එදිනෙදා අපිට හමුවෙන ෆේක් දේවල් අතුරින් ජෙනුයින් එකක් හොයාගන්න උපදෙස්!

ගොඩක් වෙලාවට අපිට අහන්න ලැබෙන දෙයක් තමයි, දැන් කාලේ තියෙන්නේ බාල බඩු කියන එක. වෙන විදියකට කිවුවොත්, ජෙනුයින් බඩු දැන් කාලේ සෑහෙන්න හිඟයි. ඒ වෙනුවට තියෙන්නේ ජෙනුයින් එකේ විදියටම හදපු ෆේක් එව්වා. ඇත්තම කිවුවොත් දැන් කාලේ ඉන්න ගොඩක් මිනිස්සුත් ෆේක්නේ ආයුබොවංඩ. ඉතින් ඒ නිසා අපිට ඉගෙන ගන්න වෙනවා මේ ෆේක් එව්වා අතුරින්, එහෙම නැතිනම් නියම බඩුවල විදියට හදපු දේවල් අතරින් ජෙනුයින් එකක් ඇත්තටම ජෙනුයින්ද කියලා හොයාගන්නේ කොහොමද කියන සෑත්තරේ!

 

1. ජෙනුයින් පෝලරයිස්ඩ් සන්ග්ලාසස්?

පෝලරයිස්ඩ් සන්ග්ලාසස් සහ පෝලරයිස්ඩ් නැති සන්ග්ලාසස් අතර වෙනසක් තියෙනවා. ඒ තමයි අර දීප්තිමත් වස්තූන් වලින් එන ඇහැට අමාරු දිස්නේ ගහන ගතිය නැති එක. උදාහරණයක් විදියට ගත්තොත්, ඉස්සරහින් එන දීප්තිමත් ලයිට් එළියක්, පෝලරයිස්ඩ් නැති සන්ග්ලාසස් වලින් පේන්නේ බොඳ වෙච්ච ගතියකින්. ඒත් පෝලරයිස්ඩ් සන්ග්ලාසස් වලින් දීප්තිමත් ලයිට් එළියේ දීප්තිය අඩු කරලා, ඒත් බොහොම පැහැදිලි විදියට පෙන්නනවා.

සාමාන්‍යයෙන් පෝලරයිස්ඩ් සන්ග්ලාසස් ටිකක් මිලෙන් අධිකයි. හැබැයි දැන් දැන් ඔය ෂුවර් නැති සන්ග්ලාසස් විකුණන තැන් වලින් කරන උප්පරවැට්ටියක් තමයි, පෝලරයිස්ඩ් කියලා ස්ටිකර් එක ගහලා බාල සන්ග්ලාසස් වැඩි ගාණට විකුණන එක. හැබැයි ඇත්තටම අවු කණ්ණාඩි දෙකක් පෝලරයිස්ඩ්ද කියලා බලන්න පුළුවන් විදියක් තියෙනවා. 

සන්ග්ලාසස් දෙක දාගෙන කම්පියුටර් එක ගාවින් වාඩි වෙන්න. කම්පියුටර් ස්ක්‍රීන් එකේ දීප්තිය උපරිම වැඩි කරලා, වර්ඩ් ඩොකියුමන්ට් එකක් හරි වෙනත් ඒ වගේ තනි සුදු ස්ක්‍රීන් එකක් හරි විවෘත කරන්න. දැන් ඔලුව හෙමිහිට පැත්තට ඇල කරන්න. එතකොට ස්ක්‍රීන් එක යම් මොහොතකදී අඳුරු වෙනවා. එහෙම වෙන්නේ නැති නම් ඔලුව අනික් පැත්තටත් ඇල කරලා බලන්න. දෙපැත්තෙන් කොයි පැත්තට ඔලුව ඇල කලත් එක තැනකදී ස්ක්‍රීන් එක අඳුරු වෙන්නෙ නැතිනම් සන්ග්ලාසස් දෙක පෝලරයිස්ඩ් නෙවෙයි!

 

2. ජෙනුයින් ලෙදර්

සාමාන්‍යයෙන් අපි සෑහෙන්න ලෙදර් බඩු පාවිච්චි කරනවනේ. ඒ කියන්නේ අපේ මුදල් පසුම්බි වල ඉඳලා කලිසමට දාන බෙල්ට් එක දක්වා සෑහෙන්න ලෙදර් බඩු අපි ගාව තියෙනවා. හැබැයි මේ ගොඩක් එව්වා නියම ලෙදර් නෙවෙයි. මොකද, නියම ලෙදර් වල කොලිටිය ඉහළ වුනාට පාවිච්චිය ටිකක් අමාරුයි. ඒ නිසාම කෘත්‍රිම ලෙදර් වලින් තමයි මේ දේවල් ගොඩක් වෙලාවට හදන්නේ. කොහොම වුනත් සමහර වෙලාවට ජෙනුයින් ලෙදර් කියලා කෘත්‍රිම ලෙදර් වලින් හදපු බඩු අපිට විකුණන්න එන වෙලාවලුත් තියෙනවනේ. ආන්න ඒ වගේ වෙලාවට අපිට ලෙදර් එක ඇත්තටම ජෙනුයින්ද කියලා හොයලා බලන්න ක්‍රම තියෙනවා.

ලේසිම ක්‍රමේ තමයි ලෙදර් එක උඩට වතුර ටිකක් දාන එක. කෘත්‍රිම ලෙදර් නම් ඒ වතුර ටික එහෙමම එකතු වෙලා තියෙනවා. හැබැයි නියම ලෙදර් වතුර උරාගන්නවා. ඒ නිසා විනාඩි කීපයක් යනකොට වතුර ටික ලෙදර් එකට උරාගත්තොත්, අපිට ෂුවර් එකට කියන්න පුළුවන් ඒක ජෙනුයින් ලෙදර් කියලා.

 

3. ජෙනුයින් රත්තරන්

රත්තරං දැං හරි ගණං නේ! ඒ නිසාම අපිට ඔය හොර රත්තරං වලට රැවටෙන්න බෑ. සාමාන්‍යයෙන් මෙතන හොර රත්තරං කියන්නේ සම්මතයට නැති මාත්තු රත්තරං වලට. ජාත්‍යන්තර සම්මතයට අනුව නම්, රත්තරං හොඳයි කියලා සැලකෙන්න අඩු තරමින් කැරට් 10 හෝ ඊට උඩින් තියෙන්න ඕන. ඒ කියන්නේ 41.7% ක් වත් රත්තරන් තියෙන්න ඕන. 

සාමාන්‍යයෙන් රත්තරන් ජෙනුයින් නම් ඒ බව සඳහන් කරලා තියෙන ක්‍රමයක් තියෙනවා. ඊට වඩා පහසු ක්‍රම වලට අපිට නියම රත්තරන් හොයාගන්නත් පුළුවන්. සරලම ක්‍රමයක් තමයි අවශ්‍ය රත්තරන් භාණ්ඩය වතුර භාජනයකට දැමීම. නියම මාත්තුවේ රත්තරන් බරයි. පටස් ගාලා ගිලෙනවා. එහෙම ගිලෙන්නේ නැතිනම් ඒක නියම ප්‍රමිතියට වඩා බාල, ඉමිටේෂන් රත්තරන් කියලා කියතැහැකි. තව ක්‍රමයක් තමයි ඉතාම ප්‍රබල කාන්දමක් අරගෙන, රත්තරන් භාණ්ඩය ඒකේ ඇලෙනවද කියලා බලන එක. ඇලෙනවා නම් ඒක නියම රත්තරන් නෙවෙයි. රත්තරන් චුම්භක ආකර්ෂණය තියෙන මූලද්‍රව්‍යයක් නෙවෙයි.

එහෙම නැතිනම් ඉතින් ලේසියෙන්ම ලඟම තියෙන ස්වර්ණාභරණ සාප්පුවට ගිහින් චෙක් කරගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඒ අය රන් භාණ්ඩයේ පේන්නේ නැති තැනකින් පීරි ගාලා රත්තරන් බිඳිත්තක් අරගෙන, නයිට්‍රික් ඇසිඩ් වලට දාලා ටෙස්ට් කරනවා. එතනින් කැරට් ගාණ හරියටම දැනගන්නත් පුළුවන්.

 

4. ජෙනුයින් පෙන් ඩ්‍රයිව් එකක්

 

පෙන් ඩ්‍රයිව් එකක් කියන්නේ ඉස්සර වගේ සුඛෝපභෝගී තාක්ෂණික භාණ්ඩයක් නෙවෙයි. සමහර වෙලාවට බස් එකටත් ගොඩවෙනවා රුපියල් දෙසීයට පෙන් ඩ්‍රයිව් විකුණන වෙළෙන්දෝ. හැබැයි මෙතන එක ප්‍රශ්නයක් තියෙනවා. හොඳ පෙන් ඩ්‍රයිව් අතරේ හොරට ගහපු හොර පෙන් ඩ්‍රයිව් එහෙමත් අද කාලේ සෑහෙන්න තියෙනවා. සමහර වෙලාවට මේ ෂුවර් නැති පෙන් ඩ්‍රයිව් වල නමක් ගමක් නැති නිසා පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට ඔය ප්‍රසිද්ධ පෙන් ඩ්‍රයිව් බ්‍රෑන්ඩ් ගහපු හොර පෙන් ඩ්‍රයිව් එහෙමත් තියෙන එක තමයි ගැටළුව.

පෙන් ඩ්‍රයිව් එකක් ෂුවර් නැතිනම් ඒක ෂුවර් කරගන්නත් හැබැයි ක්‍රම තියෙනවා. Check Flash නැතිනම් Chip genius නැතිනම් USB Memory Stick Tester වගේ නොමිලේ ලබාගන්න පුළුවන් ටූල් එකක් ආධාරයෙන් පෙන් ඩ්‍රයිව් එක ටෙස්ට් කරලා බලන්න පුළුවන්!

 

5. ජෙනුයින් ෆෝන් එකක්

මේක නම් ඒ තරම් අමාරු කාරියක් වෙන්න බැහැනේ. මොකද දැන් කෙලින්ම බ්‍රෑන්ඩ් එකේ අලෙවි නියෝජිත ගෙන්, නියම වගකීමක් ඇතුවම ස්මාට්ෆෝන් එකක් ගන්න පුළුවන්නේ. එහෙමද හිතන්නේ? ඒක වැරදියි. ඔය ප්‍රසිද්ධ ෆෝන් බ්‍රෑන්ඩ් වල විදියටම හදපු හොර බ්‍රෑන්ඩ් ඕන තරම් තියෙනවා. තාමත් ඔය පොඩි පොඩි ෆෝන් කඩවලින් එහෙම ස්මාට්ෆෝන් ගන්න යන හාදයෝ ඔය හොර බ්‍රෑන්ඩ් වලට ලේසියෙන්ම ඇන්දෙනවා!

හොරට ගහපු ෆෝන් එකක් හොයාගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි IMEI අංකය හරහා. හොර ෆෝන් එකක ගොඩක් වෙලාවට IMEI අංකයක් නෑ. බැරිවෙලාවත් තිබුණත් ඒක හොර එකක්. ෆෝන් එකේ බොක්ස් එකේ IMEI අංකය තියෙන්න ඕන. නැතිනම් ෆෝන් එකේ *#06# ටයිප් කරලා හරි, Settings > About Device > Status හරහා ගිහින් හරි IMEI අංකය හොයාගන්නත් පුළුවන්. දැන් www.imei.info වගේ වෙබ් අඩවියකට ගිහින් ඒ IMEI අංකය ගහලා බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන් ඒ IMEI අංකය අදාළ වෙන්නේ මේ ෆෝන් එකටද කියලා.

 

6. ජෙනුයින් වෙබ් සයිට් එකක්

දැන් කාලේ එක එක දේවලට තියෙන නියම වෙබ් අඩවි වගේම හොර වෙබ් අඩවිත් සෑහෙන්න තියෙනවා. විශේෂයෙන්ම මේ හොර වෙබ් අඩවියකට ගියහම අපේ තොරතුරු එහෙමත් හොරකම් කරගන්න, අපිට හානිදායක දේවල් සිද්ධ කරන්න පුළුවන් නිසාම, මොකක් හරි වෙබ් අඩවියක් ජෙනුයින්ද කියලා දැනගන්න පුළුවන් ක්‍රමයක් දෙකක් දැනගෙන ඉන්න එක වටිනවා.

 ඇත්තටම ගොඩක් හොර වෙබ් අඩවි අපිට ගූග්ල් වගේ සෙවුම් යන්ත්‍රයකින් පෙන්නන්නේ නෑ. ඒක හොර එකක් කියලා අල්ලගෙන ෆිල්ටර් කරනවා. හැබැයි අපිට මොකක් හරි සයිට් එකක් ෂුවර්ම නැතිනම්, බලන්න පුළුවන් ඒකේ URL  එකේ https කියලා පෙන්නනවද කියලා. විශේෂයෙන්ම අපි සල්ලි ගෙවන්න එහෙම යන වෙබ් අඩවියක කනෙක්ෂන් එක https කියලා පෙන්නන එක අනිවාර්‍ය්‍යයි. එහෙම නැතුව නිකම්ම http විතරක් පෙන්නනවා නම් ඒක අනාරක්ෂිතයි. 

ඒ වගේම ඕන නම් Google Transparency Report webpage එකට ගිහිල්ලා, සැක තියෙන වෙබ් සයිට් එකේ ඇඩ්‍රස් එක එතනට ලබාදීලා ඒ වෙබ් සයිට් එක ගැන ෆුල් රිපෝට් එකක් ගන්නත් පුළුවන්.

 

7. ජෙනුයින් නිව්ස්

දැන් කාලේ හැම තැනම බොරු නිව්ස් පිරිලා කියන එක අහන්න දෙයක් නෙවෙයිනේ. විශේෂයෙන්ම ඔය ෆේස්බුක් එක හරහා සංසරණය වෙන නිව්ස් නම් බාගෙට බාගයක් සත පහකට විස්වාස කරන්න බෑ. ආන්න එහෙම අවස්ථාවකදී බොරු නිව්ස් මොනවද ඇත්ත නිව්ස් මොනවද කියලා හොයාගන්න ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. ඒකෙන් එකක් තමයි, නිව්ස් එක දෙන්නේ පිළිගත්තු, ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති සේවාවකින්ද කියලා බලන එක. ඒ වගේම නිව්ස් එකේ හෙඩින් එකෙන් නොනැවතී සම්පූර්ණ නිව්ස් එකම කියවලා බලන එක. එතකොට නිව්ස් එකට මොනවා හරි මූලාශ්‍ර දීලා තියෙනවද කියලා බලන එක. ඒ වගේම ඔය ගොඩක් වෙලාවට ෆේස්බුක් එකේ එහෙම ෂෙයාර් වෙන ෆොටෝස් සංස්කරණය කරපු එව්වා නැතිනම් වෙනත් සිදුවීමකට අදාළ එව්වා. ෂුවර් නෑ වගේ තේරෙන ෆොටෝ එකක් රිවර්ස් ගූග්ල් සර්ච් කරලා ලේසියෙන්ම ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *