වාහන වලට අළුතින් එකතු වෙච්ච වැඩ කෑලි

ලෝකයේ සීග්‍රයෙන් දියුණු වෙන ක්ෂේත්‍රයක් විදිහට ඉහළින්ම සඳහන් කරන්න පුළුවන් ක්ෂේත්‍රයක් තමයි වාහන නිපදවීමේ ක්ෂේත්‍රය ඒ කියන්නේ Automobile ක්ෂේත්‍රය. 1769 වාෂ්ප එන්ජිම නිපදවපු දවසේ ඉඳල අද වෙනකොට මේ ක්ෂේත්‍රය හිතාගන්නත් බැරි තරමට දියුණු වෙලා තියෙනවා. ඉතින් එහෙම දියුණු වෙනවත් එක්කම වාහන වලට එක එක නවීන වැඩකෑලි එකතු උනා. අන්න ඒ විදිහට වාහන වලට අලුතින්ම එ​කතු වෙච්ච වැඩකෑලි කිහිපයක් ගැන තමයි අද කතාව. 

 

 

1. Lane Departure Warning

වාහනයක් ගමන් කරන මං තීරුවෙන් පිට යන අවස්ථාවක ඒ බව රියදුරුට දැනුම් දෙන අංගයක් තමයි මේ Lane Departure Warning කියන්නේ. ලංකාවේ දැනට මං තීරු නීතිය එහෙමත් ක්‍රියාත්මක වෙන හින්ද මේ ඔප්ෂන් එක තියෙන එක කාට උනත් වැදගත් වෙයි. කොහොම උනත් අලුතින් වාහන පදවන කෙනෙක්ට හොඳ මගපෙන්වීමක් මේ පහසුකම් නිසා ලැබෙනවා.  අනිත් එක බොහෝ දුරට නාගරික ප්‍රදේශ වල නම් තනි ඉරි බහුලව තියෙන නිසා මේකෙන් ලැබෙන ප්‍රයෝජනය ගොඩක් වටිනවා. 

 

 

2. Automatic Emergency Braking

අපි සාමාන්‍යයෙන් දන්න විදිහට වාහනයක් පදවාගෙන යද්දී ඉස්සරහ බා​ධකයක් තියෙනවනම් අපි බ්රේක් පැඩල් එක පාගල වාහනේ නවත්තගන්න ඕනෙ. නමුත් තාක්ෂණයේ දියුණුවත් එක්ක වාහන පැදවීම කියන එක රියදුරන්ට ඉතා පහසු කරලා තියෙනවා. ඉතින් නවතම තාක්ෂණයක් විදිහට මේ Automatic Emergency Braking කියන ඔප්ෂන් එකත් රියදුරන්ට වාහන පැදවීම පහසු කරන්න වැදගත් වෙලා තියෙනවා. එක එක වාහන මාදිලි වල මේ පහසුකම සඳහා එක එක නම් පාවිච්චි වෙනවා. කොහොම උනත් මේ ඔප්ෂන් එක ගැන කිව්වොත් මූලිකවම වෙන්නෙ ඉදිරියෙන් තියෙන බා​ධකයකදී රියදුරුට බ්රේක් පාගන්න අතපසු වීම වැලැක්වීමයි. මේකේ අදියර තුනක් තියෙනවා. එකක් තමයි බා​ධකයක් ඉදිරියෙන් තියෙන බව එලාම් එකක් විදිහට ඇහෙන්න සලස්වනවා. දෙක, මීටර් පැනල් එකේ ස​ංඥාවක් විදිහට පෙන්නනවා. ඒත් රියදුරු බ්රේක් පෑගුවේ නැති උනොත් වාහනය විසින් ස්වයංක්‍රීයව බ්රේක් කරනවා. ඉතින් මේක ආරක්ෂාව සඳහා වැදගත් අංගයක් විදිහට සලකන්න පුළුවන්

 

 

3. Adaptive Cruise Control

සාමාන්‍ය ව්‍යවහාරයේදී Cruise Control කියල කියන්නේ වාහනය යම් පාලනය ක​ළ නියත වේගයකින් ගමන් කරවීමට සැලැස්වීම. නමුත් Adaptive Cruise Control කියල කියන්නේ ඒ සාමාන්‍ය Cruise Control කියන පහසුකමේ තියෙන අඩුපාඩු මග අරින්න හදපු ක්‍රමයක්. මේකෙදි වාහනයේ තියෙන රේඩාර් සිස්ටම් එක සහ ඉදිරියේ තියෙන කැමරා භාවිතා කරලා වාහනය යම් නිශ්චිත වේගයකින් ගමන් කරවීමට සැලැස්වීම වගේම ඉදිරියෙන් තියෙන වාහනයකට කිට්ටු වීමේදී අදාළ වේගය සුදුසු විදිහට අඩු කරවීමත් කියන කරණා දෙකම සිද්ධ කරනවා. ඒකටම සමගාමීව තමයි Automatic Emergency Braking කියන එකත් වැඩ කරන්නේ. හයිවේ එකක වගේ යද්දී මේ ඔප්ෂන් එක ඉතාම ප්‍රයෝජනවත් වෙනවා.

 

 

 4. Stolen Vehicle Tracking

බොහොමයක් වාහන වල අමතරව සවි කරන උපාංගයක් විදිහට තමයි මේ GPS Tracking Devices එහෙම ආවේ. නමුත් තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ විදිහට අතිරේකව සවි කරන උපාංග රහිතව වාහනය තුලම නිෂ්පාදකයා විසින් සවිකර එවන GPS පද්ධති නවීන වාහන වල දකින්නට ලැබෙනවා. ඒ සඳහා අදාළ ඇප් එහෙමත් නිෂ්පාදකයින් විසින්ම සකස් කරලා තියෙනවා. ඒ නිසා දැන් අදා​ළ පහසුකම තියෙන වාහනයක් බය නැතුව නවත්තල යන්න පුළුවන් ඒ නිසා.

 

 

5. Park-Pilot

වාහනයක් පාරේ පදවනවට වඩා අමාරු වැඩක් තමයි පාර්ක් කරනවා කියන්නේ. වාහන දෙකක් මැද්දේ නම් පාර්ක් කරන්න තියෙන්නේ වැඩේ තවත් අමාරුයි. කාන්තාවන් වගේම පිරිමි අයත් ගොඩක් වෙලාවට වරු ගණන් අරන් වාහන පාර්ක් කරන වෙලාවල් අපි දැකල තියෙනවා. ඉතින් ඒ වගේ අයට සෑහෙන්න ප්‍රයෝජනවත් අංගයක් තමයි Park-Pilot නැත්නම් Park Assist කියන්නේ. නවීන වාහන වල තියෙන අංශක 360 කැමරා පද්ධතිය සහ සෙන්සර් පද්ධතිය භාවිතා කරලා වාහනය විසින්ම අදා​ළ හැරවීම් සියල්ල සිද්​ධ කරලා වාහනය පාර්ක් කිරීම තමයි මේකෙන් සිද්ද වෙන්නෙ. අදා​ළ වේගය පාලනය කිරීම විතරක් රියදුරු විසින් ක​ළ යුතු වෙනවා. එක එක වාහන මාදිලි වල මේ පහසුකම ක්‍රියාත්මක කරන්න තියෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඉතාම නිවැරදිව අදාල කාර්යය කරගන්න පුළුවන් මේ පහසුකම පාවිච්චි ක​ළොත්.

 

 

6. Tire Pressure monitoring system

හැම වාහනයකටම අදා​ළ නිෂ්පාදකයා නියම කරලා තියෙනවා ප්‍රශස්ත පීඩන අගයක් ටයර් සඳහා. ඒ ප්‍රමාණයට වඩා වැඩි අගයක් පවත්වා ගැනීම සහ ඊට අඩු අගයක් පවත්වා ගැනීම අවසිදායකයි. හැබැයි ගොඩක්ම අවාසිදායක වෙන්නෙ පීඩනය අඩුවෙන් පවත්වාගැනීම යි. ඉතින් මෙච්චර කාලයක් අපිට ටයර් වල හුලං අඩු වීම කියන එක හොයාගන්න විශේෂ පහසුකමක් තිබුනේ නෑ. නමුත් දැන් අලුතින් එන වාහන වල මේ ටයර් වල පීඩනය අඩු වීම පෙන්නුම් කරන දර්ශකයක් තියෙනවා. ඒක තමයි මේ Tire pressure monitoring system කියන්නේ. වාහනයේ හැම ටයර් එකකම මේ පීඩනය මනින සෙන්සර් යොදල තියෙනවා. ඉතින් ඒ සෙන්සර් හරහා මේ පීඩනය අඩු වීම රියදුරුට මීටර් පැනල් එකේ Warning එකක් විදිහට පෙන්නුම් කරනවා.

 

 

7. Electronic Air Suspension

වාහනයේ උස වාහනේ ඇතුලේ ඉ​ඳන්ම වෙනස් කරන්න පුළුවන් තාක්ෂණයක් තමයි Electronic Air Suspension කියන්නේ. ඒ කියන්නේ ගමන් ගන්න පාරේ තත්ත්වයට අනුව වාහනයේ උස වෙනස් කරන්න පුළුවන් පහසුකමක්. මේ පහසුකම නිසා වල ගොඩැලි සහිත පාරක උනත් යද්දී අදා​ළ උස වෙනස් කරගෙන සැප පහසුවෙන් ගමන යන්න පුළුවන් වෙනවා. ඒ වගේම ස්පෝර්ට් වාහනයක් විදිහට පාවිච්චි කරන්න, හයි වේ ගමන් වලට වගේ දේවල් වලදී මේ වාහනයේ උස වෙනස් කිරීමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කම ලැබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *