ඇඳුමක් ගන්නකොට ඇඟේ හැඩය බලපානවා නම් ඉතින් බෑග් එකක් ගන්නකොටත් ඒක බලපාන්න පුළුවන්කමක් තියනවනේ. මේ කියන්නේ බැක්පැක් ගැන එහෙම නෙවෙයි. ඒවා හැඩේ ගැන නොහිතා ඕනෑම කෙනෙක්ට පෑහෙන දේවල්නේ. එතකොට මේ සිරුරේ හැඩය ගැන හිතලා ගන්න පුළුවන් හෑන්ඩ්බෑග් තමයි.
1. ඉන, උරහිස් සහ උකුළ ප්‍රදේශය එක සමාන සිරුර
හරියටම කිව්වොතින් සෘජුකෝණාස්‍ර හැඩැතිව උරහිස් ඉඳන් පහළට එකම විදියකින් තියෙන සිරුරක්. නිකන් ව්‍යවහාරයේ කියන්නේ පෙට්ටියක් වගේ කියලා. මෙතනදී කෙට්ටු වෙන්න පුළුවන්, මහත වෙන්න පුළුවන් නමුත් අදාළ ප්‍රදේශ සමානව තියෙන්න ඕනි. එහෙම කෙනෙක්ට සෙට් වෙන්නේ හෝබෝ බෑග්, ප්‍රමාණයෙන් විශාල ටෝට් බෑග් වගේ බෑග්. මේවා සාමාන්‍යයෙන් ප්‍රමාණය අතින් අනෙක් බෑග්වලට වඩා විශාලයි. බැලූ බැල්මට පොඩි නැවක හැඩයෙන් නිර්මාණය වුණ බෑග් තියනවා නේද? මේ කියන්නේ අන්න ඒවා ගැන.
2. සිහින් ඉඟ සහ උරහිස් සහ උකුල් ප්‍රදේශය සම සිරුර
ඒ කියන්නේ පෑතැටියක් (hourglass) වගේ සිරුරක් තිබීම. ඒක නම් හැබෑම වාසනාවන්ත දෙයක්. මොකද ඕනෑම බෑග් වර්ගයක් මේකත් එක්ක කැපිලා යනවා. වැඩ කරන දවසට සාමාන්‍ය හෑන්ඩ්බෑග්. පාටියකට හරියන ක්ලච් එකක්, හෝබෝ බෑග් එකක්, ක්රොස්බොඩි එකක් වගේ ඕනෑම බෑග් එකක් ලස්සනයි. ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම ඔබේ හිතුමනාපෙට කැමැත්තට කරන්න ඕනි දෙයක්.
3. ඉන ප්‍රදේශය උරහිසට සහ උකුල් ප්‍රදේශයට වඩා විශාල සිරුර
ඇපල් ගෙඩියක් වගේ හැඩයක් කියලයි ව්‍යවහාරයේ භාවිත වෙන්නේ. අද කාලේ ජීවන රටාව එක්ක බොහෝ කාන්තාවන්ගේ සිරුරු මේ වගෙයි. ඔවුන්ට ගැලපෙන බෑග් විලාසිතාවන්ට වඩා නොගැලපෙන විලාසිතා ගණනින් වැඩියි. ප්‍රමාණයෙන් කුඩා කිසිම බෑගයක්, උරහිසේ පළඳින කිසිම බෑගයක් හෝ බෑග් එකක් ගෙන යන විදියෙන් පසු ප්‍රදේශය කැපිලා පේන කිසිම බෑග් වර්ගයක් මෙයාලාට හරියන්නේ නෑ. පළල්, සෑහෙන තරම් ඉඩ ඇති බෑග් මොවුන්ට ගැලපෙනවා.
4. ඉන සහ උකුල උරහිස්වලට වඩා කුඩා වුණ සිරුර
ඒ කියන්නේ ත්‍රිකෝණාකාර හැඩැති සිරුරු ගැන. මෙතන දී බෑග් තෝරාගන්න ඕනෑ අවධානය ඉන සහ උකුල් ප්‍රදේශය කරා රඳවන බෑග් ගැනයි. ප්‍රමාණයත් විශාල වෙන්න බැහැ. උරහිසේ පළඳන්න හැකි බෑග්, හෝබෝ බෑග්, ක්රොස්බොඩි බෑග් හොඳටම ගැලපෙනවා. කලින් කිව්වත් වගේ ඒවා හොඳ වෙන්න හේතුව තමයි ඒවා පැළඳුවාම අවධානය ඉන සහ උකුල් ප්‍රදේශවලට යොමු වීම.
5. ඉන සහ උකුල් ප්‍රදේශවලට වඩා උරහිස කුඩා වූ සිරුර
පෙයාර්ස් ගෙඩියක හැඩැති මේ සිරුරට ඔබින සියලුම බෑග්වල පටි කුඩා වෙන්න ඕනි. ඒ කියන්නේ වැඩිය පහළට එල්ලිලා ඉනත් උකුලත් කැපිලා පේන්න දෙන බෑග් පොඩ්ඩක්වත් හරියන්නේ නෑ කියන එක. මෙවැනි සිරුරක බර රැඳෙන්නේ ඉනේ සහ උකුල් ප්‍රදේශයේ. බෑග් එක පළඳන් යනකොට ඉනේ නිතර වැදෙන ඒවා දිහා නම් බලන්නවත් එපා. ප්‍රමාණය අතින් ගත්තොත් කුඩා ඒවා නැතුව විශාල හෝ මධ්‍යම ප්‍රමාණයේ ඒවා විය යුතුයි.
6. ඉන පෙදෙස පමණක් විශාල සිරුර
මෙහෙමත් හැඩ දරන කාන්තාවෝ ඉන්නවා. ඔවුන්ගේ සිරුරේ ඉන විශාල වුණාට උරහිස් සහ උකුල් ප්‍රදේශ සිහින්. එහෙම සිරුරක අවධානය රැඳෙන්න ඕනි ඒ සිහින් ප්‍රදේශ කෙරෙහිම තමයි. එතකොට පෙයාර්ස් හැඩැති සිරුරට සම්පූර්ණයෙන් ම වෙනස් ඒකේ තනිකර අනික් පැත්තේ බෑග් තෝරාගැනීම නුවණට හුරුයි. ඉතා දිගු පටි තියන කුඩා බෑග් ඔවුන්ට හොඳින් ගැලපෙනවා.
7. සියලු සිරුරු සඳහා
අන්තිමේ ඒ ගැනත් කියන්න හිතුණා. මුලින්ම සඳහන් කළා වගේ බැක්පැක්, ක්ලච් බෑග්, සිගාර් බොක්ස් ටයිප් එකේ බෑග් ඕනිම හැඩයක සිරුරට ගැලපෙනවා.
Leave a Reply