ඔන්ලයින් මංගල යෝජනා සෙවීමේ වාසි අවාසි

කපුවෝ දැන් හොයන්න අමාරුයි. හෙව්වත් කපුවෝ ගාව ඉන්න මනමාලියෝ මනාලයෝ ගාණ අඩුයි. එයාලගේ ඩේටබේස් එක පොඩියි. ඒ නිසා කපුවා ඒ ඉන්න යුනිට් කීපයෙන් එකක් කොහොම හරි අපිටත් පංගාත්තු කරලා දෙන්න උත්සාහ කරනවා. මංගල කිංකිනි වගේ පුවත්පත් දැන්වීම් හොඳ වුවත් ඔන්ලයින් මංගල යෝජනාවලට ඊට වඩා වැඩි පහසුකම් ගොඩක් තියෙනවා. 

 

අවාසි 

 

1. වංචාකාරයින්ටත් පහසු වීම 

සාමාන්‍ය මංගල කිංකිනි පුවත්පත් දැන්වීම් වලට වංචා කරද්දි ඒ පුවත්පත් දැන්වීම් දකින අයෙක් ඉන්නට ඕනි. ඒ පුවත්පත් දැන්වීම් වලට පිළිතුරු ලියන්නට ඕනි. ඒවා තැපැල් කරන්නට ඕනි. ඒත් මේ ඔන්ලයින් වෙබ් අඩවි වලදි තියෙන්නේ පිංතූර සමග විස්තර ඇතුළත් කරලා ෆෝන් එකෙන් නැතිනම් ලැප්ටොප් එකෙන් වෙබ් අඩවියට මුදල් ගෙවීම පමණයි. කිසිවෙකු දැනගන්නෙත් නැහැ. ඒ නිසා කසාද බැඳලා දරුවන් ඉන්න අයටත් තමුන් නොයිඳුල් මනාලියක්, මනාලයෙක් විදිහට පෙනී ඉඳලා වංචා කරන්නට ඉඩ කඩ හැදිලා තියනවා. 

 

2. ඡායාරූප ආදිය හුවමාරු වීම 

මේක පිරිමි අයට ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් කාන්තාවන්ට තමුන්ගේ ඡායාරූප සහ විස්තර අන්තර්ජාලයේ අඩවි වල හුවමාරුවීම ගැටළුවක් වෙන්නට පුළුවන්. ඇත්තටම වෙබ් අඩවිය විසින් අදාළම අයට පමණක් තොරතුරු පෙන්නුවත් යම් මානසික අවුල් තියෙන උදවියට මේ පිංතූර සහ දත්ත හරහා යම් නොමනා ක්‍රියාවල නිරත වෙන්නට ඉඩ ලැබෙනවා. එවැනි දේවල් සිදුවූ පසු ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නත් ටිකක් අමාරුයි. 

 

3. තොරතුරු වල ආරක්ෂාව 

පත්තරයක හෝ කපුවෙකු හරහා මංගල යෝජනා හොයනකොට ඒ අපේ දත්ත තියෙන්නේ එක තැනක විතරයි. ඒත් අන්තර්ජාලයේ පළ කළාම ඇත්තටම දත්ත කැමති ඕනාම කෙනෙක්ට ගැලපුනාට පස්සේ විස්තර බලාගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාජ විදිහට ගැලපීමක් ඇතිකරගත්තොත් සෝෂල් මීඩියා කන්ටැක්ට් ආදියත් සොයාගන්නට හැකියි. මේවා අද කාලේ බොහොම සුලබ දේවල් වුවත් ඇතැම් විට ඒ හරහා කෙනෙක් අපහසුතාවයට ලක් වෙන්නට පුළුවන්. 

 

වාසි 

 

1. තමුන්ගේ අවශ්‍යතාවයට අනුව තෝරාගත හැකි වීම 

උස, බර, කේන්දර තොරතුරු සහ අධ්‍යාපන මට්ටම් අනුව හරියනම කෙනා තෝරාගන්න නවීන ඔන්ලයින් මංගල යෝජනා වෙබ් අඩවි වලදී පුළුවන්. ඉස්සර කපුවන් පාවිච්චි කරලා වැඩේ කරද්දි කපුවා පුළුවන් තරම් දෙපැත්තේ නොගැලපෙන දේවලුත් මැච් කරන්න තමයි උත්සාහ ගන්නේ. ඒත් යාන්ත්‍රික බුද්ධියෙන් වෙබ් අඩවි හරහා මංගල යෝජනා තෝරද්දි වෙබ් අඩවිය කපුවෝ වගේ බලෙන් මැච් කරන්නේ නැහැ. අදාළ අයගේ කැමැත්ත අනුව තමයි එකිනෙකා මුණගස්වන්නේ. 

 

2. කලින් ඇසුරු කළ හැකිවීම 

ඔන්ලයින් නොවන අවස්ථාවකදී සීයකට විතර එකපාර රික්වෙස්ට් යවන්න බැහැ. තෝරාගත් දෙදෙනෙකු හමුවූවාට පසුව තමයි එතැන සම්බන්ධතාවය ඇති වෙන්නේ. එතෙක් ඔවුන් එකිනෙකාව දන්නේ නැහැ. ඔන්ලයින් හමුවූ විට අනිවාර්යයෙන් කතා බහ කරන හැම කෙනාම කසාද බඳින්න ඕනි කියලා එකක් නැහැ. ඒ අදාළ දෙන්නාටම තමන්ගෙ අදහස්, අනාගත අරමුණු ආදිය කතා බහ කරලා හරියන්නේ නැතිනම් අයින් කරන්න පුළුවන්. ගොඩක් ඔන්ලයින් අඩවි වල ඡායාරූප පළ කරලා තියෙන නිසා අදාළ කෙනාගේ රූපය ගැන දළ අදහසක් ගන්නත් පුළුවන්. 

 

3. අවශ්‍ය අය පමණක් එකතු වීම 

ගෙදරක කෙනෙක්ට මගුලක් හොයන්න ගියොත් ඒකට දෙමාපියන්ද, ඥාතීන්ද සහෝදර සහෝදරියන්ද ඔක්කොම එකතු වෙනවා. ඇතැම් වෙලාවට මේ තෝරන අය වැඩි වෙද්දි අදාළ මනමාලයා හෝ මනමාලිය වඩාත් කැමති කෙනාව තෝරාගන්නට අවස්ථාවක් නැහැ. ඒත් ඔන්ලයින් පසුබිමකදි අම්මා තාත්තා දැන්වීම දැම්මා නම් එයාලටත්, තමුන්ම දැන්වීම පළ කළානම් තමන්ටත් වඩාත් පහසුවෙන් අදාළ කෙනා තෝරාගන්න පුළුවන්. අණබෙර ගහල රටටම කිව්වේ නැත්නම් කවුරුවත් දැනගන්න විදියකුත් නැහැ. 

 

4. කිහිප වරක් උත්සාහ කළ හැකි වීම 

කපුවෙක් හරහා වැඩක් කරගන්න අපි දසදහස් ගණනින් වැඩේ හරිගියාම ඔහුට ගෙවන්නට ඕනි. මංගල කිංකිනි වගේ ඒවටත් ටිකක් සැර ගාණක් ගෙවන්න ඕනි. ඒත් මේ වෙබ් මංගල යෝජනාවලට සාපේක්ෂව අඩු මුදලක් තමයි වැය වෙන්නේ. එයින් වෙබ් එකේ රෙජිස්ටර් වී සිටින බෙහෝ අයට සිය ඉන්ටරෙස්ට් එක පාන්න අවස්ථාව උදා වෙනවා. 

වයස වැඩි කෙනෙක් පළකළ දැන්වීමකට කිසිම ප්‍රතිචාරයක් ආවේ නැහැ කියල අපි හිතමු. ඒ වගේ අයට නැවත නැවත තමුන් සොයන දේවල් අඩු කරමින්, වෙනස් කරමින් සහකරුවෙක් හෝ සහකාරියක් සොයන්නට උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම ඉක්මන් අඩවියේ වැඩිපුර ගෙවලා ඇඩ් එක උඩින් පෙන්වනවා වගේ අපේ ඇඩ් වලට ප්‍රමුඛතාවයක් (Priority) ලබාගන්නත් මේ මංගල යෝජනා අඩවි වලදි අපිට පුළුවන්. 

 

තාක්ෂණය එක්ක සමාජ ජාලා කොතරම් ජනප්‍රිය වුවත් ඒවායෙන් විවාහ, පෙම් සබඳතා ඇතිකර නොගෙන වයසට යන පිරිසකුත් සමාජයේ කොන්වෙලා ඉන්නවා. ඔවුන්ට ඔන්ලයින් ක්‍රම හරහාම සිය මනාලිය, මනාලයා හොයාගන්න දැන් අවස්ථාව ඇවිත් තියෙනවා. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *