ජීවිතේ මැදි වයසෙදී වෘත්තිය වෙනස් කරන්න හිතනවා නම් මෙන්න ඒකට උපදෙස්!

දැන් ඔන්න අපි ඉගෙන ගන්නවා. සමහරු ඉස්කෝලේ ඒ ලෙවල් වෙනකල් කරලා රස්සාවක් කරනවා. සමහරු ඒ ලෙවල් වලින් පස්සේ කෝස් මොනව හරි කරලා රස්සාවක් හොයාගන්නවා. සමහරු උපාධිය සහ එතනිනුත් එහාට ගිහින් රස්සා කරන්නේ. සමහරු නම් ඕලෙවල් වලින් -සමහර විට ඊටත් කලින්- ඉගෙනුම් ජීවිතේට සමුදීලා රස්සා කරනවා. ඔය කොයික වුණත් ඊට පස්සේ වෙන්නේ තමන් තෝරාගන්නා වෘත්තියේ දිගින් දිගටම රැඳිලා ඉන්න එකනේ. ඒ කියන්නේ රස්සා මාරු වුණාට, ප්‍රොෆෙෂනල් ෆීල්ඩ් එක මාරු වෙන්නෙ නෑ. දැන් සේල්ස් ඇන්ඩ් මාකටින් කරපු කෙනෙක් නම් ඒ ලයින් එකේම ජොබ්ස් තමයි කරන්නේ. බැංකු කටයුතු කරන කෙනෙක් වුණත් බැංකු හෝ මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ ජොබ්ම තමයි කරන්නේ. ඒකට හේතුව මූලිකවම කෙනෙක්ගේ දැනුම සහ පළපුරුද්ද තියෙන්නේ ගොඩක් දුරට එකම ක්ෂේත්‍රයක වීම නිසා. හැබැයි එහෙම වුණාට සමහර අය ඉන්නවා, ජීවිතේ මැදදී, ඒ කියන්නේ අවුරුදු තිස්පහේදී, හතළිහේදී, හතළිස් පහේදී හෝ සමහර විට ඊටත් වඩා වයස ගිහිල්ලා වුණත් තමන්ගේ සම්පූර්ණ වෘත්තියම මාරු කරන. ඒ කියන්නේ සමහර විට තමන්ට කලින් කිසිම පුහුණුවක් හෝ පළපුරුද්දක් නැති වෘත්තියකට තමයි මාරු වෙන්නේ. එතකොට ඒක අවදානමක් නෙවෙයිද? ඇත්තටම අවදානමක් තමයි. හැබැයි හරි ක්‍රමේට කළොත් කරන්න බැරි වැඩක් නෙවෙයි.

අන්න ඒ නිසා අපි හිතුවා, ජීවිතේ මැදි වයසෙදී වෘත්තිය වෙනස් කරන්න ඕන නම්, ඒක කරන්න පුලුවන් විදිය ගැන ටිප්ස් කීපයක්!

01. ඇයි ජීවිතේ මැද්දේ ෆීල්ඩ් එක මාරු කරන්න හිතන්නේ?

මේ තමයි පළවෙනිම සහ වැදගත්ම දෙය. ඇයි මේ මැදි වයසටත් ඇවිත් තමන් කරමින් හිටපු වෘත්තිය ක්ෂේත්‍රය මාරු කරන්නේ? මෙන්න මේ ප්‍රශ්නෙට මුලින්ම අවංකව උත්තර හොයාගන්න ඕන. ඒකට හේතු තියෙන්න පුලුවන්. තමන් කරමින් හිටපු වෘත්තිය ක්ෂේත්‍රයම කඩාවැටීමකට ලක් වීම. එතකොට තමන් වැඩ කරමින් හිටපු ක්ෂේත්‍රයට වඩා ස්ථාවර, වැඩියෙන් උපයන්න පුලුවන් ක්ෂේත්‍රයකට මාරු වෙන්න තියෙන අවශ්‍යතාවය, තමන් කරමින් හිටපු ක්ෂේත්‍රයට තමන් ගැලපෙන්නෙ නෑ කියලා, එහෙම නැතිනම් තමන්ට ඒ ක්ෂේත්‍රය ගැලපෙන්නෙ නැහැ කියලා අවබෝධ වීම, තමන් වැඩ කරන ක්ෂේත්‍රය ගැන ආසාවක් නැති වීම වගේ ඕනම දෙයක් වෙන්න පුලුවන්. හැබැයි ඔය මොන දේ නිසා මේ තීරණය ගත්තත්, මේ ගන්නේ ජීවිතේ ගන්න අති බරපතල තීරණයක් කියන එක අවබෝධ කරගන්න ඕන. එතනදී තමන්ගේ හැකියාවන් ගැන අධිතක්සේරුවක ඉන්නෙ නැතුව, තමන්ට පුළුවන් දේ සහ බැරි දේ අවබෝධ කරගන්නත් ඕන.

තව දෙයක්. ඔය උඩ කියලා තියෙන හේතු වලින් එකක් හෝ උඩ කියලා නැති හේතුවක් නිසා මැදි වයසෙදි තමන්ගේ ෆීල්ඩ් එක මාරු කරන්න හිතන එක හරි. හැබැයි තමන්ට මිඩ් කැරියර් ක්‍රයිසිස් එකක්, නැතිනම් ජීවිතය මැද වෘත්තිය ජීවිතේ අර්බුදයක් ඇති වෙන්න හේතුවත් අවංකව හිතලා බලන්න ඕන. ඒක රටේ ආර්ථික තත්වය එක්ක වෙන දෙයක් නම්, තමන්ගේ පුද්ගලික හරයන් සහ විශ්වාස පද්ධතීන් එක්ක ගැටුමක් නිසා වෙන දෙයක් නම් ගැටළුවක් නෑ. හැබැයි ඒක ඇත්තටම තමන්ගේ ආකල්ප, තමන්ගේ පෞද්ගලික දුර්වලකම්, තමන්ගේ වෘත්තිමය භාවයේ දුර්වලකම් නිසා ඇති වෙන එකක් නම්? උදාහරණයක් විදියට ගත්තොත්, තමන්ට වැඩ කල්දාන පුරුද්දක් තියෙන නිසා, දැන් කරමින් ඉන්න වෘත්තියේ අපිට ඉහළට යන්න බැරි වෙන්න පුලුවන්, අපිව ප්‍රතික්ෂේප වෙන්න පුලුවන්. හැබැයි ඒක නිසා අපි වෘත්තිය ක්ෂේත්‍රය මාරු කරනවා නම්, අළුතින් හොයාගන්න වෘත්තිය ක්ෂේත්‍රයේ අපිට වැඩි සාර්ථකත්වයක් හොයාගන්න පුලුවන් කියලා ෂුවර් කරන්න අමාරුයි. ඒ ගැන අපි වැඩිදුරට කතා කරනවා.

02. අවශ්‍ය අධ්‍යාපනය සහ කුසලතා අනිවාර්ය ද?

උත්තරය: අනිවාර්යයි! අපි කලින් ගණකාධිකාරීවරයෙක් වෙලා හිටියත්, කිසිම දැනුමක් හෝ පුහුණුවක් නැතුව අපිට වඩු ශිල්පියෙක් වෙන්න බැහැනේ. ආන්න ඒ වගේ. ඒ නිසා, තමන් මැදි වයසෙදී තමන්ගේ වෘත්තිය ක්ෂේත්‍රය වෙනස් කරන්න හිතනවා නම්, කරන්න ඕන පළවෙනිම දේ තමයි, ඒකට අවශ්‍ය දැනුම, අධ්‍යාපනය මොනවද, ඒකට අවශ්‍ය වෘත්තිය කුසලතාවයන් මොනවද කියලා දැනුවත් වෙන එක. ඊට පස්සේ ඒවා ලබාගන්න පටන් ගන්න ඕන. ඒකට අවශ්‍ය නම් ඕන තරම් කෙටි කාලීන ඇකඩමික් සහ පුහුණු පාඨමාලා තියෙනවා, එක්කෝ පොඩි මුදලක් ගෙවලා, එහෙම නැතිනම් සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්න පුලුවන්. ඒ වගේම, අද කාලේ ඉන්ටර්නෙට් තියෙනවා නම්, අපිට මාරු වෙන්න ඕන වෘත්තිය ක්ෂේත්‍රයට අදාළ සම්පූර්ණ දැනුම ලබාගන්න පුලුවන් තැන් ඕනෑ තරමට තියෙනවා. අපි ඔන්ලයින් ෆ්‍රී ඉගෙන ගන්න පුලුවන් තැන් ගැනත් කියලා තියෙනවනේ. ඒ විතරක් නෙවෙයි, අදාළ කුසලතා වැඩිදියුණු කරගන්න සහ මුවහත් කරගන්නත් ඕනෑ තරම් තැන් තියෙනවා ඉන්ටර්නෙට් එකේ හොයාගන්න. දැන් මේ දේවල් හැදෑරුවට විතරක් මදි. ඒකට සාක්ෂි විදියට පෙන්නන්න ඩිජිටල් සහතික එහෙමත් ලබාගන්න පුලුවන් නම් හොඳයි. එතකොට දැන් LinkedIn එකේ එහෙම තියෙනවා, අපිට යම් කිසි ක්ෂේත්‍රයකට අදාළව බැජ් ලබාගන්න පුලුවන් සිස්ටම් එකක්. උදාහරණයක් විදියට, අපිට SEO එක්ස්පර්ට් කෙනෙක් කියලා ප්‍රොෆයිල් එකට දාගන්න ඕන නම් කරන්න තියෙන්නේ, මුලින් ඒ ගැන දැනුම ලබාගෙන, ඊලඟට LinkedIn එකේ තියෙන ප්‍රශ්නාවලියකට උත්තර දෙන එක. මේ ප්‍රශ්නාවලියට උත්තර දෙන්න හරියට දැනුම තියෙන්න ඕන. ඇත්ත ටෙස්ට් එකක වගේම සීමිත කාලයක් ඇතුළත උත්තර දෙන්න වෙනවා. ඒකෙන් පාස් වුණහම අපිට SEO ගැන දැනුම තියෙනවා කියන LinkedIn බැජ් එක ලැබෙනවා. ඊලඟට අපිව ජොබ් එකකට හයර් කරන අය ඒක පිළිගන්නවා.

එතකොට ඔය සමහර වෘත්තිය ක්ෂේත්‍ර තියෙනවා, අපි ඒකට මාරු වෙන්න හදන්නේ අපිට කලින් ඉඳලම හැකියාවක් තියෙන නිසා වෙන්න පුලුවන්. උදාහරණයක් ගත්තොත්, බැංකු නිලධාරියෙක් ඉස්සර ඉඳලම විනෝදාංශයක් විදියට කේක් ඩෙකරේට් කරනවා කියමු. එයා හිතනවා ඒ ක්ෂේත්‍රය තමන්ගේ මූලික වෘත්තිය විදියට තෝරගන්න. එතකොට වුණත්, පොඩ්ඩක් කේක් ඩෙකරේෂන් වල අළුත් ට්‍රෙන්ඩ්ස් හොයලා බලලා, අමතර දැනුමක් ලබාගෙන වැඩේට අත ගහන එක තමයි හොඳ!

03. ෆීල්ඩ් එක වෙනස් කරන්නේ ෆුල් අයිම් ද? පාට් ටයිම් ද? ෆ්‍රීලාන්ස් ද?

දැන් කාලේ අර ඉස්සර වගේ ජොබ් එකක් කියන්නේ උදේම නැගිටලා ඔෆිස් එකට ගිහිල්ලා ඔෆිස් එකේ ඉඳගෙන වැඩ කරලා හවස ගෙදර එන ජාතියේ එකක් කියන සංකල්පය මිනිස්සුන්ගේ ඔළුවල තියෙනවා අඩුයි. ඒක හොඳ දෙයක්. විශේෂයෙන්ම කොවිඩ්-19 එක්ක ගෙවුණු පහුගිය අවුරුදු කීපය නිසාත් ඔය ඔෆිස් සංකල්පයෙන් මිනිස්සු ලෝකේ ඕනම තැනක ඉඳලා වැඩ කරන සංකල්පයට හුරු වුණා. එතකොට පාට් ටයිම් වැඩ කිරීම, ෆ්‍රී ලාන්සින් වගේ සංකල්පත් වටිනා විකල්ප කියලා මිනිස්සු තේරුම් ගත්තා. අපිට අපේ වෘත්තිය ක්ෂේත්‍රය මාරු කරන මෙහෙයුමටත් මේ කාරණාව ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන්ම මෙතනදී අපි ආර්ථිකය ගැන හිතන්න ඕන කාරණාවටත් ඒක වැදගත්.

දැන් අපි හිතමු අපි දැනට කරමින් ඉන්න රස්සාව අතඇරලා දාලා කෙලින්ම අපිට ඕන විදියේ රස්සාවකට ගිහිල්ලා වෘත්තිය ක්ෂේත්‍රය මාරු කරන්න හිතනවා කියලා. ඒක සාර්ථක නෑ. අපිට අලුතින් ඇතුළු වෙන්න හදන වෘත්තිය ක්ෂේත්‍රය ගැන යම් දැනුමක් ලබාගන්න හරි පොඩි කාලයක් අවශ්‍යයි. ආන්න ඒ නිසා, හොඳම දේ තමයි, තමන් කරමින් ඉන්න වෘත්තියේ නියැළෙන ගමන්ම, තමන්ට අළුතින් ඇතුළත් වෙන්න ඕන වෘත්තිය ක්ෂේත්‍රයට අදාළ දැනුම, කුසලතාවයන් හදාගන්න එක. ප්ලෑන් එකකට වැඩ කරන එක. අපිට අළුතින් ඇතුළු වෙන ක්ෂේත්‍රයේ ජොබ් එක්ස්පීරියන්ස් ලබාගන්නත් තමන් දැන් කරමින් ඉන්න එක කරන ගමන්ම, පාට් ටයිම් හරි ෆ්‍රී ලාන්සර් කෙනෙක් විදියට හරි වැඩ කරන්න පුලුවන්. ඒක අපේ ආර්ථිකයටත් හොඳයි.

එතකොට අපි කියමු අපිට හදිසියේම කරමින් ඉන්න ජොබ් එක නැති වුණු නිසා ෆීල්ඩ් එක වෙනස් කරන්න හිතනවා කියලා. ඒත් හොඳම දේ තමයි අවම වේතනයක් හරි ගෙවන පොඩි ජොබ් එකක් හරි හොයාගෙන, ඒක කරන අතරේ ප්ලෑන් කරලා අපි අළුතින් ඇතුළු වෙන්න හිතන වෘත්තිය ක්ෂේත්‍රයට අදාළ සුදුසුකම් ටික හදාගන්න එක.

04. ආර්ථිකය ඕකේ ද? බජට් එකක් හදමු ද?

මේක කලිනුත් කිව්වා වගේ අනිවාර්ය දෙයක්. අපි වෘත්තිය ක්ෂේත්‍රය මාරු කළ පළියට ඒ වෘත්තිය ක්ෂේත්‍රයේ උපරිම වේතනයන් කවුරුත් පටන් ගැන්මට අපිට ගෙවන්න ලෑස්ති වෙන්නෙ නෑ. එතකොට, අපිට ආර්ථික අර්බුදයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුලුවන්. කලිනුත් කිව්වනේ ජීවිතේ මැදි වයසෙදී තමන්ගේ වෘත්තිය මාරු කරන එක බොහොම බරපතල තීරණයක් කියලා. අන්න ඒ නිසා, හොඳම දේ තමයි, යම් කිසි ආර්ථික සැලසුමක්, සුරක්ෂිත භාවයක් එක්ක වැඩේට අත ගහන එක. වෘත්තිය ක්ෂේත්‍රය මාරු කරන්න හිතුවට පස්සේ ඕන නම් අපිට මාස හයකට, අවුරුද්දකට වගේ වියදමට ගන්න අමතර මුදලක් ඉතුරු කරලා වැඩේ පටන් ගන්න පුලුවන්. සමහර විට අපේ වියදම් කපා හරින්නත් වෙයි අපි අළුත් වෘත්තිය ක්ෂේත්‍රයේ ස්ථාවර වෙනකල්. ඒකට බජට් ප්ලෑන් එකක් හදලා වැඩේ පටන් ගන්න පුලුවන්.

යම් විදියකට අපිට ජොබ් එකක් නැතිවෙලා අපි අළුත් වෘත්තිය ක්ෂේත්‍රයකට ඇතුළත් වෙන්න හිතනවා නම්, හොඳම දේ තමයි පොඩි හරි ජොබ් එකක් හොයාගෙන ඊලඟට තමන්ගේ අළුත් වැඩේ පටන් ගන්න එක.

05. ඉක්මනට ජොබ් එක්ස්පීරියන්ස් ටිකක්?

මෙන්න මේ කාරණාවත් අපිට අනිවාර්යයි, ජීවිතේ මැද්දෙදි වෘත්තිය ක්ෂේත්‍රය මාරු කරනවා නම්. අපි හැමදේම තීරණය කරගෙන, උත්සාහවන්තව ගේම ගහනවා කියලා අධිෂ්ඨාන කරගෙන, අවශ්‍ය ඉගෙනීම ලබාගෙන, අවශ්‍ය කුසලතා හදාගත්තත්, ඇත්තටම අපිට ජොබ් එකක ස්ථාවර වෙන්න නම් යම්තාක් දුරකට හරි ජොබ් එක්ස්පීරියන්ස් අවශ්‍යයි. මොකද, සමහර දේවල් ප්‍රායෝගිකව මිසක්, පොතෙන් විතරක් ඉගෙන ගන්න බැරි නිසා. ආන්න ඒකට හොඳම ක්‍රමය තමයි, වෘත්තිය ක්ෂේත්‍රය මාරු කරන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරගෙන, අවශ්‍ය දැනුම ලබාගන්න අතරෙම හෝ මූලික දැනුම ලබාගත්තට පස්සේ, ඊට අදාළ ජොබ් එකක් කරන්න පටන් ගන්න එක. එතනදී අර ඉන්ටර්න්ෂිප් කියලා කියන නවක රැකියාවක් වුණත් කමක් නෑ. ලොකුවට ගෙව්වෙ නැති වුණත් කමක් නෑ. මේක අවුරුදු ගණන් කරන්න ඕන ජොබ් එකක් නෙවෙයි. සමහර විට මාස හයක් කළත් ඇති. එතකොට අපිට මැදි වයසෙදි එහෙම ඉන්ටර්න් කෙනෙක් විදියට වැඩ කරලා ජීවිතේ ගෙනියන්න අවශ්‍ය ආදායම ලබාගන්න පුලුවනිද? බැරි වෙන්න පුලුවන්. ආන්න ඒ නිසා තමයි අපි අර හතරවැනියට කිව්වේ බජට් එකක් එහෙම හදාගෙන වැඩේ කරන්න කියලා.

තව දෙයක් තියෙනවා. දැන් මේ ජොබ් එක්ස්පීරියන්ස් එක ලබාගැනීම කියන එක, අපි මාරු වෙන්න තෝරගන්න වෘත්තිය ක්ෂේත්‍රය එක්කත් වෙනස් වෙනවා. උදාහරණයක් විදියට කිව්වොත්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තෝරගත්තොත්, අධිෂ්ඨානයෙන් ගේම ගහන මනුස්සයෙක්ට පටන් ගන්නකොටම වුණත් ප්‍රමාණවත් ඉපයීමක් කරන්න බැරි නෑ. හැබැයි අපි ක්ෂේත්‍රය මාරු කරලා කේක් නිර්මාණකරුවෙක් වුණා කියමු. එතකොට අපි ජොබ් කරලා හරියන්නෙ නෑ. තමන්ගේම ව්‍යාපාරයක් පොඩියට පටන් ගන්න එකයි කරන්න ඕන. එතකොට අපි කියමු අපි මාරු වෙන්නේ පර්යේෂණ ක්ෂේත්‍රය වගේ එකකට කියලා. ඒකෙදී අපිට පටන් ගැන්මට කවුරුත් ලොකු ගණන් ගෙවන ජොබ් දෙන්නෙ නෑ!

06. ස්මාට් නෙට්වර්කින් ගැන හිතුවද?

දැන් කාලේ ඕනම ජොබ් එකක ස්ථාවර වෙන්න, ඉහළට යන්න වැදගත්ම දෙයක් තමයි නෙට්වර්කින් කියන එක. ඒ කියන්නේ සම්බන්ධතා හදාගන්න එක. ඒකත් ස්මාට් විදියට කරන්න ඕන. ඒකට අපි මුලින් අපේ පෝට්ෆෝලියෝ එකක්, සීවී එකක්, LinkedIn ප්‍රොෆයිල් එකක් හදාගන්න එක. ඒවා ගැනත් අපි පහුවට කියනවා. එතකොට මේ අපි අළුතින් ඇතුළත් වෙන්න හදන ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබාගන්න එහෙම පුලුවන් නම් සෑහෙන්න වටිනවා. එතකොට අපි අළුතින් ඇතුළු වෙන වෘත්තිය ක්ෂේත්‍රයේ ගමන් පටන් ගත්තට පස්සේ මුණගැහෙන අයගෙන් එහෙමත් උදව් උපකාර ගන්න පුලුවන්. ඒකට තමන් වටිනවා කියලා, තමන්ට තිරසාර අරමුණක් මේ වෘත්තිය ක්ෂේත්‍රයේ තියෙනවා කියලා පෙන්නන්න වෙනවා. ඒක ගැනත් අපි ඊලඟ පොයින්ට්ස් වල කතා කරනවා.

ඒ ඇරෙන්න, අපිට ආදරණීයයන්ගෙන්, පවුලේ අයගෙන් එහෙමත් අළුතින් වෘත්තිය ක්ෂේත්‍රයකට ඇතුළත් වෙන එකට වක්‍රාකාරව හරි උපදෙස්, දිරිගැන්වීම් අවශ්‍යයි. ඒ නිසා, ඒ අය එක්කත් මේ ගැන කතා කරලාම පටන් ගන්න එක සෑහෙන්න වටිනවා.

07. ෆීල්ඩ් එක මාරු කළාට ජීවිතේ හොඳ වෙයිද?

ජීවිතේ මැද්දෙදී – විශේෂයෙන්ම මැදි වයසෙදී- තමන් මෙච්චර කාලයක් හිටපු ෆීල්ඩ් එක මාරු කරනවා නම්, අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි, කැලේ මාරු වුණා කියලා කොටියගේ පුල්ලි මාරු වෙන්නෙ නැති බව. තව සරලව කිව්වොත්, අපි පළවෙනි පොයින්ට් එකේදී කථා කළානේ ෆීල්ඩ් එක ජීවිතේ මැද්දෙදී මාරු කරන්න හිතන්නේ මොකක් නිසාද කියලා. එතකොට, අපි කරමින් හිටපු එකේ සාර්ථකත්වයක් නැති නිසා නම් ෆීල්ඩ් එක මාරු කරන්නේ, මුලින්ම ඒක ෆීල්ඩ් එකේ වැරැද්දක්ද නැතිනම් අපේ වැරැද්දක්ද කියන දේ හිතලා බලන්න කියලත් අපි කිව්වනේ. ආන්න ඒක මෙතනදී වැදගත්. වෙන විදියකට කිව්වොත්, තමන් කරමින් හිටපු ෆීල්ඩ් එක මාරු කළා කියලා අපිට සල්ලි ගලාගෙන එන්නෙවත්, රැකියාවලට පාවඩ දාලා පිළිගන්නෙවත් නෑ. ඒකට අපේ මයින්ඩ්සෙට් එක, අපේ පුරුදු පුහුණු කම් හදාගන්න වෙනවා.

වැදගත්ම දේ තමයි උත්සාහය. ඇත්තටම උත්සාහවන්තයා ජය ගනී කියන ආප්තෝපදේශය අපි පුංචි කාලේ ඉඳලම මන්තරේ වගේ අපේ කණට මතුරනවා. හැබැයි ඇත්තටම ඒක ඇඟට අරගෙන ජීවිතේ දිනන්නේ කීයෙන් කී දෙනාද? හැබැයි ඉතින් ජීවිතේ මැදි වයසෙදී සම්පූර්ණයෙන්ම තමන් කරගෙන ආපු වෘත්තිය ක්ෂේත්‍රය මාරු කරලා ස්ථාවර වෙන්න හිතනවා නම්, ඒකට මේ නොපසුබට උත්සාහය කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මොකද, කෙනෙක් අවුරුදු ගාණක් ඇතුළත කරන දෙයක් අවුරුදු කීපෙකින් කරන්න තමයි මේ ට්‍රයි කරන්නේ අපි. එතනදී කට්ට කාලා, ගේමක් ගහලා කොහොමහරි නැගිටිනවා කියන අධිෂ්ඨානය, ගට සහ කොයි තරම් වැරදුනත් ආයෙ ආයෙ නැගිටින නොපසුබට උත්සාහය අනිවාර්යයි. එහෙම නැතුව ජීවිතේ පහසුවෙන් ආතල් එකේ කරගෙන යන්න හිතන කෙනෙක්, මැදි වයසෙදී ජොබ් ෆීල්ඩ් එක මාරු කරනවා වගේ අවදානමක් ගන්න නරකයි.

08. අවශ්‍ය අනික් හැමදේම ඕකේ ද?

හරි, දැන් ඔය ඔක්කොම පැහැදිලියිනේ. එහෙනම් කරන්න ඕන දේ තමයි, තමන්ට තියෙන දේවල් රැකියා ලෝකයට ඉදිරිපත් කරන එක. ඉස්සර නම් ඉතින් ආයෙ ජීව දත්ත සටහනක් හදන එක විතරයිනේ කරන්න තියෙන්නේ. හැබැයි දැන් ඒ මදි. අනික අපිට ගේම ගහන්න තියෙන්නෙත් සීමිත කාලයක්. අන්න ඒ නිසා, අපේ ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් එක ඉතාම වැදගත්. ඒකට අපි මොනවද හදාගන්න ඕන කියලා බලමු.

මුලින්ම අපි දැන් මැදි වයසෙදී අපේ වෘත්තිය ක්ෂේත්‍රය මාරු කරන්නනේ යන්නේ. ඒකට දැන් අපි අවශ්‍ය ඉගෙනීම ලබාගත්තා, අවශ්‍ය කුසලතාවයනුත් හදාගෙන යනවා. ඒ අතරේ ඉක්මනට ඉක්මනට අවශ්‍ය වෘත්තිය පළපුරුද්දත් ටිකක් හරි ලබාගත්තා. දැන් කරන්න ඕන, ඔය හැම දෙයක්ම ඇතුළත් කරලා ප්‍රොෆෙෂනල් ලෙවල් එකට අපේ ජීවදත්ත සටහන නැතිනම් සීවී එක හදන එක. ඒ අතරේ පෝට්ෆෝලියෝ එකක් එහෙමත් හදාගන්න පුලුවන් නම් ඒක එක්ස්ට්‍රා වැදගත්. මීට අමතරව අනිවාර්යම දෙයක් තමයි LinkedIn ප්‍රොෆයිල් එකක් හදලා, ඔය ඔක්කොම ගාණට ඒකේ අප්ඩේට් කරලා තියාගන්න එක. ඒ වගේම, තමන් දැන් මාරු වුණු අළුත් ක්ෂේත්‍රය ගැනත් ගැඹුරට හොයලා බලලා, හදාරලා ඉන්න ඕන. ඉන්ටර්වීව් වලට එහෙම මුහුණ දෙන්න ඒ දැනුම අත්‍යවශ්‍ය වෙන්න පුලුවන්. දැන් ඔය කටයුතු ටික කළාට පස්සේ, ජොබ් වලට ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ!

අන්තිමට තව දෙයක්. දැන් ජොබ් වලට ඇප්ලයි කරලා, ජොබ් එකක් ලැබුණට පස්සේ තමන්ගේ අළුත් වෘත්තිය ක්ෂේත්‍රයේ ගේම හරි කියලද හිතන්නේ? නෑ. අපිට කොහොම කළත් අළුත් වෘත්තිය ක්ෂේත්‍රයක ඉහළින්ම ජොබ් එක පටන් ගන්න ලැබෙන්නෙ නැහැනේ. සමහර විට අපි කලින් හිටපු ක්ෂේත්‍රයේ අත්දැකීම් සහ පළපුරුද්ද දැන් ඉන්න ක්ෂේත්‍රයටත් වක්‍රාකාරයෙන් හරි අදාළ වෙනවා නම්, මැද තැනකින් පටන් ගන්න පුලුවන්. හැබැයි අපිට ඕන කරන්නේ දැන් මාරු වුණු ක්ෂේත්‍රයේ එක්කෝ පරිපාලනයේ ඉහළට යන්න, එහෙම නැතිනම් ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙන්නනේ. ආන්න එතනට ලඟා වෙන්න නම් තාම ගේම ඉවර නෑ. ඔය උඩ කියලා තියෙන පොයින්ට්ස් ටික, ජොබ් එක කරන අතරවාරයේ පවා රිපීට් වෙන්න ඕන. නිරන්තරයෙන්ම ඉගෙන ගන්න ඕන. නිරන්තරයෙන්ම තමන්ගේ කුසලතා මුවහත් කරගන්න ඕන. එතකොට ජොබ් එක රොබෝ කෙනෙක් වගේ කරන්නෙ නැතුව, ජොබ් එකේදී ඉගෙන ගන්න පුලුවන් හැමදෙයක්ම, ඉතාම කෙටි කාලයකදී ඉගෙන ගන්න ඕන. ආන්න එතකොට, අවුරුදු පණහෙදි තමන්ගේ වෘත්තිය මාරු කළත්, අවුරුදු කීපයක් යනකොට ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙලා, හොඳ ආදායමක් එහෙම ලබාගෙන සැනසිල්ලේ ඉන්න පුලුවන්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *