රැකියා ස්ථානය කියන්නේ අපි ගෙදර වගේම කාලය ගත කරන තැනක්. ජීවිතේ හොඳම කාලෙන් වැඩි කොටසක් අපි ගත කරන්නේ වැඩකරන තැන. ඉතින් එතැන සුන්දර විදිහට, තෘප්තිමත් විදිහට ගතකරන්න පුළුවන් නම් එයින් මනසට ලැබෙන්නේ සහනයක්. මනසට විතරක් නෙමෙයි, රුධිර පීඩනය, දියවැඩියා වගේ රෝග තත්ත්ව වලින් ඈත් වෙන්න පුළුවන් ස්ට්‍රෙස් එක අඩුවෙන් පවත්වාගත්තොත්.
1. පුද්ගලික ප්‍රශ්න
පුද්ගලික ප්‍රශ්න සියල්ල පංසල ඉස්සරහ ගලෝපු සෙරප්පු දෙක වගේ ගලවලා තියලා වැඩකරන්න එන්න කියලා තමයි තියෙන්නේ. ඒත් ඇත්තටම අපිට මිනිස්සු විදිහට එහෙම කරන්න අමාරුයි. අපේ ගෙදර බිරියගේ ගැටළුවක් නම්, ළමයෙක් ලෙඩ වෙලා නම්, අම්මා තාත්තට කරදරයක් නම්, නැතිනම් අලුත් ගෙදරකට යනවා නම් ඒ බර අපේ ඔළුවේ තියෙනවා. ඒ අස්සේ ඔෆිස් ඇවිත් වෙනදා වගේ වැඩකරන්න අමාරුයි. ඉතින් ඇතැම් වෙලාවට සමීප කෙනෙක්ට කරදරයක් වුණාම අපි එතන ඉන්න ඕනා නැති වුණත් අපේ හිතට හරි නැත්නම් නිවාඩුවක් දාලා ඒ කාලය වැඩකරන තැනින් පිට ඉන්න එක හොඳයි.
2. වැඩ තදවීම සහ අධික වැඩ
වැඩ ගොඩාක් තියෙද්දි ඒකේ බර අපිට දැනෙනවා. වැඩ ගොඩක් වෙන්න අපි වැඩකරන විදියත් බලපානවා. උදාහරණ විදිහට අපි පණිවිඩ දෙන්න ඊමේල්, මැසේජ්, වොයිස් වගේ දේවල් පාවිච්චි නොකර හැම විටම දුරකතන ඇමතුම් පාවිච්චි කරනවා නම් ඒකෙදි වැඩ මහ හිසරදයක් වෙන්න ගන්නවා. වැඩ ගොඩක් තිබෙන පළියට කාර්යාලයේ රෑ වෙනකල් ගත කරලා ඒවා ඉවර කරලා යන්න පුරුදු වෙන එකෙන් තවත් ස්ට්‍රෙස් වැඩි වෙනවා. ඒ නිසා වැඩ අධික නම්, වැඩ මැනේජ් කරගන්න අමාරු නම් ඒ ගැන ඉහළ අංශ දැනුවත් කිරීම වැදගත් වෙනවා.
3. වැඩකරන තැන එක්ක තිබෙන සබඳතාවය
ඔයාට ඔයා වැඩ කරන තැන ගැන නිතරම තියෙන්නේ පැමිණිලි නම්, එතැන නිතරම වැරදි පේනවා නම් එතැනදි පොඩි අවුලක් තියෙනවා. හැකිනම් ඉක්මනින් රක්ෂාව මාරු කරන්න උත්සාහ කරන එක හොඳයි. ඇත්තටම අපි කාටවත් අපි සියයට සියයක් කැමති රක්ෂාවක් ලැබෙන්නෙ නැහැ. යම් යම් කලකිරීම්, සිත රිදීම් එනවා. ඒ වගේම වැඩ කරන අය, රාජකාරියෙදි හමුවෙන අය එක්ක බොහොම සුහදව කටයුතු කරන්න උත්සාහ ගන්නත් ඕනි. මොකද කාර්ය කරන තැන අපි කෙනෙක්ට වෘත්තීය වැඩකට කෝප වෙලා බැන්නා වුණත් අවසානේ එයින් පීඩනයට ලක් වෙන්නේ අපිමයි.
4. වැඩකරන තැනට පිට ලෝකය
රැකියාව ජීවිතය කරගන්න අයට බොස්ලා ආසයි. ආයතන ආසයි. ඒත් ඒක අපේ ජීවිතයට හොඳ දෙයක් නෙමෙයි. කලාව, ක්‍රීඩාව, දරුවන්ගේ කටයුතු, බිරියගේ වැඩ, චාරිකා ආදී විවිධ ඉසව් අපේ ජීවිතයේ තිබෙනවා. ඒවාගෙම අපි ආසකරන විනෝදාංශ, ආසකරන මිතුරන් අපිට ඉන්නවා. ඉතින් වැඩකරනවා වගේම අපේ සිතට සතුටු ගෙන දෙන ක්‍රියාකාරකම් වල නිරත වීමත් වඩාත් වැදගත් වෙනවා.
5. නෙගටිව් මීඩියා වලින් ඈත් වීම
සෝෂල් මීඩියාත් මේකට අයිතියි. ලංකාවේ සෝෂල් මීඩියා ගත්තොත් සෝෂල් මීඩියාවල නිතර ඉන්න අය අනෙක් අයට වඩා ප්‍රශ්න දන්නවා. ඒ වගේම රූපවාහිනී ගුවන්විදුලි අහන අයටත් නිතරම අනුන්ගේ ප්‍රශ්න හමු වෙනවා. වඩකරන අතර ටිකකට සෝෂල් මීඩියා එකට ලොග් වුණත් එයින් අපිට තවත් ප්‍රශ්න කීපයක් බලාගන්නට පුළුවන් වෙනවා. ඉතින් විනෝදාංශ සොයා ගැනීමෙදි තවත් පවුල් ප්‍රශ්නයක්, තවත් දේශපාලන ප්‍රශ්නයක් ම බලන්නෙ නැතිව සුබවාදී දේවල් හොයාගන්න එකත් ස්ට්‍රෙස් අඩුකරගන්න හේතු වෙනවා.
6. කැමති වැඩ සහ සුදුසු වටපිටාව
අපි අකමැති වැඩක දිග කාලයක් ඉද්දි අපිට ඉබේම වැඩට යන එකත් එපා වෙනවා. කොහොමත් මිනිස්සු විදිහට වැඩට නොයා ගෙදරට වෙලා ඉන්න බොහෝ පිරිසක් ආසයි. ඒත් අපි දන්න සහ අපි ආස කරන, අපිට පුළුවන් වැඩක් නම්, අපිට ඒ දේ කරන්න යම් සතුටක් පෙළඹවීමක් එනවා. වැඩකරන වටපිටාවත් වැදගත්. කාර්මික සහ කර්මාන්ත වැඩවලදි ආරක්ෂාව සහතික වෙන, අනෙක් අය සමග මිත්‍රශීලි වටපිටාවක් නම් එතැනත් ස්ට්‍රෙස් එක අඩුයි.
7. රැකියාවේ සුරක්ෂිතබව
මේකනම් රැකියාවට යන්නට කලින් බලන්න ඕනි දෙයක්. ඇතැම් ලංකාවේ රාජ්‍ය අංශයේ රැකියා වලට එහෙම ගිය දවසේ පටන් ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආදියට පෙළඹෙනවා. යම් අයෙක් එවැනි තැනක වැඩට යන එක දිගුකාලීනව හොඳ දෙයක් නෙමෙයි. රැකියා ඉල්ලුම තරමට සැපයුම නැති නිසා රැකියා සොයාගැනීම අපහසුයි. එතකොට රැකියාවක් හුදෙක් අවශ්‍ය නිසාම පිරිස් තමුන් අකමැති තත්ත්ව යටතේ වැඩකරන්නට එනවා. ඒත් ඒ සුරක්ෂිත නැති වටපිටාවක දිගට වැඩ කරන එකෙන් ආතතිය වැඩි වෙනවා.
සමහර දේවල් කිව්වට ඒ දේවල් හරියටම හොයාගන්න අමාරුයි. උදාහරණ විදිහට ඔබට රැකියාවේ පීඩනය වැඩියි, ආතතිය වැඩියි වගේ නම් එයට මේ ඉහළ හේතු වගේම එයිට පරිබාහිර හේතුත් අපමණ තියෙන්නට පුළුවන්. ඒ වගේ වෙලාවක හොඳ වෘත්තීය සගයෙකු හෝ මනෝ වෛද්‍ය උපදේශකවරයෙක් හමු වුණොත් ඔබ මූණ දෙන මානසික පීඩනය ගැන යම් උපදෙසක් ගන්නට හැකි වේවි.
Leave a Reply