සාමාන්‍යයෙන් ඔය සෙරෙප්පු කුට්ටම් දහය පහළොව මිලදී අරගෙන පාවිච්චි කරන්නේ කාන්තා පාර්ශවේනේ බොහොම වෙලාවට. ඒකට හේතුව එක් එක් අවස්ථාවන්ට, එක් එක් ඇඳුමට ගැලපෙන්න තමයි ගෑණු ළමයි සපත්තු සෙරෙප්පු දාන්නේ. හැබැයි ඉතින් කොල්ලෝ එච්චර කරදර වෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට කොල්ලෙක්ට තියෙන්නේ එක සපත්තු කුට්ටමයි සෙරෙප්පු දෙකකුයි විතරයි. ඕන නං ඔෆිස් සපත්තු දෙකයි, තව කැෂුවල් සපත්තු දෙකකුයි තියෙයි. අපි මීට කලිනුත් කිව්වා කොල්ලෙක්ට සපත්තු තෝරගන්න ඕන කොයි විදියටද කියලා. දැන් කියන්න යන්නේ කොල්ලෙක් දැනගෙන ඉන්න ඕන, විවිධ සපත්තු වර්ග ගැන. තමන්ගේ අවශ්‍යතාවය අනුව මේවයින් කීපයක් හෝ ළඟ තියෙන එකත් වටිනවා. මොකද, විවිධ අවස්ථාවන් වෙනුවෙන් සපත්තු සෙරෙප්පු කුට්ටම් කීපයක් තියෙනවා කියන්නේ, ඒ හැම කුට්ටමක්ම පාවිච්චි කරන්න පුළුවන් කාලය සැලකිය යුතු විදියට වැඩි වෙනවාය කියන එක තමයි!
1. ඩ්‍රෙස් ෂූස්
ඩ්‍රෙස් ෂූස් කියපුවහම එකපාරටම මොකද්ද කියලා ඔලුවට එන්නේ නැති අය, ඔෆිස් සපත්තු කිව්වහම පට ගාලා අඳුනගන්නවා. ඇත්තටම මේ සපත්තු හරියන්නේ වඩාත් වෘත්තිය පෙනුමකට. ඒ කියන්නේ ෂර්ට් එකක් කලිසමට යට කරලා අඳින ලුක් එකේ ඉඳලා ටයි කෝට් දාන ලුක් එක වෙනකල් මේ ඩ්‍රෙස් ෂූස් වර්ග තියෙනවා. ඔක්ස්ෆර්ඩ් තමයි ජනප්‍රියම. ඊට පස්සේ ‘වන් පීස් ඔක්ස්ෆර්ඩ්’, ‘ඩර්බි ෂූස්’, ‘මන්ක් ස්ට්‍රැප් ෂූස්’, ‘ලෝෆර්ස්’ වගේ ජාති කීපයක්ම තියෙනවා. අපි ටවුමේ සපත්තු කඩෙන් ඔෆිස් දාන්න ගන්නේ ගොඩක් වෙලාවට මේ සපත්තු විලාසිතා වලට අනුව හදපු එව්වා තමයි.
2. බූට්ස්
සාමාන්‍යයෙන් ලංකාවේ ගොඩක් දෙනෙක් බූට් සපත්තු දාන්නෙ නෑ. හැබැයි බූට් සපත්තු වල තියෙනවා වෙනම ගතියක්. අමුතු සීරියස් ගතියක්. මේ බූට් සපත්තු වුනත් වර්ග කීපෙකින් තියෙනවා. ඩ්‍රෙස් බූට්ස් කියන්නේ ඔය උඩින් කියපු විදියේ සීරියස් ඔෆිස් ලුක් එකක් තියෙන සපත්තු වලම බූට් සපත්තු. බූට්ස් දාන්න පුරුදු වුණු කෙනෙක්ට නම් ඉතින් ඔෆිස් එකට වුනත් දාන්න ඒ බූට්ස් සපත්තු ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔෆිස් එකට ඩ්‍රෙස් බූට්ස් ටිකක් සැර වැඩි වෙන්න පුළුවන්. ස්පෙෂල් ඉවෙන්ට් වලට වගේ නම් අවුලක් නෑ.
ඊට පස්සේ තියෙනවා චෙල්සි බූට්ස්, චුක්කා බූට්ස් වගේ එව්වා. චෙල්සි බූට්ස් වල ලේස් නෑ. සිප් එකකින් පැත්තකින් වහන්නයි තියෙන්නේ. මේ බූට්ස් ගොඩක් වෙලාවට අර ස්වෙඩ් ආකාරයට එන නිසා, කැෂුවල් ඇඳුමකට වුනත් අපූරුයි.
තව ඕන නම් මිලිටරි බූට්ස් තියෙනවා. ඒවා නම් ඉතින් සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චියට සැර වැඩියි. හැබැයි සවිශක්තියෙන් ඉහළයි.
3. ස්වේඩ් ෂූස්
ස්වෙඩ් ෂූස් කියන්නේ ඔය ඩ්‍රෙස් ෂූස්, ඔෆිස් ෂූස් වලට වඩා බොහොම සැපපහසු, වඩා නම්‍යශීලී සපත්තු වර්ගයක්. ස්වෙඩ් සපත්තු වල තියෙන මේ සැපපහසුව හින්දම මේවා කැෂුවල් සපත්තු වුනත්, සමහරු ඔෆිස් දාන්නත් ගන්නවා. ඒකට කිසි ප්‍රශ්නයක් නෑ ඉතින්, ඇඳුමට මැච් වෙනවා නං. ඇත්තටම මීට දශකයකට දෙකකට කලින් ස්නීකර්ස් වලට හිමිවෙලා තිබුණු විදියේ ජනප්‍රියත්වයක් ස්වෙඩ් ෂූස් වලට තියෙනවා කියන්න පුළුවන්.
ඇත්තටම ස්වේඩ් (Suede) කියන්නේත් ලෙදර් ෂූස් ජාතියක්ම තමයි. ස්වේඩ් ෂූස් වල තියෙන තවත් වාසියක් තමයි, ඔෆිස් ෂූස් වලට වඩා වර්ණ ගණනාවකින් ලබාගන්න පුළුවන් වීම. ඒ කියන්නේ කළු හෝ අළු හෝ දුඹුරු විතරක් නෙවෙයි. වෙනත් ඕනෑම වර්ණයකින් වුනත් ලබාගන්න පුළුවන්.
4. කැෂුවල් ලෝෆර්ස්
ලෝෆර්ස් කියලා කියන්නේ ගොඩක් වෙලාවට සිප් එකක් හෝ ලේස් නැති, කෙලින්ම කකුල සපත්තුව ඇතුළට දාලා දාන්න පුළුවන් සපත්තු විශේෂයක් තමයි. ලෝෆර්ස් ඇත්තටම ඔෆිස් ෂූස් නැතිනම් ඩ්‍රෙස් ෂූස් කැටගරි එකේත් හමුවෙනවා. හැබැයි අපි මේ කැෂුවල් ලෝෆර්ස් කියලා කියන්නේ, ස්වේඩ් ෂූස් විදියට හරි, රෙදි හෝ වෙනත් මැටීරියල් එකකින් හරි නිර්මාණය කරලා තියෙන ලෝෆර්ස් ගැන. මේවා ඇත්තටම කකුල් වලට සනීපයි. ඉතාම ලේසියෙන් ගලවන්න සහ දාගන්න පුළුවන්. මේස් දාන්න අවශ්‍ය වෙන්නේත් නෑ. අන්න ඒ නිසාම කැෂුවල් අඳින දවසකට වුනත්, නිකම් එළිපහලියට බහින්න වුනත්, ට්‍රිප් එකකට එහෙම යන්න වුනත් ලෝෆර්ස් මරු.
5. හාෆ් ෂූස්
හාෆ් ෂූස් එකක් පිටිපස්සෙන් බැලුවහම සෙරෙප්පුවක් වගේ, ඉස්සරහින් බලනකොට සපත්තුවක් වගේ. ඇත්තටම හාෆ් ෂූස් කියන්නේත් සැහැල්ලුවෙන් දාන්න පුළුවන්, කැෂුවල් සපත්තු වර්ගයක්. මේ හාෆ් ෂූස් දෙකක් දැම්මහම ඉස්සරහින් කකුල සම්පූර්ණයෙන් ආවරණය වුනත්, පිටිපස්සෙන් කිසිම ආවරණයක් නැති තරම්. ඒ නිසාම පහසුවෙන් ගලවන්න හෝ දාන්න පුළුවන්. මේවා දාන්නත් මේස් අඳින්න අවශ්‍ය වෙන්නේ නෑ. විශේෂයෙන්ම ෂෝටක් ගහලා ට්‍රිප් එකකට බහින දවසකට එහෙම හාෆ් ෂූස් තරම් සැපපහසු තේරීමක් තවත් නෑ!
6. කැන්වස් සපත්තු
මේකත් දැන් කාලේ එක විලාසිතාවක්. ඉස්සර කැන්වස් සපත්තු කිවුවහම තිබ්බේ එක ජාතියයි. ඒ තමයි පළල් ලේස් එකක් තියෙන, පළල් සහ පැතලි පෙනුමක් තියෙන සපත්තු. ඒවා එක්කෝ තනි කළු හරි තනි සුදු හරි පාටවලින් තමයි ආවේ. හැබැයි දැන් කාලේ එහෙම නෙවෙයි. කැන්වස් සපත්තු කිවුවහම නානාප්‍රකාර වර්ණයන්ගෙන් තියෙනවා. ඒ නිසාම කැන්වස් සපත්තු කැෂුවල් දාන්න ට්‍රෙන්ඩ් එකක් හැදිලා තියෙනවා. විශේෂයෙන්ම ඔය ඉස්කෝලේ යන වයසේ, කැම්පස් යන වයසේ ළමයි අතර. හැබැයි ඉතින් වැඩිහිටි පාර්ශවේට නං මේ ට්‍රෙන්ඩ් එක ඒ තරම් සෙට් වෙන්නේ නෑ.
7. ස්පෝට්ස් සපත්තු
සාමාන්‍යයෙන් කොල්ලෙක්/කෙල්ලෙක් වුනහම උදේට පොඩ්ඩක් දුවලා කරලා, එක්කෝ ඇවිදින්න ගිහිල්ලා, පුළුවන් නම් ජිම් එකට ගිහිල්ලා ෆිට් එකට ඉන්න ඕන කියලා අපි හැමදාමත් කියනවනේ. ඉතින් කොල්ලෙක්ට ජිම් එකට දාන්න ස්පෝට්ස් සපත්තු දෙකක් අනිවාර්යයෙන්ම ළඟ තියෙන්නත් ඕන. සමහරු කැන්වස් සපත්තුම ජිම් එකට දානවා. හැබැයි ඒක හරියන්නෙ නෑ. කැන්වස් සපත්තු වලින් ශාරීරික ව්‍යායාම වලට ඒ තරම් සහයෝගයක් ලැබෙන්නේ නෑ. පොඩි කාලේ ඉස්කෝලේ ස්පෝට්ස් කරනකොට දැම්මට, දැන් එහෙම බෑනේ. ස්පෝට්ස් සපත්තු කුට්ටමක් හැබැයි ඉතින් හදිසියකටවත් වෙන තැනකට, වෙන වැඩකට දාන්න බැහැයි කියන එකත් මතක තියාගන්න ඕන. ඒ වගේම ස්පෝට්ස් සපත්තු කුට්ටමක් ජිම් එකේ විතරක් නෙවෙයි නම් පාවිච්චි වෙන්නේ, නිරන්තරයෙන් පිරිසිදු කරලා තියාගන්නත් ඕන.
මීට අමතරව කොල්ලෙක් ගාව සැන්ඩ්ල්ස් කුට්ටමක් හරි, ස්ලිපර්ස් කුට්ටමක් හරි තියෙන එක වටිනවා. ඒ විතරක්ද, හොඳ රබර් සෙරෙප්පු කුට්ටමකුත් ළඟ තියෙන එක අනිවාර්යයි!
Leave a Reply