වැඩකළ යුතු සීමාවක් තිබේ. ඊට වඩා වැඩකිරීම මානසික මෙන්ම ශාරීරික ගැටලු ඇතිකළ හැකිය. හැරත් කාර්යාලය හෝ සේවා ස්ථානය යනු අපගේ ජීවිතයම නොවේ. එහෙත් ඇතැම් අය අලුත් වැඩක් සිය ප්‍රධානියකු පවරන විට, හැම වෙලාවකම එයින් නිදහස් වන්නට විවිධ හේතු ඉදිරිපත් කරති. ඇතැම් සේවකයින්ට වැඩක් පැවරීමම ප්‍රධානීන්ට වෙනමම මිශන් එකකි. එවැනි වැඩ මගහැරීමේ ශූරයින් පාවිච්චි කරන ක්‍රම මොනවාද? අපි ඒ ගැන ටිකක් දැනගමු.
1. ඒ වැඩේට සුදුස්සා තේරීමට බොස්ට සහාය වීම
“බොස් දන්නවානේ අඛිල (ඔෆිස් එකේ මගේ තනතුරේම වෙනත් දක්ෂයෙක්). අඛිල නම් ඔය වගේ වැඩ වලට හරිම දක්ෂයා. ඒ වගේම අඛිල මේ දවස්වල ලොකු වැඩක් නෑ වගේ අප්සට් එකෙන් වගෙත් උන්නා. බොස් පොඩ්ඩක් එයාට කතා කරලා බැලුවනම් හරි වගේ. මට වඩා අඛිලට මේක ලේසියෙන් කරන්න පුලුවන් වගේ…”
ඒ විදියට තමුන්ගේ යහලු සේවකයකු යෝජනා කොට, ඔහුගේ ගුණ වයමින්, අලුතින් එන වැඩක් අපි යාලුවාට සෙට් කරනවා. යාලුවාත් බොස් ගාවට ගිහින් කිව්වොත් ඒකට සුදුසු ඔහු නෙමෙයි තමුන් කියලා, එතනදි නම් පොඩි අවුලක් වෙනවා. ඒත් ගාණට බොස්ට බෝලේ බස්සලා වැඩේ ඊළඟ කෙනාට බාරදීම හොඳ වැඩ මග අරින්නෙකුගේ සුලබ ගති ගුණයක්.
2. තමුන්ට දැනට ඇති වැඩ ටික දිග ලැයිස්තුවක් කිරීම
වැඩ කිරීමට වගේම වැඩ වගා කරගැනීමටත් කාර්යාල වල වැඩ කරන සමහර අය බොහෝම දක්ෂයි. පොඩි එක්සෙල් ශීට් එකක් අප්ඩේට් කිරීම පවා ඇතැම් විට මහා භාරදූර රාජකාරි රාජයෙක් විදියට සලකන කාර්යාල යාලුවෝ ඉන්පසු ඒ වැඩේදි කරන හැමදේම එකින් එක විස්තර කරනවා. “ඔන්න මම ඩේටා ටික හොයාගන්න ඕනි. ඒ හොයාගත්ත ඩේට හරිද බලන්න ඕනි. ඉන් පස්සේ ඒවා හරියන විදියට එක්සෙල් එකට දාන්න ඕනි. එක්සෙල් එකට දාලත් ආයේ දාපුවා හරිද බලන්න ඕනි. ඉන් පස්සේ ඒවා බොස්ලට මේල් කරන්න ඕනි. ඔයාල නම් හිතන්නේ එක්සෙල් ෂීට් එකක් අප්ඩේට් කරන එක ලේසියි කියලා. එත් මේකත් ලොකු වගකීමක් නේ…”
ඒ ආකාරයට අපි දැනට කරන වැඩේ දිගින් දිගට විස්තර කරලා, ඒකට තාර බර එකතු කරලාත් අලුත් වැඩ වලින් ගැලවෙන්න වැඩ මගහරින ජනතාව දක්ෂයි.
3. කවදාවත් නොකෙරෙන ප්ලෑනක් ඉදිරිපත් කිරීම
ඔෆිස් එකේ ඉන්න ටිකක් දක්ෂයො පවා පාවිච්චි කරන සුලබ ක්‍රමයක් තමයි අලුත් ප්ලෑනක් ඉදිරිපත් කිරීම. බොස් වැඩක් දෙනවා. ඉන් පස්සේ එවෙලේම හෝ පසුව ඒ ක්‍රමය නැතුව වෙනත් දීර්ඝ පරංගියා කෝට්ටේ ක්‍රමයක් බොස්ට නැවතත් විස්තර කරනවා. ඉන්පස්සේ “සර් මම මේක තව ටිකක් ප්ලෑන හදාගෙන සර්ට පස්සේ වෙලාවක සම්පූර්ණයෙන් කියන්නම්. පොඩ්ඩක් දිගයි වගේ පෙනුනත් මේ මගේ ක්‍රමයට මේක කලින්ට වඩා ලේසියෙන් කරන්න පුලුවන්.” කියා බොස්ට කියූවත්, ඉන් පසු නැවතත් බොස්ම කතා කරන තෙක් ඔහුගේ අලුත් ප්ලෑන නම් එලියට එන්නේ නැහැ.
4. ඒ ගැන කිසිත් නොදන්නා බව ඇඟවීම
අලුතින් වැඩක් එනවිට ඒ ගැන නොදන්නා දේත් දන්නවා යැයි කියා එය බදාගන්නා පළමු පෙළ සාමාජිකයින් සිටිනවා. එහෙත් සුපිරි අලසයින් ඊට හාත්පසින්ම විරුද්ධව වැඩේ ගැන කිසීම කාරණාවක් නොදන්නා බවක් අඟවනවා. උදාහරණයක් ලෙස රියදුරෙකුට ඔෆිස් එකේ වැදගත් ඩොකියුමන්ට් එකක් ඉක්මනින්ම කොළඹ කොටුවේ යෝක් ස්ට්‍රීට් එකේ එඩ්‍රස් එකකට ගිහින් දෙන්න කිව්වොත්, කම්මැලි රියදුරු මහතුන් කොළඹ කොටුව පළාතම මෙමරියෙන් ඉරේස් වී ඇති ආකාරයට රඟපානවා. එවිට ඒ තැන ගැන කිසිම අදහසක් නැති නිසා බොස් ඒ වැඩේ වෙන අයෙකුට බාර දෙනවා. ලොකු සයිස් එකේ ව්‍යාපෘති ආදිය වුනත්, රාජ්‍ය අංශයේදි නම් ඒ ව්‍යාපෘති වලින් ලොකු වාසියක් නැතිනම් ඒ වැඩේ ගැන කිසිදු දෙයක් නොදන්නා ආකාරයට රඟපාන එක ලොකු තැන්වල සිට පොඩි තැන්වලටම දකින්න තිබෙන සුලබ පුරුද්දක්.
5. පොලිටික්ස් පාවිච්චි කිරීම
ආයතනයේ ඉහළම තනතුරු වලට පුද්ගලික සහායන් දෙමින් ඉහළ තනතුරු සමග සමීපව කටයුතු කරන අය බොහෝවිට මුට්ටියට දක්ෂ වුවත් වැඩට අදක්ෂයෝය. ඔවුන්ට පවරන වැඩ රාජකාරියක් වෙත් නම්, ඉන් පසු වහාම… “මට ලොකු සර්ගේ, ජී එම් ගේ, සී ඊ ඕ ගේ, යූනියන් එකේ, අසුවල් තුමාගේ වැඩ රාජකාරි ගොඩක් තියෙනවා. ඒ නිසා මට ඕක වෙලාවට කරගන්න බැරිවෙයි…” ආදි ලෙසින් ලොකු තැන්වලින් ලැබෙන වැඩ රාජකාරි පෙන්වා වැඩ මග හැරීම සිදුවේ. බොහෝවිට ඉහළම නිලතල රස කෑමකට ඇදෙන මැස්සන් මෙන් නිතර ළඟ කැරකෙන අයගේ රාජකාරි ගැන දන්නේවත් නැත. වැඩක් යොමු කළ විට ඉහළම ලොක්කන්ගේ වැඩ පවරා ඇතිය කීවොත් එසේ වැඩ පවරා ඇතිදැයි ඉහළම ලොක්කාට කතා කර දැනගන්නා බොස්ලා සිටින්නේ කලාතුරකිනි. එසේ හෙයින් ලොකු තැනට අල්ලන මුට්ටියේ අනුහසින් වැඩ වලින් ගැලවී සිටින්නෝ රාජ්‍ය අංශයේ මෙන්ම පැරණි මාදිලියේ කන්තෝරු වල බොහෝ වෙති.
6. ශෙහ්! මේකේ ඩෙඩ්ලයින් තියෙන දවසට අපේ කිරිනැන්දාගේ දුවගේ කොටහලු මගුල නේ…
කාලසටහනක් තබාගෙන වැඩ කිරීම හොඳ සේවකයකුගේ පුරුද්දකි. එහෙත් ලොකු වැඩ වලින් හිමීට මාරු වෙන අය මේ කාලසටහනද සිය ගැලවිජ්ජාවට භාවිතා කරති. “ෂහ් මේ වීකෙන්ඩ් එකෙත් මං බිසී. වැඩ ගොඩක් තියෙනවා. ලබන සතියෙ තව රිපෝට් එකක් හදන්න තියෙනවා… ඒකට තොරතුරු හොයන්නේ මේ සතියේ. මට පොඩි පර්සනල් ඉවෙන්ට් එකක් තියෙනවා. දන්නැද්ද ඉතිං හරි අමාරු වෙයි වයිෆ්ගෙන් බේරෙන්න. මේ ඔෆීෂියල් විසිට් එක ටිකක් විතර අමාරු වෙයි ඔය දවස්වලට නම්…” ආදී ලෙසින් කාලසටහනේ ඇති වැඩ අදිමින්, තවත් වගා කරගනිමින් කාලසටහන ආයුධයක් ලෙස පාවිච්චි කිරීම වැඩ කල්දමන අයගේ පුරුද්දකි.
7. සෑම සියලුදේටම දොස් පැවරීම
“කොහොමද අපි වැඩ කරන්නේ අපේ ඕගනයිසේශන් ස්ට්‍රක්චර් එක පරණයි, කම්පියුටර් සිස්ටම් එක අපෝ ඒ ගැන කතා කරල වැඩක් නෑ, අපිට ඉන්න ස්ටාෆ් එක… දෙයියනේ මේ වගේ අවුට්ඩේටඩ් ස්ටාෆ් එකක් වෙන කිසිම තැනක නැතුව ඇති… ප්‍රතිපාදන දෙන්නේ හැමදාම දෙන තැන් වලට විතරයි නේ… අපිට කිසිම දෙයක් නෑ වැඩක් කරන්න…”
ආදී ලෙසින් සෑම සියලුදේටම කාර්යාලයේදී දොස් පවරන අයට සාමාන්‍යයෙන් කිසිම වැඩක් පැවරීම අපහසුය. ඔවුහු වැරදි හොයන්නටත්, වැරදි උඩම ජීවත් වීමටත් උපන් හපන්නු වෙති. තිබෙන සම්පත් ප්‍රමාණය කළමනාකරණය කරගෙන, දෙන රාජකාරියක් නොපිරිහෙලා ඉටුකරනවාට වඩා ඔවුනගේ අභිප්‍රාය වන්නේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තව එකක් සොයන්නා සේ වැඩ නොකර සිටීමට හේතු සෙවීමය. ලංකාවේ ප්‍රබල වෘත්තිය සමිති තිබෙන ආයතන රැසක් ඉදිරියට නොයන්නට එක හේතුවක් නම් නිතරම සෘණාත්මකව සිතන සේවකයින් පිරිසක් වෘත්තිය සමිති විසින් ඒ ආයතන වෙත දායාද කර දීමයි.
අලුතින් එන භාරදූර රාජකාරියක් යනු කාර්යාල ජීවිතයට ලැබෙන අලුත්ම අත්දැකීමකි. එසේ භාරදූර වැඩක් කිරීමට හැකියාව ඇතිනම්, එය ඉටුකරදීම තුළින් තමුන්ගේ හැකියාව ආයතනය වෙත පෙන්වීමට නොමිලේම අවස්ථාවක් ලැබේ. එහෙත් ආයතන පාර්ශවයෙන් වැඩ කරන අයටම නිතරම වැඩම දෙමින් ඔවුන් තද පීඩනයකට ලක් කොට වැඩ ගැනීමද ලංකාවේ පුද්ගලික අංශයේ ස්ථාන රැසකම දකින්නට තිබේ. තමන්ගේ හැකියාවට, ධාරිතාවයට අනුව වැඩ රාජකාරි බාරගෙන, ඒවා ඉටුකිරීම තුළින් ආයතනයටත් සේවකයෙක් ලෙස තමුන්ටත් සතුටු විය හැකි ආයතන වටපිටාවක් නිර්මාණය කරගැනීමට හැකියාව ලැබේ.
Cover Image Source – medium.com
Leave a Reply