අහලා තියෙනවද වචනයක් “ඔෆිස් කල්චර්” එක කියලා? ඕක එක එක ඔෆිස් එකට වෙනස් වෙන දෙයක්. ඒ කියන්නේ ඒ ඒ ඔෆිස් වලට ආවේණික දේවල් එක්ක තමයි ඒ ඒ ඔෆිස් එකේ ඔෆිස් කල්චර් එක හැදෙන්නේ. හැබැයි එහෙම වුනාට, සමහර දේවල් තියෙනවා මොන ඔෆිස් එකේ හිටියත් අපි ප්‍රොෆෙෂනල් මිනිස්සු විදියට පිළිපදින්න ඕන. ඒක හරියට පාරේ යනකොට, රෙස්ටුරන්ට් එකකට ගියහම, ගෙදර ඉන්නකොට අපි නොහිතාම පිළිපදින්න පුරුදු වුණු එක එක ආචාර ධර්ම වගේ තමයි. ඒවා ඇත්තටම හොඳ පුරුදු විදියට නම් කරන්න පුළුවන්. ඒවා හැදිලා තියෙන්නේම අපෙන් තවත් කෙනෙක්ට කරදරයක් වෙන එක, අපි නිසා ඔෆිස් එකේ වාතාවරණයට කරදරයක් වෙන එක වගේම සමහර වෙලාවට අපිටම වුනත් කරදරයක් වෙන එක වළක්වන්න. අන්න ඒ නිසා ඒ වගේ ඔෆිස් එකක වැඩ කරන කෙනෙක්ට තියෙන්න ඕන හොඳ පුරුදු, එටිකට් ගැන දැනගන්න එක හොඳයි.
1. ඔෆිස් එකේ දේවල් පුද්ගලික පාවිච්චියට ගනු එපා
මෙන්න මේක අපි අංක එකට ගන්නේ ලොකු හේතුවක් ඇතුව. ලංකාවේ ගොඩක් ඔෆිස් වල වැඩ කරන බොහෝමයක් දෙනෙක් -විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ නියුතු උදවිය- හිතන්නේ ඔෆිස් එකේ තියෙන දේවල් තමන්ගේ පුද්ගලික ප්රයෝජනයටත් එක්කයි තියෙන්නේ කියලා. ඒ නිසා ඒ අය ඔෆිස් වාහන වල පුද්ගලික ගමන් යනවා, ඔෆිස් ඉන්ටර්නෙට් එකෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවා, ඔෆිස් එකේ A4 කොළ දාලා ඔෆිස් ප්රින්ටරෙන්ම පොඩි එකාගේ පංතියට වැඩ පොත් හදනවා, රෑ වුනහම ඔෆිස් ෆෝන් එකෙන්ම මල් කඩනවා. මේවා එකක්වත් හොඳ පුරුදු නෙවෙයි. ඔෆිස් එකේ බඩු භාණ්ඩ සහ සේවාවන් ඔෆිස් වැඩ වලට විතරක් තියාගන්න එක තමයි හොඳ පුරුද්ද.
2. සද්දේ!
ඔෆිස් එකක් කියන්නේ ලයිබ්‍රියක් නෙවෙයි. ඒ නිසා ඔෆිස් එකක මීක් සද්දයක්වත් නැතිවෙන්න ඉන්න බෑ. හැබැයි ඔෆිස් එකක් කියන්නේ මාළු මාකට් එකත් නෙවෙයි. මොකද, අපිට වැඩක් නැති වෙලාවකට වුනත් අපි කරන සද්ද බද්ද නිසා තව කෙනෙක්ට බාධා වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා අපි ඔෆිස් බඩියෙක් එක්ක සතුටු සාමීචියේ යෙදුණත්, ඒක අනික් අයට කරදර නොවෙන හඬ ප්‍රමාණයකින් කරන්න හිතට ගන්න ඕන. ඒ වගේම ඔෆිස් එකේ ඉන්නකොට තමන්ගේ පුද්ගලික ෆෝන් වුනත් අඩු හඬකින් හරි සයිලන්ට් කරලා හරි තියන්න පුළුවන් නම් හොඳයි.
3. ඔෆිස් එකේ ඉඳගෙන ප්‍රයිවට් කෝල්ස්!
මේකත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක්. අපිට ඔෆිස් එකේ ඉන්නවා කියලා පුද්ගලික දුරකථන ඇමතුමක් නොගෙන ඉන්න විදියක් නෑ. මොකද, ඔෆිස් එකේ ඉන්න වෙලාව කියලා අපිට පුද්ගලික ජීවිතේ බල්ලට දාන්න බැහැනේ. හැබැයි අපි ඉගෙන ගන්න ඕන ඔෆිස් එකේ ඉන්න කාලය ඇතුළතදී පුද්ගලික ජීවිතේට අත්‍යාවශ්‍යම කරුණු කාරණා වලට විතරක් ඉඩ දෙන්න. ඒ කියන්නේ කාත් එක්ක හරි පැය එකහමාරක මලක් කඩන එක කිසිසේත්ම ඔෆිස් එක ඇතුළේ කරන්න වුවමනා දෙයක් නෙවෙයි. කොහොම වුනත් අපිට පුද්ගලික කෝල් එකක් ගන්න අවශ්‍ය වුනොත් හරි ක්‍රමය තමයි ඔෆිස් එකෙන් පොඩ්ඩක් පුද්ගලික තැනකට ගිහින් ඒ කෝල් එක ගන්න එක.
4. ඔෆිස් වැඩ පර්සනල් ගන්න බෑ!
මෙන්න මේක ගොඩක් දෙනෙක් වරද්ද ගන්න තැනක්. ඒ තමයි, ප්‍රොෆෙෂනල් ජීවිතේ දේවල් පර්සනලි ගන්න එක. උදාහරණයක් විදියට ගත්තොත්, බොස් මොකක් හරි වැරැද්දක් පෙන්නලා බණින එක අප්සට් එකක් තමයි. හැබැයි ඒක පර්සනල් අරගෙන “බොස් පරයා මට බැන්නා, හිටපන්කෝ ඕකට ගේම දෙන්න” කියලා හිතන එක අප්සට්. මුලින්ම බොස් බැණලා තියෙන්නේ සාධාරණ හේතුවකටද නැද්ද කියන එක හිතන්න ඕන. හේතුව සාධාරණයි නම් තමන්ගේ පැත්තේ වැරැද්ද හදාගන්න ඕන. අසාධාරණයි නම්, තමන් තමන්ගේ ඩියුටිය හරියට කරලා නිස්කාරනේ බැණුම් අහලා නම් ඒක ගැන කෙලින්ම කතා කරන්න පුළුවන්. හැබැයි අනික් අතට මේ අපි කියන කතාව බොස් ටත් අදාළයි. බොස් වයිෆ් එක්ක වලියක් දාගෙන ඔෆිස් ආවා කියලා, හතර අතේ ඉන්න එවුන්ට බොරුවට බැණලා තමන්ගේ කේන්තිය ඒ පිටින් යවන්න බෑ. ඒක ප්‍රොෆෙෂනල් නෑ.
5. කමියුනිකේෂන්!
සාමාන්‍යයෙන් දැන් කාලේ ඕනම ඔෆිස් එකක් බොහොම නවීන විදියට තමයි සන්නිවේදන කටයුතු කරගෙන යන්නේ. ඒ කියන්නේ ඊමේල්ස් වලින් විතරක් නෙවෙයි, ස්ලැක්, ට්රෙලෝ, වට්ස්ඇප් වගේ සොෆ්ට්වෙයාර්ස් සහ ඇප්ස් එක්කත් සන්නිවේදන කර්තව්‍යය සිද්ධ වෙනවා. මෙතනදී වැදගත්ම දේ තමයි හරියට දෙපැත්තටම සන්නිවේදනය පවත්වා ගැනීම. ඒ කියන්නේ උදාහරණ විදියට කිවුවොත්, ඊමේල් එකක් ආවහම ඒකට රිප්ලයි එකක් අනිවාර්යයෙන් යවන්න ඕන. ඒකට එක පාර රිප්ලයි එකක් යවන්න විදියක් නැති නම් අඩු තරමින් තමන් ඊමේල් එක දැක්කය, ඒකට හැකි ඉක්මනින් අවශ්‍ය පිළිතුර එවනවාය කියලා හරි කියන්න ඕන. එතකොට වට්ස්ඇප් එකේ ඔෆිස් ත්‍රෙඩ් එකේ තමන්ට අදාළව පණිවිඩයක් ආවත් එහෙමයි. අනෙක් අතට ඔෆිස් එකක කට වචනෙන් සිද්ධ වෙන සන්නිවේදනය ඊට පොඩ්ඩක් උඩ ලෙවල් එකකට ගෙනියන්න ඕන. ඒ කියන්නේ, නිකම් කටින් කතාවෙන දේ ඊමේල් එකකිනුත් දන්වන්න ඕන. මීටිමක් තිබ්බොත්, මීටිමේ කතා වෙන දේවල් මීටිමේ හිටපු හැමෝටම මීටින් මිනිට් එකක් විදියට ඊමේල් කරන්නේ ඒකයි.
6. ලකුණු දෙන්න ඕන තැනට ලකුණු දෙන්න
සාමාන්‍යයෙන් ඔෆිස් එකක් කියන්නෙම බොහොම තරගකාරී තැනක්නේ. ඉතින් ඔතන බොහොම සැරට ඔෆිස් පොලිටික්ස් ක්‍රියාත්මක වෙන්න, බෙලි කැපිලි, අංචි ඇදිලි ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඔය ගේම් එකේම එක තැනක් තමයි, අනුන් කරන දේකට තමන් ලකුණු දා ගැනීම සහ හවුලේ කරපු දේකට තනියෙන් ලකුණු දා ගැනීම. ආන්න ඒක කැතයි. කෙනෙක් මහන්සි වෙලා කරන දේක වටිනාකම සහ නම්බුව ඒ කෙනාට දෙන්න ඕන. තමන්ටත් නම්බුව ඕන නම් තමනුත් මහන්සි වෙලා වැඩක් කරලා පෙන්නන්න ඕන. එහෙම නැතුව අනුන්ගේ පානෙන් එලිය බලන්න ඇවිත් පානත් තමන්ගේ කීම ආචාර ධාර්මික නැහැ.
7. ආචාරශීලීව, ගරුත්වයෙන් යුතුව
අවසානයට කියන්න තියෙන්නේ මෙච්චරයි. තමන් වැඩ කරන තැන හැමෝම සමාන වෘත්තිකයෝ කියන හැඟීමෙන් වැඩ කරන්න ඕන. තමන් එක්ක වැඩ කරන හැමෝටම ආචාරශීලීත්වයෙන් යුතුව, නිසි ගරුත්වයෙන් යුතුව සලකන්න ඕන. එහෙම නැතුව ස්ත්‍රී පුරුෂ භාවය මත හෝ තනතුර මත හෝ කුලය, ආගම, ජාතිය, රට හෝ වෙනත් ඕනෑම කරුණක් මත කෙනෙක්ට වෙනස් විදියට සලකන එක හෝ කොන් කරන එක හෝ වෘත්තිමය වශයෙන් හරි පුද්ගලික වශයෙන් හරි පහත හෙළන එක ආචාර ධාර්මික නොවන පුරුද්දක් කියන එක හිතට ගන්න ඕන. ඔය ලිංගික අල්ලස්, අනවශ්‍ය ලිංගික විහිළු, ශරීර පෙනුම පදනම් කරගෙන කරන විහිළු, නොයෙකුත් පුරුදු සහ ජීවන රටාවන් අල්ලගෙන කරන විහිළු එහෙම වුනත් නොකරන්න ඕන කියන්නෙත් උඩ කියපු පදනමෙන්ම තමයි. වෘත්තියේදී හැමෝටම ගරුත්වය දක්වන්න ඕන කියන එක අමතක වෙනවා නම් පේන තැනක ලියලා තියාගත්තත් කමක් නෑ. ඒක ඒ තරම් වටිනවා!
Leave a Reply