ලුණු වලින් ගන්න පුළුවන් වෙනත් ප්‍රයෝජන 10ක්

ලුණු කියන්නෙ අපිට කෑමට නැතුව බැරි දෙයක්. කෑමට විතරක්ම නෙමෙයි, ලුණු වලින් ගන්න තව ප්‍රයෝජන ගොඩක් තියනවා. හැබැයි ලුණු කෑමට ගන්න ඕනේ නම් සීමාවක් ඇතුව. මේ ඇතුවත් බැරි නැතුවත් බැරි ලුණු වලින් ගන්න පුළුවන් වෙනත් ප්‍රයෝජන ගැන අපි පොඩ්ඩක් කතා කරන්න හිතුවා. 

 

1. කකුල් පිරිසිදු කිරීමට 

ලුණු මිශ්‍ර වතුරේ කකුල් දාගෙන ඉන්න එක සම මතුපිට තියන දහඩිය හා බැක්ටීරියා ඉවත් කිරීමටත් උපකාරී වෙනවා. කකුල් වලින් හමන දුඟද නැති කිරීමටත් මේක හොඳ ක්‍රමයක්. කකුලේ වළලුකර දක්වා ලා රස්නෙ වතුර පුරවපු බේසමකට පුරවපු ලුණු තේ හැන්දක් එකතු කරලා කකුල් දෙක දාල විනාඩි 20ක් ඉන්න. ඉන් පස්සේ තුවායකින් තෙත පිහිදාගන්න. රෑ නින්දට කලින් මේක කරනවා නම් සුවබර නින්දකටත් මග පෑදෙනවා. කකුලේ මැරුණු සම ඉවත් කරන්න ලුණු කුඩු තේ හැන්දකට පොල්තෙල් ටිකක් එකතු කරලා ස්ක්‍රබ් එකක් හදාගෙන කකුල් ස්ක්‍රබ් කරන්නත් පුළුවන්. 

 

2. භාජන වල දීප්තිය වැඩි කිරීමට

ලුණු හා විනාකිරි එකට මිශ්‍ර කර ස්ටේන්ලස් ස්ටීල් භාජන සේදීමෙන් වඩා දීප්තිමත් ගතියක් ලඟා කරගන්න පුළුවන්. බේකින් සෝඩා වලට ලුණු දාලා කලවම් කරල, අඩිය අල්ලපු භාජන වල අතුරලා විනාඩි 20ක් තියලා, හොඳින් අතුල්ලලා සෝදලා භාජන පිරිසුදු කරගන්න පුළුවන්. ස්ටීල් පෑන් ගොඩක්ම අඩිය අල්ලලා පිරිසිදු කිරීම අමාරුයි නම් රැයක් ලුණු වතුරෙ පෙඟෙන්න තියලා, පහුවදාට ලුණු වතුර පුරවලා ලිපේ තියල රත් කරලා පිරිසිදු කරගන්න පුළුවන්. 

 

3. අයන් එකේ පිළිස්සුණු තැන් ඉවත් කිරීමට

අයන් එක යටි පැත්තෙ ඇඳුම් පිළිස්සීමෙන් හරි අමතක වීමෙන් අයන් බෝඩ් එක උඩ තියලා බෝඩ් එක පිළිස්සීමෙන් හරි ඇති වෙන පැල්ලම් යවාගන්න එක හරිම කරදර වැඩක්. ලුණු වලින් අයන් එකේ මතුපිට ඇලිලා තියන පිළිස්සුණු කොටස් අයින් කරලා අයන් එක පිරිසිදු කරගන්න පුළුවන්. ෆොයිල් පේපර් එකක් හෝ පරණ ටවල් එකක් උඩට තරමක කැට සහිත ලුණු ටිකක් ඉහිරවන්න. අයන් එක ෆුල් පවර් රත්වෙන්න තියලා ලුණු උඩ අයන් කරගන්න. පැල්ලම් පහසුවෙන් ඉවත් වෙනවා.

 

4. කූඹින් එන එක වළක්වාගැනීමට

කුස්සියට, කෑම මේසයට එන කූඹින්ගෙන් කරදරයි නම් ඔයාලට පුළුවන් කෑම මේසෙ කකුල් වටේට, දොර ජනෙල් ආශ්‍රිතව ලුණු කුඩු ඉහළ කූඹි එන එක පාලනය කරගන්න. එහෙම නැත්නම් උණු වතුරට ලුණු වැඩි ප්‍රමාණයක් එකතු කරලා හොඳින් කලවම් කරගෙන කූඹි ගෙට එන තැන් වලට ස්ප්‍රේ කරන්න. 

 

 

5. බාත් රූම් පිරිසිදු කිරීමට

බාත් රූම් එකේ ටයිල් වල තද පැල්ලම් ඉවත් කරන එක පහසු නෑ. ලුණු වලින් පහසුවෙන්ම මේ පැල්ලම් ඉවත් කරගන්න පුළුවන්. ලුණු කුඩු කප් එකකට ඩිෂ් වොශ් ලික්විඩ් කප් 1/4ක්, බේකින් සෝඩා කප් 1/2ක් එකතු කරගන්න. මේ පේස්ට් එක ටයිල් වල තවරලා විනාඩි 20ක් තියලා බ්‍රෂ් එකකින් අතුල්ලලා පිරිසිදු කරගන්න. මේ මිශ්‍රණයම කොමඩ් වලට දාල පැය භාගයක් තියලා ටොයිලට් බ්‍රෂ් එකෙන් අතුල්ලලා පිරිසිදු කරගන්න. 

 

6. කුස්සියේ සින්ක් එක පිරිසිදු කර ගැනීමට

කුස්සියේ සින්ක් එක නිතරම ක්ලොග් වෙන එක එහෙම නැත්නම් වතුර බහින්නෙ නැතුව හිර වෙන එක හරිම කරදරකාරී දෙයක්. එහෙම වෙන වෙලාවලට සින්ක් එකේ එකතු වුණ වතුර ටික ඉවත් කරගෙන වතුර බහින කටට ලුණු කුඩු කප් එකක් හලන්න. විනාඩි කීපයක් තියෙන්න ඇරලා උතුරන වතුර එකක් හලන්න. ඉක්මණින්ම හිර වුණ කුණු අයින් වෙලා පිරිසිදු වෙනවා. ඒ වගේම සින්ක් එකේ දීප්තිය රැකගන්න ලුණු ටිකක් ඩිෂ් වොෂ් ටිකකට කලවම් කරලා සින්ක් එක මදින්නත් පුළුවන්.

 

 

7. ලී චොපින් බෝඩ් පිරිසිදු කිරීමට

ප්ලාස්ටික් වෙනුවට දැන් ගොඩක් දෙනෙක් පෙළඹිලා තියෙනව ලී චොපින් බෝඩ් පාවිච්චි කරන්න. හැබැයි ලී චොපින් බෝඩ් වල මස් මාළු කැපුවම එන අප්‍රසන්න දුඟද නම් ලේසියෙන් ඉවත් කරගන්න බැහැ. මේ දුඟද නැති කරන්න අපිට ලුණු පාවිච්චි කරන්න පුළුවන්. ලුණු කුඩු ටිකක් චොපින් බෝඩ් එක උඩ අතුරලා විනාඩි 15ක් විතර තියෙන්න අරින්න. ඊට පස්සෙ සාමාන්‍ය විදියට අතුල්ලලා සෝදන්න. 

 

 

8. කාපට් වල තීන්ත පැල්ලම් යැවීමට

තීන්ත පැල්ලමක් වැටුනොත් ඒ මතට ලුණු කුඩු අතුරන්න. විනාඩි 20-30ක් තියෙන්න ඇරලා සෝදල පිරිසිදු කරගන්න. තීන්ත පැල්ලම ලුණු වලට අල්ලගන්නවා. 

 

 

9. දත් පොලිෂ් කරගන්න

දත් වල දීප්තිය වැඩි කරගන්න හොඳම ක්‍රමයක් තමා ලුණු කුඩු වලින් දත්මදින එක. අබ තෙල් තේ හැඳි 3කට ලුණු කුඩු තේ හැන්දක් එක් කරලා මේ පේස්ට් එකෙන් දත් මදින්න. මිනිත්තු තුනක් විතර ඉතා මෘදු ලෙස මැදගන්න.

 

 

10. රෙදි වල අලුත් පැහැය රැක ගැනීමට

රෙදි වල අලුත් පාට තියාගන්න ඕනෙ නම් ඇඳුම් මිලදී ගත්තට පස්සෙ මුලින්ම හෝදනකොට ලුණු ටිකක් දාලා සෝදලා ගත්තම දිගු කාලයක් අලුත් වගේ අඳින්න පුළුවන්. ඒ වගේම ඇඳුම් වල දාඩිය දුඟද සහ පැල්ලම් යවන්නත් ලුණු වතුරෙන් එක් වරක් සේදීම ඉතාම සුදුසුයි. වතුර ලීටර් තුනකට ලුණු කප් එකක් මිශ්‍ර කරගෙන රෙදි දාල පැයක් පෙඟෙන්න තියලා, අරන් වෙනදා සෝදන සාමාන්‍ය විදියටම සෝදගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *