අපි වැඩි දෙනෙක් ඉතාම කාර්යබහුල ජීවිත ගෙවන අය. උදේ නැගිටලා, රස්සාවල් සහ ඉගෙනීමේ කටයුතු වලට දුවලා, දවසම කට්ට කාලා, ආයෙ ගෙදර එන්නෙ පාං කියාගන්න බැරි ගාණට. හුඟක් වෙලාවට අපි දවසම ඉන්නේ ඉඳගෙන, කන්නෙ බොන්නෙ කඩෙන්. අපිම දන්නවා මේ විදිහට ජීවත් වෙන එක එච්චර සෞඛ්‍යයට හොඳ මදි කියලා. ඒත් ඉතින් මැරිලා මැරිලා ගෙදර එන අපිට ආයෙ ජිම් යන්න, ට්‍රෙඩ්මිල් පදින්න තරම් වේලාවක්, පණක් නෑ. ඒ නිසා සෞඛ්‍යය කියන එක ගැන දවසින් දවස අමතක කරලා අපි ඔහේ ජීවත් වෙනවා.
ඇත්තටම මේකට විසඳුමක් නැද්ද? පට්ට බිසී ජීවිතයක් ගතකරන ගමන් සෞඛ්‍ය සහ නීරෝගීකමත් රැකගෙන ෆිට් එකේ ඉන්න බැරිද?
අනිවාර්යයෙන්ම පුළුවන්. එහෙම කරන්නේ කොහොමද කියලා තමයි අපි මේ ලිපියෙන් කියලා දෙන්න යන්නෙ.
1. උදේ කෑම මග අරින්න එපා රජෝ!
බිසී පොරකට හරි පොරවරියකට හරි ලොකුවටම මගහැරෙන දෙයක් තමයි මේ උදේ කෑම. සමහර වෙලාවට දවල් කෑම තමයි දවසේ පළමු ආහාරය හැටියට බඩට වැටෙන්නේ. එහෙමත් නැත්නම් උදේට කන්නේ ඉර මුදුන් වෙන්නත් ආසන්න උනාම. හැබැයි රජෝ උදේ කෑම කියන්නේ ෆිට් එකේ ඉන්න බලාපොරොත්තුවක් තියනවානම් අනිවාර්යයෙන් මිස් නොකරගත යුතු ආහාර වේලක්. දියවැඩියා සහ හදවත් රෝග වළක්වන්නත්, ශරීරයේ බර වැඩිවීම පාලනය කරන්නත් පෝෂ්‍යදායී උදේ කෑම වේලක් ගැනීම ඉතාම වැදගත් බවයි විශේෂඥයො කියන්නෙ.
2. හොඳට බොන්න
මෙතනදී අපි හොඳට බොන්න කියන්නේ වෙන මොනවත් නෙමෙයි. වතුර. ප්‍රමාණවත් තරම් වතුර බීල ශරීරය හයිඩ්‍රේටඩ් පිට (සජලව) පවත්වාගන්න නිතරම වග බලාගන්න. ඒ වගේම නිතරම වතුර බීල හයිඩ්‍රේට් වෙලා ඉඳිද්දි ඔය අනවශ්‍ය කාබනේට්ඩ් බීම, පැණි රස වැඩි පළතුරු බීම වගේ දේවල් වලට හිත යොමු වෙන එකත් වැළැක්වෙනව. ජලය නිසි පරිදි පානය කිරීම මගින් කැලරි දහනය වේගවත් වීම වගේම ශරීරයේ බර අඩුවීමත් සිද්ධ වෙනවා කියල වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කරලයි තියෙන්නෙ.
3. කෑම ගැන සැළකිල්ලෙන්
වැඩ වැඩිවීමත් එක්ක ගෙදරදී සෞඛ්‍යයට හිතකර විදිහට කෑම වේලක් ගන්න ඉඩක් ලැබෙන්නෙම නෑ. උදේ හවස රස්සාවලටම දවස ගත උනාම උයන්න වෙනම වෙලාවක් වෙන් කරගන්නත් අමාරුයි. ඒ හින්දා වඩා ලේසියට දවල්ට කඩෙන් කෑම එකක් අරන් කනවා, උදේට ෂෝටීට්ස්, රෑට කොත්තු ෆ්‍රයිඩ් රයිස් කනවා. අපිත් නොදැනිම අපේ ඇඟ පතවල් ආරල එන්න පටන් ගන්නවා.
මේකට කරන්න පුළුවන් හොඳ විසඳුමක් තමයි සතියකටම සරිලන ආහාර වේල් සති අන්තයේදී පිළියෙල කරන එක. ඊට පස්සේ ඒ කෑම නිසි පරිදි අසුරලා, ශීතකරණයේ දාල, මයික්‍රොවේව් කරල එදිනෙදා ආහාරයට ගන්න පුළුවන්. එහෙම නැත්නම් කළින් දවසෙ රාත්‍රියෙදි පොඩි වෙලාවක් වෙන් කරලා පහුවදාට අවශ්‍ය එළවලු මාලු කලින් සකස් කරලා තියන්නත් පුළුවන්. මේ ආහාර පුළුවන් තරම් සෞඛ්‍යයට හිතකර සමබර ආහාර කරගන්න බලන්න.
4. පොඩි බඩගිනි වලදි පරිස්සමෙන්!
ඔෆිස් එකේදි, කාර්යබහුල දවස ගෙවන අතරතුරදි පොඩි පොඩි බඩගිනි එන එක සාමාන්‍යයයි. මේ සමහර පොඩි බඩගිනි කෙළවර වෙන්නෙ බඩ උස්සගන්නවත් බැරි තරමට පිටි බහුල, තෙල් බහුල කෑම ගිලදාලයි. ඒ නිසා මේ විදිහෙ පොඩි බඩගිනි මට්ටු කරන්න සෞඛ්‍යයට හිතකර පොඩි ස්නැක්ස් ටිකක් ඔයාගෙ ගමන් මල්ලේ තියාගෙන ඉන්න එක වටිනවා. රටකජු ටිකක්, කපපු පළතුරු, ඩාක් චොක්ලට් පෙත්තක් වගේ අසුරගෙන ගියොත් දවසේ සැරින් සැරේට ඇතිවන පොඩි බඩගින්න ශරීරයට ලොකු හානියක් කරගන්නේ නැතිවම මට්ටු කරගන්න පුළුවන් වේවි.
5. ලේසි වැඩක් දෙකක් අමාරු කරගන්න
බස් හෝල්ට් එකක් යන්නත් ත්‍රීවීල් එක, කාර් එක පාවිච්චි කරන එක නවත්තලා, ඒ දුර පයින් යන්න උත්සාහයක් දාන්න. ඔෆිස් එකේදි ලිෆ්ට් එක වෙනුවට පඩි පෙළ පාවිච්චි කරන්න ගන්න. එතකොට ඇඟ තව ටිකක් වෙහෙසේවි. වෙලාව තියෙනවනම් සාමාන්‍යයෙන් බස් එකෙන් බහින හෝල්ට් එකට හෝල්ට් එකක් එහායින් හෝ මෙහායින් බැහැල ඒ දුර පාගමනින් එන්න. හැබැයි ඉතින් ‘වෝකින් ඩෙඩ්’ එකේ සොම්බි ඇවිදින විදිහට එන්නෙ නැතිව ටිකක් අතපය විසිකරලා වේගෙන් ඇවිදින්න.
6. ඩෙස්කර්සයිස්!
බිසී ජීවිතයක් ගත කරන කෙනෙක් දවසේ වැඩි වෙලාවක් ඉඳගෙන තමයි ගත කරන්නේ. වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්න එක අපි හිතනවට වඩා භයානක ප්‍රතිඵල උදා කරවන්නක්. අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල්, තරබාරු බව වගේ සෞඛ්‍ය ගැටළු රැසකට මේ ඉඳගෙනම සිටීම බලපානව. අන්න ඒකට යම්තාක් හොඳ විසඳුමක් තමයි ඩෙස්කර්සයිස් කියන්නේ. මොකක්ද මේ ඩෙස්කර්සයිස් කියන්නේ? (ඔෆිස්) ඩෙස්ක් එකේ ඉඳන් කරන්න පුළුවන් එක්සර්සයිස් වලට තමයි මෙහෙම කියන්නේ.
පහත දැක්වෙන වීඩියෝ දෙකෙන් ඔයාලට පුළුවන් ඔෆිස් එකේ වැඩ කරන ගමන් කරන්න පුළුවන් ඩෙස්කර්සයිස් කීපයක් ගැන ඉගෙනගන්න. හැබැයි පුතෝ ඔෆිස් බඩු භාණ්ඩ වලට හානි කරන්නෙ නැතිව පරිස්සමෙන් මේවා කරන්නත් වග බලාගන්න.
7. ව්‍යායාම කරන්න වෙලාවක් හදාගන්න හැටි
දැන් හුඟක් අයට ව්‍යායාම එපා වෙන්නේ මේ සඳහා යොදාගන්න තරම් කාල වේලාවක් නැතිකම හින්දයි. මේකට කරන්න පුළුවන් හොඳම විසඳුමක් වෙන්නේ සාමාන්‍යයෙන් නැගිටින වෙලාවට වඩා ටිකක් කලින් උදේට නැගිටලා, ඒ වෙලාව ව්‍යායාම වලට වෙන් කරන එක තමයි. ඒත් ඉතින් උදේ වරුවෙදි නිදාගන්න හැම මිනිත්තුවම හරිම වටින නිසා මේක හැමෝටම කරන්න බැරිවෙයි. එහෙම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් තමයි දවසේ වෙලාවන් කීපෙකට ව්‍යායාම බෙදාගෙන කරන එක. ඒ කිවුවෙ එක දිගට විනාඩි 20ක් එක්සර්සයිස් කරන්නේ නැතිව උදේට විනාඩි 10ක් සහ හවසට විනාඩි 10 වගේ එක්සර්සයිස් කරන එක. හයි ඉන්ටෙන්සිටි එක්සර්සයිසස් වගේ දෙයක් තමයි බිසී ජීවිතයක් ගත කරන කෙනෙක්ට හොඳටම ගැලපෙන්නෙ. පහත වීඩියෝවෙ දැක්වෙන්නෙ ඒ විදිහෙ ව්‍යායාම ක්‍රම කීපයක්. හැබැයි මේ ව්‍යායාම කරන්න කලින් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දන්වලා, වෛද්‍ය උපදෙස් ඇතුව කරෝතින් තමයි වඩාත් හොඳ.
8. කම්මැලි කමට බොරු හේතු හදාගෙනද?
සමහරු ඉන්නවා බිසී ලයිෆ් එක පිටින් දාල කම්මැලි කමට නිකන් ඉන්න හේතු හොයන. ඔයත් ඒ විදිහේ කම්මැලිකමට හේතු හදාගෙන ව්‍යායාම මග හරින කෙනෙක්ද කියලා තමන්ගෙම හිතට තට්ටුවක් දාල බලන්න. එහෙම තත්ත්වයක් නම් තියෙන්නේ වහාම ක්‍රියාත්මක වෙලා දවසේ දින චරියාව ඇතුළට ව්‍යායාම කරන්න පොඩි වෙලාවකුත් ශෙඩූල් කරගන්න. ඔය සමාජ ජාල වල කරක් ගහන වෙලාවෙන් මේකට වෙලාවක් වෙන් කරගන්න එක ඒ තරම් අමාරු වෙන එකක් නෑ නේද? අමාරුවෙන් හරි පටන් ගැන්මක් අරගෙන කීප දවසක් ඇදගෙන ගියාම ව්‍යායාම කිරීමත් ඔයාගෙ දින චර්යාවේ කොටසක් බවට නොදැනීම පත්වෙයි.
9. ස්ට්‍රෙස් අඩු ජීවිතයක්
කොච්චර බිසී උනත් ජීවිතේ පුංචි පුංචි දේවල් විඳින්න, වර්ක් – ලයිෆ් බැලන්ස් එක තියාගන්න අමතක කරන්න එපා. එහෙම නැත්නම් ඔයා ඉක්මනින්ම ස්ට්‍රෙස් වේවි. කොච්චර බිසී උනත් වැඩ කරන ගමන් කෑම කන්න තියාගන්න එපා. ඒකට වෙනම පුංචි හරි විවේකයක් අරන් කෑම සහ විවේකය රස විඳින්න. වැඩ අතරතුර කෙටි හෝ විවේක කාලයක් අරගෙන ඇස් වගේම මනසත් ටිකක් රිලැක්ස් කරගන්න. රිලැක්ස් වෙන විදිහේ සංගීතයක් අහන්න. ස්ට්‍රෙස් හෝමෝනය වෙන කෝටිසෝල්ට පුළුවන් ඔයාව අනවශ්‍ය විදිහට බඩගිනි කරලා වැඩිපුර ආහාර ගන්න පොළඹවන්න. ඒක ශරීරයේ බර වැඩිවීමට වගේම අනවශ්‍ය ලෙඩ රෝග රැසකටත් මග පාදාවි. ඔෆිස් එකේ වැඩ කරන ගමන් උනත් ස්ට්‍රෙස් එක යවාගන්න කරන්න පුළුවන් වැඩ තියනවා. ඒ ගැන අපේ මේ ලිපියෙන් ඔයාලට දැනුවත් වෙන්න පුළුවන්.
10. යහපත් නින්දක් ලබාගන්න
සමහරුන්ට නම් දවස තිස්සේ මැරිල මැරිල ගෙදර ආවම රෑට දන්නෙවත් නැතිව නින්ද යනවා. ඒත් තවත් සමහරු දවල් දවසේ මග ඇරුන විනෝදාස්වාද මාධ්‍ය වල ඇරියස් එක අල්ලන්නෙ රෑට ඇහැරිලා ඉඳලයි. තවත් අයට රෑටත් වැඩ. හැබැයි ගොඩ දෙනෙක් නොහිතුවට ප්‍රමාණවත් සහ යහපත් නින්දක් නොලැබෙන එකත් සෞඛ්‍ය ගැටලු ගොඩකට මග පාදනවා. නින්දේ අක්‍රමිකතා නිසා හදවත් රෝග, දියවැඩියාව, වකුගඩු රෝග වගේ සෞඛ්‍ය අවදානම් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් තමන්ගේ බිසී ලයිෆ් එක තමන්ගෙ ආයතනයටම සීමා කරල, ගෙදර ඇවිත් යහපත් නින්දක් ලබන්න වග බලාගන්න.
Leave a Reply