් තරඟයේ තමන්ගේ පළමු ඉනිමේදීම ශතකයක් වාර්තා කරන්න පීටර්සන්ට හැකියාව ලැබෙනවා. ඒ සාර්ථක ආරම්භයෙන් පස්සේ විටින් විට කැපී පෙනෙන ඉනිම් ක්‍රීඩා කරමින් කණ්ඩායමේ තමන්ගේ ස්ථානය ආරක්ෂා කරගෙන ක්‍රීඩා කරන්නට පීටර්සන් සමත් වුණත්, ඔහුව දකුණු අප්‍රිකානු දක්ෂම පිතිකරුවන්ගේ මට්ටමට ඔසවා තබන තරම් විශිෂ්ට ඉනිම් ක්‍රීඩා කරන්න පීටර්සන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. වසර 5ක් පුරාවට දිගහැරුණු ටෙස්ට් දිවියට 2015 දී සමු දෙද්දී පීටර්සන්ගේ ටෙස්ට් ලකුණු සාමාන්‍යය ලෙසට සටහන් වෙන්නේ ලකුණු 35කට ආසන්න අගයක්.
Leave a Reply