මේ ආටිකල් එක ඇත්තටම වැදගත් වෙන්නේ වීඩියෝ ගේම්ස් වලට ලැදි උදවියට තමයි. දැන් ඔය වීඩියෝ ගේම්ස් කිව්වහම ගොඩක් අය කම්පියුටර් එකෙන් ගේම්ස් ගහනවා. ස්මාට්ෆෝන් එකෙන් ගේම්ස් ගහනවා. හැබැයි ගේමින් කොන්සෝල් වලින් ගේම්ස් ගහන එකේ තියෙනවා අපූරු වෙනසක්. විශේෂයෙන්ම කොන්සෝල් එකකින් ගේම්ස් ගහනකොට, කම්පියුටර් එකෙන් ගේම්ස් ගහනවාට වඩා සාපේක්ෂව හොඳ අත්දැකීමක් ලබාගන්න පුළුවන් කියලා කියනවා. එතකොට කොන්සෝල් එක තියෙන්නේ ගේමින් වලටම විතරක් නිසා, වැඩි පහසුවකුත් තියෙනවා. ස්මාට්ෆෝන් එකෙන් ගේම් ගහනවට වඩා කොන්සෝල් එකකින් ගහන්න පුළුවන් ගේම්ස් වල කොලිටිය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
හරි. දැන් ඔය කොන්සෝල් ජාතිත් කීපයක්ම තියෙනවනේ. හැබැයි අපි කතා කරන්න යන්නේ ඔය කොන්සෝල් අතරිනුත් සෑහෙන්න ජනප්‍රිය Sony PlayStation 4 හෙවත් PS4 ගැන. ප්ලේස්ටේෂන් වලට සම්පූර්ණයෙන්ම ආධුනික කෙනෙක්ට වටිනා කියන කරුණු ටිකක් තමයි මේ තියෙන්නේ.
1. මොකද්ද ගන්නේ?
ඇත්තටම ප්ලේස්ටේෂන් වලට ආධුනිකයෙක්ට මුලින්ම මතුවෙන ගැටළුව තමයි මේක. දැන් ගොඩක් දෙනෙක් කියයි ඇයි PS4 එකක් ගන්න හදිසි වෙන්නේ, ලබන අවුරුද්දේ මේ වෙනකොට PS5 එක එනවනේ, පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ කියලා. ඒක මෙහෙමයි. PS5 එක අවුරුද්දකින් රිලීස් වුනාට, ඇත්තටම ඕකේ බග්ස් එහෙම ෆික්ස් වෙලා ගාණකට සෙට් වෙන්න නම් ඊට වඩා කාලයක් යනවා. එතකොට අවුරුදු එකහමාරක් දෙකක් ඉන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් දැන්මම PS4 එකක් ගත්තා කියලා නාස්ති වෙන්නෙ නෑ. මොකද තව කාලෙකට PS4 එකට ගේම්ස් හැදෙන එක නවතින්නෙත් නැති නිසා.
එතකොට තව ප්‍රශ්නයක් තමයි මොන PS4 එකක්ද ගන්නේ කියන එක. ඒ කියන්නේ PS4 Slim 500GB එකක්ද නැතිනම් PS4 Slim1TB එකක්ද නැතිනම් PS4 Pro එකක්ද කියන එක. ඒකත් ඉතින් තමන්ගේ අභිමතය සහ අවශ්‍යතාවය අනුව තමයි. PS4 pro එකක් ගත්තට, ඒකේ තියෙන වැඩි බලයෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැතිනම්, 4K ඩිස්ප්ලේ එකක් නැතිනම් ඒක ප්‍රයෝජනයක් නැතිවෙයි. මතක ධාරිතාව ගැන වුනත් ඒකම තමයි කියන්න තියෙන්නේ. එක පාර ගේම්ස් බරගාණක් ඉන්ස්ටෝල් කරලා තියාගන්නෙ නැතිනම් 500GB හොඳටම ඇති වෙයි.
2. ගේම්ස් වල ගණන්!
ඔව්. ඇත්තටම PS4 ගේම්ස් ගණන් තමයි. ඒ කියන්නේ සමහර වෙලාවට අලුතෙන් රිලීස් වුණු බ්‍රෑන්ඩ් නිව් ගේම්ස් දහදාහ දොළොස්දාහ වගේ ගණන් වලට යන්නේ. කාලෙකට කලින් රිලීස් වුණු බ්‍රෑන්ඩ් නිව් ගේම්ස් නම් රුපියල් පන්දාහ හයදාහ හත්දාහ වගේ ගණන් වලටත් ගන්න පුළුවන්.
ඔය PS4 ගේම්ස් වල ගණන් වැඩි කමට තියෙන හොඳ විසඳුමක් තමයි සෙකන්ඩ් හෑන්ඩ් ගේම්ස් ගන්න එක හෝ මාරු කරගෙන ගේම්ස් ගහන එක. හැබැයි එතනදීත් ප්‍රවේසම් වෙන්න ඕන තැනක් තියෙනවා. ඒ තමයි හීරුණු, හරියට වැඩ කරන්නෙ නැති ගේම්ස් ලැබෙන එක. කොයි තරම් අඩුවට ලැබුණත් ඉතින් වැඩකරන්නෙ නැති ඩිස්ක් එකක් කියන්නේ අපරාදේ සල්ලිනේ. අනික හීරුණු ඩිස්ක් රන් කරන එක දිගින් දිගටම වෙන එක PS4 එකේ ලෙන්ස් එකට හානිකරයි කියලා තමයි ඔය ගැන දන්න අය කියන්නේ.
3. ටීවී බලන්නත්?
ටීවී කිව්වට මේ කියන්නේ ටීවීම නෙවෙයි. ඔය ස්ට්‍රීමින් සේවාවන් කියන එව්වා. ඒ කියන්නේ Netflix වගේ. ඇත්තටම ඒ වගේ සේවාවන් ගණනාවක්ම PlayStation ඇප් ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. කොහොමත් Netflix නම් බලන්න පුළුවන් කියලා ෂුවර්. හැබැයි ඉතින් අර ඕෆ් පීඩ් ඩේටා වලින් Netflix කෙලින්ම ඩවුන්ලෝඩ් කරගෙන බලන එක නම් PS4 එකේ කරන්න බැහැයි කියලයි කියන්නේ. ඒ වෙනුවට පෙන් එකකට ඩවුන්ලෝඩ් කරලා, පෙන් එක PS4 එකට ගහලා බලන්න පුළුවන්ලු. ඒක කරලම තමයි බලන්න ඕන කොයි තරම් සාර්ථකද, වාතද කියලා.
4. කන්ට්‍රෝලර් බැටරි ලයිෆ්
PS4 ගැන දන්න අය දන්නවනේ ඩුවල්ෂොක් කොන්ට්‍රෝලර් එක බැටරි බලයෙන් වැඩ කරන්නේ කියලා. ඒක චාර්ජ් කරන්න නම් PS4 එකට සම්බන්ධ කරන්න ඕන. හැබැයි නිරන්තරයෙන්ම ගේම්ස් ගහන කෙනෙක්ට, නිතර නිතර ඕක චාර්ජ් කරන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව, එක පාරක් චාර්ජ් කළාට පස්සේ ඒකේ බැටරිය තියෙන්නේ පැය හතරේ ඉඳන් උපරිම අටක් වෙනකල් වීම නිසා. ඉතින් බැටරි බලය උපරිම වැඩි කරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි, ලයිට් බාර් එකේ බ්‍රයිට්නස් අඩු කරන එක. Settings > Devices > Controllers ගිහින් ලයිට්බාර් එකේ බ්‍රයිට්නස් මීඩියම් හරි ඩිම් හරි වෙනකල් අඩු කරන්න පුළුවන්. අනික, PS4 එක පාවිච්චි කරන, හැබැයි කොන්ට්‍රෝලර් එක පාවිච්චි නොකරන වෙලාවක ඒකේ බැටරිය බහින එක නවත්තන්න Settings > Power Saving Settings > Set Time Until Controllers Turn Off කියන විකල්පය පාවිච්චි කරන්න පුළුවන්.
5. මවුස් ඇන්ඩ් කීබෝඩ්
සමහරු ඉන්නවා, ඒ අයට සමහර ගේම්ස් වලට කොන්ට්‍රෝලර් එක පාවිච්චි කරනවාට වඩා සාර්ථක වෙන්නේ මවුස් එකයි කීබෝඩ් එකයි පාවිච්චි කරන එක. මේක ඇත්තටම සමහර ගේම්ස් සම්බන්ධයෙන් තමයි විශේෂ වෙන්නේ. කොහොම වුනත්, එහෙම කෙනෙක්ට, ඒ වගේ ගේම් එකක් ප්ලේ කරන්න මවුස් එකකුයි කීබෝඩ් එකකුයි PS4 එකට සෙට් කරගන්න පුලුවන්ද? ඔව් පුළුවන්. කරන්න තියෙන්නේ PS4 එකේ USB පෝට් එක පාවිච්චි කරන එක. විශේෂයෙන්ම බ්ලූටූත් මවුස් කීබෝඩ් කොම්බෝ එකක් එහෙම තියෙනවා නම් වැඩේ තවත් ලේසියි. හැබැයි එකක්. හැම ගේම් එකකටම ඔය සෙල්ලම හරියන්නෙත් නෑ. ඒ කියන්නේ සමහර ගේම්ස් තියෙනවා, මල්ටිප්ලේයර් මෝඩ් එකට විශේෂයෙන්ම කොන්ට්‍රෝලර් මිසක් මවුස් සහ කීබෝඩ් පාවිච්චි කරන්න දෙන්නෙ නෑ.
6. හුස්ම ගන්න පුළුවන් තැනක
ඇත්තටම PS4 එකක් තියන්නේ කොතනද කියන එකත් හිතලා බලන්න ඕන කාරණයක්. ඇත්තටම ගොඩක් දෙනෙක් අමතක කරන දෙයක් තමයි, PS4 එකක් කියන්නෙත් කම්පියුටර් එකකටම සමාන උපාංගයක් කියන එක. එතකොට, ඒකත් වැඩ කරනකොට රත් වෙනවා. ඒ නිසා උෂ්ණත්වය පාලනය කරන්න ඒක ඇතුළේ ෆෑන් එකක් තියෙනවා. එතකොට PS4 එක ඔය පොත් ගොඩවල් යට, පුංචි අහුමුළු වල එහෙම ඔබලා තියාගෙන වැඩ ගන්න එකෙන් වෙන්නේ PS4 එකේ ආයුකාලය කෙටි වෙන එක තමයි. ඕන නම් PS4 එකට විශේෂ කූලින් සිස්ටම් එහෙමත් දරන්න පුලුවන් ගාණකට වෙළෙඳපොළේ ගන්න තියෙනවා. අන්න ඒ වගේ එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි අනිවාර්ය දේ තමයි ඉඩ කඩ තියෙන, හුස්ම ගන්න පුළුවන් තැනක PS4 එක තැන්පත් කරලා තියන එක.
7. සර්විස් එක
ඇත්තටම අපි ඉන්නේ උෂ්ණත්වය තියෙන දූවිලි තියෙන රටකනේ. ඉතින් PS4 එකත් ඩස්ට් පෘෆ් ඒසී කාමරේක එහෙම තියලා නැතිනම්, කල්ගතවෙනකොට දූවිලි බැඳෙනවා. ඇත්තටම PS4 එකක් කියන්නෙත් කම්පියුටර් එකක් වගේම තමයි. දූවිලි බැඳෙනකොට ෆෑන් එක සද්දේ වැඩි වෙනවා, රත්වෙනවා වැඩි වෙනවා. දැන් ඔය සංඥා ඔක්කොම ගණන් ගන්නෙ නැතුව අවුරුදු ගණන් PS4 එක පාවිච්චි කරනකොට, කොයි මොහොතක හරි PS4 එකට බඩු බනිස් වෙනවා. ආන්න ඒ නිසා, අවුරුද්දකට සැරයක් වත් PS4 එක සර්විස් කරන්න, පුළුවන් තරම් දූවිලි රහිත වටපිටාවක ඕක තියලා තියන්න කියලා තමයි PS4 එක්ස්පර්ට්ලා කියන්නේ. ඔය සර්විස් කරන වැඩේ එක්ස්පර්ට් කෙනෙක්ට නම් තමන්ටම කරගන්න පුළුවන්. එහෙම නැතිනම් PS4 රිපෙයාර් කරන තැනකට දීලා කරගන්න එක තමයි වඩාත් හොඳ.
Leave a Reply