ඔව් ඔව් ඒ වගේ ජෝඩු තමයි. බලන් ඉන්නකොට අනේ ඇස්වහක් කටවහක් නම් වැදෙන්න එපා කියලා හිතෙන, අනේ මටත් මෙහෙම ආදරයක් ඕනා කියලා හිතෙන ජෝඩු. උන් අඬනකොට අපිත් අඬනවා, හිනා වෙනකොට හිනා වෙනවා, ආදරෙන් ඉන්නකොට අපේ බඩෙත් සමනල්ලු පියාඹනවා. අන්න ඒ වගේ ලෝක සිනමාවේ ප්‍රේමණීයම ජෝඩු කීපයක් ගැන කතා කරමු.
1. ෂාරුක් ඛාන් සහ කාජල්
ආදරයක් ගැන හාංකවිසියක් නොදන්න පුද්ගලයෙක්ට මේ දෙන්නා රඟපාන චිත්‍රපටියක් බලන්න ඉඩ දුන්නොත් ඒ හාදයා එතනින් නැගිටින්නේ ප්‍රේමවන්තයෙක් වෙලා. ඒ තරමට ම ප්‍රේමණීය බවක් ඒ රංගනයේ තියෙනවා. සමහර විට රිදී තිරයේ හොඳම ජෝඩුව වෙන්නත් පුළුවන්. ඒක එහෙම තමයි කියලා පෙන්නන්න පුළුවන් තරමේ චිත්‍රපට ලැයිස්තුවකුත් තියෙනවා. Baazigar, Dilwale Dulhaniya Le Jayenge, Kuch Kuch Hota Hai, Kabhi Kushi Kabhi Gham, My Name Is Khan වගේ චිත්‍රපට ඒකට සාක්කි. කපල් එකක් දැක්කම අනා කියූට් කියලා හිතෙන්නේ. අන්න එහෙම සිද්ධියක් තමයි මේ දෙන්නගේ රංගනය දකිද්දිත් දැනෙන්නේ.
2. ලියනාඩෝ ඩිකැප්‍රියෝ සහ කේට් වින්ස්ලට්
ටයිටැනික් සිද්ධිය තවත් එක් අනතුරක් විතරක් වෙන්න ඉඩ තිබ්බා. ඒ කියන්නේ කෙටි කාලෙකට විතරක් ඒ ගැන සෝක වෙලා පස්සේ සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන මට්ටමේ. ඒත් ඒක එහෙම වුණේ නෑ. මොකද 1997දී Titanic චිත්‍රපටය බලන්න සිද්ධ වුණ නිසා. මේ චිත්‍රපටය වඩාත් සංවේදී නිර්මාණයක් වුණේ කේට් සහ ලියෝ තිරය මත මවපු ප්‍රේමය නිසා. නැවේ ගැට්ටට ගිහින් අත් දෙක පඹයෙක්ගේ වගේ හදන රොමෑන්ටික් පෝස් එක අදටත් හෙන ජනප්‍රියයිනේ. මේ චිත්‍රපටය බලලා පිස්සු හැදුණ රසික ජනතාවට ඕන වුණේ මේ දෙන්නා ඇත්ත ජීවිතයෙත් එහෙම ඉන්නවා දකින්නයි. ඒ තරමට රංගනය සජීවියි.
3. සැක් එෆ්‍රන් සහ වැනීසා හජන්ස්
හොල්මන් ද පොල් කොළ නම් දෙකක් තිබ්බට මේ ඔයාලා සීනිබෝල කාපු කාලේ ඉඳන් දන්න දෙන්නෙක්. High School Musical බලපු කට්ටියට නම් අමතක වෙන්න විදියක් ම නැහැ. කොටින්ම ලංකාවේ පිස්සුවක් ඇති වුණානේ මේක බලලා. ඇත්ත ජීවිතයේත් අවුරුදු තුනක් පුරාවට ප්‍රේම කරලා මේ දෙන්නා වෙන් වුණේ තිරයේ මවන හැම දෙයක් ම ඇත්ත ජීවිතයේ කරන්න යන එක පට්ට අමාරුයි කියලා පැහැදිලි කරලා.
4. රිතික් රෝෂන් සහ අයිෂ්වර්‍යා රායි
ෂාරුක් එක්ක කාජල් ඉන්නවා දැක්කම අනා කියුට් කියලා කියවෙනවා වගේ නෙවෙයි මේ දෙන්නා දැක්කම කියවෙන්නේ වෙන වෙන දේවල්. ප්‍රේමයත් එක්කම අමුතුම සරාගී ගතියක් මේ රංගනයේ තියෙනවා. Dhoom 2, Jodhaa Akbar, Guzaarish කියන චිත්‍රපටි තුන පට්ට ගහපු අය දන්නවා මොන වගේ රංගනයක් ද තමන්ට දකින්න ලැබුණේ කියලා. ඩූම් චිත්‍රපටයේ අර කිව්ව සරාගී බව වැඩියි. ජෝදා අක්බාර් හරිම ආදරණීයයි. එතකොට ගුසාරිෂ් බැලුවම අර අම්මා කෙනෙක් වගේ ආදරේ කරන කෙල්ලෙක් නම් හා අම්මේ තත්ත්වයේ එකක්. ඒ වගේ එකිනෙකට වෙනස් චරිත හරහා ප්‍රේමයක් ගොඩ නගපු මේ දෙපළත් අමතක කරන්න බෑ.
5. රොබර්ට් පැටින්සන් සහ ක්‍රිස්ටන් ස්ටුවර්ට්
Twilight චිත්‍රපට මාලාවේ කතා නායකයා සහ නායිකාව. එඩ්වඩ්ගෙයි බෙලාගෙයි ආදර කතාව මේ කතා මාලාව අස්සේ ඉදිරියට යද්දී මේ දෙන්නගේ ප්‍රේමණීය රංගනය නිසාම රසික පිරිසක් මේ චිත්‍රපට මාලාව වටා එක් වුණා. කතාවක් විදියට මෙලෝ රහක් නෑ කියලා හිතපු අයත් ලව් කරනවා දැකලා නෑ වගේ මේ චිත්‍රපටයට ආශක්ත වුණේ මේ නිසා. යූටියුබ් පැත්තේ ගියොත් රසිකයන් එක එක අතට මේ දෙන්නගේ ප්‍රේමය ටැලි කරලා හදපු වීඩියෝ ඕනි තරම් බලන්න පුළුවන්.
6. නිවින් පෝලි සහ සායි පල්ලවි
කෙල්ලනේ කොල්ලනේ ඔව් මේ ඒක තමයි. පෙම් කෙළින, කෙළපු, කෙළින්න බලාපොරොත්තුවක් ඇති හැමෝම පැය කීපයකට හෝන්දුමාන්දු කරවලා වට හත අටක් විතර කරකවාලා අත ඇරපු චිත්‍රපටයේ පෙම් යුවළ. Premam නොබලපු මනුස්සයෙක්ගෙන් වැඩක් නැති තරමට ඒ චිත්‍රපටය විශිෂ්ටයි. ඒක එහෙම වුණේ මේ දෙන්නගේ රංගනය නිසා. මේ දෙන්නා රඟපානවා නෙවේ මේ හැබෑවටම ආදරය කරනවා කියලා හිතෙන තරමේ කිතියක් කතාව පුරා තියෙනව. අම්බානෙකට දුක හිතෙන සිද්ධිවලදී හොටු පැකට් කරන්න පුළුවන් තරමට බලා ඉන්න මිනිස්සුන්ටත් ඇඬෙනවා. මලයාලම් චිත්‍රපටයක යුවළකින් ඒ වගේ තාත්වික රංගනයක් ලෝකයේ උදවිය දැකපු පළවෙනි වතාව වෙන්න ඕනි.
7. බ්‍රැඩ් පිට් සහ ඇන්ජලීනා ජොලී
හරි මේ කතා කරන්නේ පවුලක් පන්සලක් වෙලා ඉඳලා චකබ්ලාස් වෙලා ගිය දෙන්නෙක් ගැන. By the Sea, Mr. & Mrs. Smith වගේ නිර්මාණ එක්ක බලපුවාම ඒ දවස්වල හම්මේ ඉතින් වෙන නැහැ. Mr. & Mrs. Smith චිත්‍රපටයේ මේ දෙන්නා අතර තිබුණ කෙමිස්ට්‍රිය තමයි විවාහය තරම් දුර දිග ගියේ කියලා හිතන්න පුළුවන් තරමට ආදරේ හිතෙනවා.
Cover Image Source – onlookersmedia.in
Leave a Reply