අපේ ෆෝන් එකෙන් අපිටත් නොදැනී වැඩ ගන්න බ්ලෝට්වෙයාර් (Bloatware)!

‘අද මට නොදැනිම මගේ නෙතට කඳුළු පිරෙනවා’ කියන්නේ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයාගේ මියුරු ගීතයක්. එයාටත් නොදැනිම එයාගේ ඇස් වලට කඳුළු ඒම කවියකට, ගීතයකට ලස්සන වුණාට ඇත්තටම නම් ටිකක් පිළිගන්න අමාරුයි වගේ නේද? ඒ වගේ අපේ අතේ තියෙන ස්මාට්ෆෝන් එකටත් අවුල් වෙන, ස්මාට්ෆෝන් ස්ලෝ වෙන සොෆ්ට්වෙයාර් අපේ ෆෝන් එක හදන කොම්පැනියෙන්ම ඔබ්බලා එවනවා කිව්වොත්? ටිකක් පිළිගන්න අමාරුයි වගේ නේද? ඒත් ඒක ඇත්තක්. බ්ලෝට්වෙයා කියලා හඳුන්වන මේ ප්‍රී ඉන්ස්ටෝල් කරලා එවන අනේකවිධ ඇප්ලිකේශන්, ප්ලගින් ආදිය සහ ඒවායේ බලපෑම ගැන අපිට ටිකක් බලමු.

 

1. මොනවද මේ බ්ලෝට්වෙයාර්? 

අපි ෆෝන් එකක් හරි පරිගණක යන්ත්‍රයක් හරි මිලදී ගනිද්දි ඒ එක්ක ඔපරේටින් සිස්ටම් එකක් එනවා. ෆෝන් නම් බොහෝවිට ඇන්ඩ්‍රොයිඩ්, පරිගණක නම් වින්ඩෝස්. මේ එන OS එක එක්ක අපිට තවත් සොෆ්ට්වෙයාර් තොගයක් එනවා. මේ එන සොෆ්ට්වෙයාර් අතර අපිට වැදගත් වගේම නොවැදගත් සොෆ්ට්වෙයාර්සුත් තියෙනවා. කලින් කලට යාවත්කාලීන නොවීම නිසා එන ඇප්ලිකේශන් වගේම අපේ දත්ත භාවිතා කර වෙනත් ප්‍රයෝජන ලබාගන්නා ඇප්ලිකේශන්ද ඒ අතර වෙනවා. ෆෝන් වලදට එද්දි මේ ප්‍රී ඉන්ස්ටෝල් කරපු හෙවත් කස්ටමයිස් කරපු ඇන්ඩ්‍රොයිඩ් හරහා එන බ්ලෝට්වෙයා මගින් අපේ රහස්‍ය තොරතුරු පිටතට යනවා වගේම අපේ යන්ත්‍රයේ වේගය අඩු කරනවා.

 

2. ඇයි මේ මොබයිල් ෆෝන් වලට බ්ලෝට්වෙයාර් එවන්නේ? 

මොබයිල් ෆෝන් මාකට් එක කියන්නේ බොහොම තරඟකාරී වෙළඳපොලක්. දැන් දැන් තියෙන තරඟය එක්ක ජංගම දුරකථන නිපදවන සමාගම් වලට  තවදුරටත් ෆෝන් එකේ හාඩ්වෙයාර් වලින් සල්ලි හොයන්න අමාරුයි. මොකද ෆෝන් මිලදී ගන්න අය හාඩ්වෙයාර් කිරලා මැනල බැලුවාම එකම මට්ටමේ හාඩ්වෙයාර් පහසුකම් තියෙන ෆෝන් ගොඩක් තියෙනවා. ඒ නිසා  වෙනත් ක්‍රමවලින් මුදල් හොයන්න මොබයිල් ෆෝන් සමාගම් පෙළඹුණා. ඒ එක්ක මේ විදිහට ඇන්ඩ්‍රොයිඩ් හරහා වෙනත් මෘදුකාංග එවලා ඒවායෙන් බල්ක් වශයෙන් මුදල් හෙවීමට ඇතැම් මොබයිල් සමාගම් පෙළඹුණා. එහිදී මොබයිල් යුනිට් වලින් හොයන මුදලට වැඩි මුදලක් මේ බ්ලෝට්වෙයාර් හරහා ජංගම දුරකථන සමාගම් උපයන බවක් කියවෙනවා.

 

3. විවිධ ස්කින්

හුවාවේ, සැම්සන්ග්, මි, එල් ජී ආදී ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් සමාගම් හැම එකක්ම වගේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සංස්කරණය කරනවා. එහිදී ඔවුන්ගේ ඇප්ස්ටෝර් සහ විවිධ ඇප්ස් එකතු කරනවා. මේ ඇප් සමහරකට යූසර්ස්ලා ඇත්තටම ආසයි. ඒත් මේ ඇප් වුණත් කලින් කලට යාවත්කාලීන නොවී තියෙනවා. ඒවගේම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ කරන ඇතැම් අනුමත නොවන සංස්කරණ නිසාත් එහි ඇති ස්ථාවර බවට හානි වෙනවා. මේ නිසා මුලික වශයෙන් පසුකාලීනව ෆෝන් එක ස්ලෝ වෙන්නත්, අපේ දත්ත පාවිච්චිය වැඩිවෙන්නත් ඉඩකඩ තියෙනවා.

 

4. එව්වා නැති ෆෝන් නැද්ද ඉතින්? 

සුප්‍රකට ඇපල් සමාගම ඒ හා සමාන පහසුකම් තියෙන සහෝදර ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක්ක බැලුවාම සෑහෙන මිල අධිකයි. ඒ වගේම ගූග්ල් සමාගමෙන් ගහන පික්සල් ෆෝනුත් හරි ගණන්. මෙතනදි ඒ ඇපල්, ගූග්ල් සමාගම් ඔවුන්ගේම ඕඑස් එකේ අයිතිකාරයෝ නිසා ඔවුන්ගේ ෆෝන් වලට බ්ලෝට්වෙයා බලපෑම සෑහෙන අඩුයි. ඒ එක්ක ඒ ෆෝන් කලක් ගියාම ස්ලෝ වෙන්නේ නැහැ. ගූග්ල් ඇන්ඩ්‍රොයිඩ් ගතහොත් මෑතකදි නොකියා, මෝටරෝලා වැනි ෆෝන් සමාගමුත් ඔරිජිනල් ඇන්ඩ්‍රොයිඩ් වලට සමානම අත්දැකීමක් තියෙන ෆෝන් වෙළඳපොලට නිකුත් කරනවා.

 

5. බ්ලෝට්වෙයාර් මගින් වෙන කේස් මොනවද?

මූලික වශයෙන් ඕඑස් එකක යම් දෝෂයක් ඇතිවීම මගින් ෆෝන් එක ස්ලෝ වෙන්න ඉඩ කඩ තියෙනවා. අනවශ්‍ය මෘදුකාංග ගොඩක් කියන්නේ අපේ ෆෝන් එකේ තියෙන රැම් එක නිකරුණේ වියදම් වෙන වැඩක්. ඒ වගේම අපි එක ඇප්ලිකේශන් එකක් පාවිච්චි කරද්දි අපිට නොපෙනී තවත් ඇප්ලිකේශන් කීපයක් පිටුපසින් රන් වීමෙන් අපේ ෆෝන් එක නිකරුනේ යූස් වෙනවා. ඒ මගින් හාඩ්වෙයාර් වැඩිපුර පාවිච්චි වෙනවා වගේම අපිට අනවශ්‍ය වැඩ ගොඩක් වෙන නිසා ෆෝන් ඉක්මනින්ම ස්ලෝ වෙනවා. මේ නිසා අපේ ෆෝන් එක අනාරක්ෂිත තැනක් බවට පත් වෙනවා.

 

6. බ්ලෝට්වෙයාර් අයින් කරන්න බැරිද?

මි (Mi) ෆෝන් වල තියෙන බ්ලෝට්වෙයාර් නම් අයින් කරන ක්‍රම ගණනාවක් තියෙනවා කියලා අන්තර්ජාලයේ තියෙනවා. ඒ වගේම අනෙක් ෆෝන් වලත් එන බ්ලෝට්වෙයාර් අයින් කරන ක්‍රම සහ විධි තියෙනවා. ඒත් ඒවා අපිට ඇප් එකක් ඉන්ස්ටෝල් කරනවා වගේ ලේසි වැඩක් නෙමෙයි, පරිගණක මෘදුකාංග මගින් ෆෝන් එක ඇතුළට ගිහින් අනවශ්‍ය දේ තෝරාගෙන අයින් කළොත් බ්ලෝට්වෙයාර් අයින් කරගන්න පුළුවන්. ඒත් අමාරු වැඩේ තමයි මේ ෆෝන් එකේ තියෙන ඇප්ලිකේශන් වලින් වැදගත් නොවන දේවල් තෝරාගැනීම. දැන් දැන් මෙහෙම බ්ලෝට්වෙයාර් අයින් කරන එක ජනප්‍රිය වීම එක්ක බ්ලෝට්වෙයාර් ඇතුළත් කරන සමාගම් දැන් වැදගත් ඇප්ලිකේශන් අස්සට රිංගවලා මේ බ්ලෝට්වෙයාර් එවනවා.

 

7. ඉතින් අපි මොනාද කරන්නේ?

දැන් එන ස්මාට්ෆෝන් වල රැම්, රොම් ගොඩක් සරුවට එනවා. ඒ එක්ක ෆෝන් එකක් ගනිද්දී ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් නම් රැම්, රොම් සහ ප්‍රොසෙසර් ටිකක් වැඩි ෆෝන් එකක් තෝරාගන්න එක කොයි අතිනුත් හොඳයි. එතකොට ඇඩ්වෙයා මැල්වෙයාර්, බ්ලෝට්වෙයාර් ආවත් ඒවත් එක්ක සාමෙන් බෙදාහදාගෙන ෆෝන් එකට අපිට සර්විස් දෙන්නට පුළුවන් වේවි. එහෙම නැතිනම් නොකියා, මෝටරෝලා වගේ ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් තෝරාගන්න පුළුවන්. ෆෝන් වලින් මේ අමතර මෘදුකාංග ඉවත් කිරීම ගැනත් අන්තර්ජාලයේ යූ ටියුබ් වල වීඩියෝ තියෙනවා. ඔයා ළඟ තියෙන්නේ කොමන් ෆෝන් එකක් නම් ටිකක් සර්ච් එකක් දීලා එහෙමත් ට්‍රයි කරලා බලන්න පුළුවන්. ඒත් එතැනදිත් තියෙන මෘදුකාංගත් එහෙක් මෙහෙක් වෙන්න යම් අවදානමකුත් තියෙනවා.

 

ෆෝන් වලට විතරක් නෙමෙයි, මේ අපි නිතර පාවිච්චි කරන වින්ඩෝස්, ලැප්ටොප්, ඩෙස්ක්ටොප් වලටත් බ්ලෝට්වෙයාර් එනවා. මේවා මගින් ඒ පරිගණක යන්ත්‍රවලටත් සැළකිය යුතු බලපෑමක් කරනවා. අපි සල්ලි දීල ෆෝන් එකක්, ලැප්ටොප් එකක් ගත්තම ඒක අස්සට රිංගල “අපේ මැෂිම” කියලා ඒකෙන් වෙන වෙන වැඩ ගන්න මේ මෘදුකාංග ඇත්තටම බාධාවක්. ඒත් ඇත්ත ජීවිතේ වගේම සයිබර් ජීවිතයේදිත් බාධාවන් අපිට සම්පුර්ණයෙන් ඉවත් කරගන්න බැහැ. එහම කරන්න ගියොත් ඒකට ලොකු මුදලකුත් යනවා. ඒ නිසා අපි අකමැත්තෙන් වුණත් ටිකෙන් ටික මේ බාධාවන් කළමනාකරණය කරගෙන ජිවත් වෙන්න හුරුවෙන්න ඕනි. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *