බුදුන් වැඩසිටි ඒ දඹදිව පින්බිම වන්දනාමාන කරගන්නට යෑම අපේ වැඩිහිටි බෞද්ධ බැතිමතුන්ගේ එක් බලාපොරොත්තුවක්. තමුන්ගේ ජීවිතයේ වැඩිම කාලයක් සිය දරු මුණුබුරන්, ගෙවල් දොරවල්, දේපළ, යාන වාහන වෙනුවෙන් කැපකල අම්මලා තාත්තලා බොහෝ දෙනෙක්ට ජීවිතේ සැඳෑ සමය එනතෙක් මේ දූපතෙන් පිට වෙනත් රටක සවාරියකට ඉඩ හසර විවර වෙන්නේ නැහැ. මේ ලංකාවෙන් එලියේ තිබෙන ඉන්දියාවේ ගිහින්, කණ්ඩායමක් එක්කලා ඇවිදලා කරලා ඒ සතුට විඳදරාගන්නත් බුදුන් වහන්සේ උපන් පින්බිමේ සවාරියක් ගිහින් වන්දනාමාන කටයුතු කරන්නත් අපේ වැඩිහිටි අය දඹදිව වන්දනාවේ යනවා. අපි ඒ යන්න තැනක් හොයද්දි මොනවද සොයාබලන්න ඕනා කරුණු කියලා මදක් බලමු.
1. විශ්වාසනීයත්වය සහ පෙර පළපුරුද්ද

Source – blogger.com
සංචාරක ආයතන නම් පුවත්පතක් ගත් විට ගණනාවක් තිබෙනවා. ඒ අතර අපි දුරකථන ඇමතුමක් දී බැලුවොත් ඔවුනගේ විස්තර කතාද නොඅඩුව තිබෙනවා. ඒත් එක්කම මේ දඹදිව ගමනට එකතුවෙන අයගේ පළපුරුද්ද ගැන සොයාබැලීම වැදගත්. එසේම මේ දඹදිව වන්දනා චාරිකා වලදී ඇත්තටම දඹදිව නඩය ඉන්දියාවේදී හසුරුවන්නේ කවුද කියන එක සොයාබැලීමත් කරන්නට ඕනා. බොහෝ වැඩිමහලු අය වටා යන නඩ ඒ වැඩිමහල් අය ලෙඩ වී හෝ වෙනත් උවදුරක් හේතුවෙන් කරදරයකට මුහුණ පෑ විට නොයෙකුත් දුෂ්කරතා වලට ලක්වෙනවා. පසුගිය කාලේ එක් අවස්ථාවක ඒ ගිය විශාල නඩයක සිටි එකම භාරකරු යම් රෝගී තත්ත්වයකට මුහුණ පෑවා. ඉන් පසු ඒ නඩයේ අයට විවිධ දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවී තිබුණා.
2. බලන ස්ථාන

Source – dambadivavandana.com
මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වන ආකාරයට බුදුන් වහන්සේ ඉපදුන, බුදුවුන, ප්‍රථම ධර්ම දේශනය පැවත්වූ තැන සහ පිරිනිවී සැනහුන තැන බෞද්ධ බැතිමතුන්ට වන්දනාමාන කිරීමට යුතු ස්ථාන ලෙස බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනාකොට තිබෙනවා. ඒ ස්ථාන 4 ඇතුළුව ස්ථාන කීයක් බලන්නට යනවාද? කොපමණ කාලයක් ඒ ස්ථානවල වැඳපුදාගැනීම් කටයුතු කරනවාද යන්නත් සොයාබැලීම වැදගත්. එසේම වන්දනාවක් යන්නට යොදාගෙන ඇත්නම් ඒ ස්ථාන ගැන විස්තර වීඩියෝ ආදිය හෝ පොත් වශයෙන් හෝ අපේ වැඩිහිටි අයට කියවන්නට දීම වැදගත් වෙනවා. එතකොට ඒ තැන් ගැන සැබෑ අවබෝධයකින් අපේ අම්මලාට තාත්තලාට සහ වැඩිහිටියන්ට වන්දනාමාන කටයුතු කරන්නට අවස්ථාව සැලසෙනවා.
3. කෑම බීම සහ නවාතැන්

Source – medium.com
මීට වසර 15-20කට පෙර සාමාන්‍යයෙන් අපි බොහෝදෙනකුට ලංකාවේ වන්දනාවකදී පැදුරක් දාගන්න තැනක් තිබුනාම ඇති. මොකද මහන්සියටම ඔය මොනාහරි ගිලදැම්මාම හොඳට නින්ද යනවා. ඒත් දුර රටකට ගිහින් වෙනස් දේශගුණ තත්ත්වයන් එක්ක හොඳට නාගන්න කියන්න, නිදාගන්න පහසුව නොතිබුනොත් ඒක ගැටළුවක් වෙනවා. ඒ නිසා නවාතැන් ගන්න තැන් මොන වගේද කියලා සොයාබැලීම වැදගත්. තරුණ වයසේ අයට නම් ඕනෑම කෑමක් අත්හදා බලලා බඩට පොඩි විරේකයක්, විවේකයක් ලබාදෙන්නට අවදානමක් ගත හැකියි. ඒත් වැඩිහිටි අයට අපේ රසට, අපේ ආරයට කෑම නැතිවුනොත් එයාලට කෑම ගැනීමේ ගැටළු එනවා. දවසක් දෙකක් නෙමෙයි. මේ යන දඹදිව සංචාර අවම වශයෙන් දවස් 8-10 ඇදෙනවා. ඒ නිසා කෑම බීම ඉඳුම් හිටුම් සහ ඒවායේ ගැළපීම, සුවපහසුව ගැනත් සොයාබැලීම වැදගත් වෙනවා.
4. ගමනේ යෙදෙන දුෂ්කරතාවයන්

Source – map.google.com
ප්‍රවීන මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මහත්තයා ලියපු දඹදිව වන්දනා අත්පොතක තිබෙන විදියට 1983ට පෙර ලංකාවේ මන්නාරමට කෝච්චියේ ගිහින්, එතනින් රාමේශ්වරමට බෝට්ටුවෙන් ගිහින්, රාමේශ්වරමෙන් දුම්රිය වල නැගිලා දවස් ගණන් දුම්රියේ ගිහිනුයි උතුරු ඉන්දියාවේ වර්තමාන පැට්නා, වාරණාසී ආදී පළාත් වල තිබෙන බෞද්ධ සිද්ධස්ථාන එකල ලාංකික බැතිමතුන් වැඳපුදා ගත්තේ. ඒත් අද කෙලින්ම දිල්ලියට හෝ වාරණාසියට ගුවන් ගමන් තිබෙනවා. කොළඹින් නැග්ගහම ඊළඟට කෙලින්ම බහින්නේ පෑ තුනහමාරකට පස්සේ දිල්ලියේ. ආන්න ඒ වගේ ඉන්දියාවේ ඉහළටම පියාසර කලාම ඊළඟට යන්න තියෙන සිද්ධස්ථාන කරා පිවිසෙන්නට ලේසියි. ඉන්දියාවේදී සහ නේපාලයේදී ඇතුලත ගොඩක් වන්දනා සංවිධායකවරුන් සැප පහසු ඒ සී බස් වලින්ම ගමන් පහසුව සලසනවා. ඒ වගේ ගමනට දුම්රිය ගමන් තියෙනවාද? ඒ දුම්රිය වල සැප පහසුව කොහොමද? කෙලින්ම උඩ තිබෙන පැට්නා, ගයා, වාරණාසි, කල්කටා දිල්ලි, ලක්නව් වගේ තැනකට පියාසර කරනවාද? ඒ ගුවන් ගමන් වලදී චෙන්නයි බැංගලෝර් මුම්බායි වගේ තැන් හරහා ගුවන් ගමන් තිබෙනවාද කියලා සොයා බැලීම වැදගත්.
5. වන්දනාවට යොදාගන්නා කාලය

Source – holeinthedonut.com
ලංකාවේ බොහෝ සංචාරක මග පෙන්වන අය දඹදිව ගමනට යොදාගන්නේ අගෝස්තු සහ සැප්තැම්බර් කාලය. අප්‍රේල්, මැයි, මාර්තු කාල සීමාවේදි බුද්ධගයාව පිහිටි ගයා නගර ආසන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40කටත් වඩා ඉහළ යනවා. සාපේක්ෂව අගෝස්තු සැප්තැම්බර් කියන්නේ වරුසාව අඩු, එතරම්ම දැඩි හිරුරැස් පතිත නොවන කාල සීමාවක්. එම සීමාවේ බොහෝ වන්දනා නඩ සංචාරයේ යෙදෙන බැවින් එම කාලයේදී ගමනේ යෙදීමේදී වතාවත් වන්දනා කටයුතු වඩාත් පහසුවෙන් කරගන්නට හැකියි. ස්වාමින් වහන්සේලා ඇතුලු පූජාභූමි ආශ්‍රිතව අප රටේ අය බහුල නිසා, ඒ කාලයට ඇත්තටම අපි ඒ පළාතේ කඩයකට ගොඩ වුනත් ඒ අයත් සිංහලෙන්ම කතාකරන අවස්ථා වැඩියි. ඇතැම් අවස්ථාවල ඉතාම ග්‍රීෂ්ම කාල වල වන්දනා නඩ රැගෙන දඹදිව යෑමේ අවස්ථා වාර්තා වෙනවා. ඒත් මෙහෙටත් වඩා වැඩි උෂ්ණත්ව පරාසවලට වැඩිහිටියන් ලක් කර අනවශ්‍ය අවදානමකට විවෘත කිරීම කිසිසේත් සුදුසු දෙයක් නෙමෙයි.
6. සන්නිවේදනය සහ සාප්පු සවාරි

Source – officechai.com
වැඩිහිටියන් අතරේත් දැන් නම් ස්මාට්ෆෝන් පාවිච්චිය පැතිරිලා . ඒත් ඉන්දියාවේදී සිම් එකක් ගැනීම ලංකාවේදි තරම් ලේසි වැඩක් නෙමෙයි. ඇරත් බැතිබරව ඒ වන්දනාමාන කටයුතු කරනවා විනා පොටෝ ගහන්න, ෆේස්බුක් දාන්න, කාලේ නාස්ති කරන්න උපාසක උපාසිකාවන්ට වෙලාවක් නැහැ . ඉතිං වන්දනා නඩය මෙහෙයවන අයගෙන් මේ සන්නිවේදන කටයුතු කරගන්නා හැටිත් සොයාබලන එක වටිනවා. ඉන්දියාවේ සිට මෙහෙට ඇමතුම් ගන්නවාට වඩා ලංකාවෙන් ඉන්දියාවට ඇමතුම් ලබාගැනීම ලාබයි. යන කණ්ඩායමේ යම් දැනුම් තේරුම් ඇති අය යනවා නම් ඒ අයගේ නොම්මර ආදිය ලබාගෙන රාත්‍රී කාලයට විනාඩියක් දෙකක් හෝ වැඩිහිටියන්ට කතා කරලා බලන එක වටිනවා.
දෙමාපියන්ගේ ගමනට විශාල මුදලක් වැයකලා තමයි. ඒ වන්දනා කටයුත්ත සාර්ථකව කරලා වෙලාවක් ඉතුරු වුනොත් යමක් ගේන්න ඉන්දියානු රුපියල් (ලංකා රුපියල් කෝටියක් තිබුනත් ඉන්දියාවේදී වටිනා කමක් නැහැ) ටිකක් දුන්නාට වරදක් නැහැ. ඒත් අර බඩුව හොයන්න, අනේ මට ලස්සන සාරි හොයන්න, මට සෙරප්පු බලන්න ආදී වශයෙන් ඔවුන්ට හිරිහැර කරන්නට යෑම සුදුසු නැහැ. එසේම එවැනි සාප්පු සවාරි සඳහා වන්දනා නඩයෙන් අවස්ථාවක් වෙන්කර තිබෙනවාද කියලා බැලීමත් වැදගත් වෙනවා.
අපේ දෙමාපියන්, වැඩිහිටියන් අප කුඩාකල අපිට සුලු හිරිහැරයක් කරදරයක් වුන විටදී ලොකුවට කලබල වෙලා දුවපැන ඇවිද අපිට සැලකුවා ඔබට මතක ඇති. ඒ වගේම අපි තරමක් ඇති දැඩි වී ලොකු මහත් වුන විට පවා අපි කරන කියන, ඇවිදින යන එන තැන පවා සොයා බලලා අපේ ජීවිත ගමන හැඩ කරන්නට දෙමාපිය වැඩිහිටියන් දායක වූ අන්දමත් ඔබට මතක ඇති. ඒ නිසා දෙමාපියන් දඹදිව ගමනක යන්නට සිහින මවනවා නම් අඩු මුදලට කුමක් හෝ තැනක් පංගාත්තු කරලා සල්ලි ටික හොයාදීලා නිකං ඉන්න එපා. වැඩිහිටියන්ට පාස්පෝට් ගන්න, සල්ලි මාරුකරගන්න, ඒ සිද්ධස්ථාන ගැන විස්තර සපයන්න ආදී දේට මැදිහත් වෙලා ඒ වැඩ කරලා දෙන එක දරු මුණුබුරන්ගේ වගකීමක් වෙනවා. මොනවා වුනත් ලංකාවේ කණ්ඩායමක් එක්ක වුවත් අපේ ලොකු උන්දැව රට යවන්න බයක් හිතේ නැතුවාම නෙමෙයි. ඒත් එයාලගේ ආසාවන් ගැන සංවේදී වෙලා, හොඳට හොයලා බලලා දෙමාපියෝ දඹදිව යැව්වොත්, ඒ වන්දනා කටයුතු ටික කරලා නැවත සතුටින් ලංකාවට එන්නට ඔවුනට ඉඩ හසර ලැබේවි.
Cover Image Source – flickr.com / facebook.com
Leave a Reply