තම ආගම වෙනස්කර පුවත් මැවූ බොලිවුඩ් තරු

ඉන්දියාව කියන්නේ විවිධ ජාති සහ ආගම් රැසක ජනතාව එකට ජීවත් වෙන අපූරු රටක්. නමුත් අතීතයේ තරම්ම නොවුණත්, වර්තමානයේදීත් විවාහ සම්බන්ධතා ආදියේදී ආගම සහ ජාතිය ගැන ඉන්දියානුවන් තරමක් තදින් සොයා බලනවා. ජනප්‍රිය පුද්ගලයෙක් තම ආගම වෙනස් කරනවා කියන්නේ ඉන්දියාවේ සෑහෙන කතාබහට ලක්වන මාතෘකාවක්. ඉතින් අපි අද මේ ලිපියෙන් ඔබට කියන්නේ තම මුල් ආගම වෙනස් කළ ජනප්‍රිය බොලිවුඩ් තරු 7ක් ගැනයි… 

 

1. ශර්මිලා තාගෝර් 

ශර්මිලා තාගෝර් කියන්නෙත් හැට හැත්තෑව දශකයන් තුළ අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි බොලිවුඩ් නිළියක්. ඇය රඟපෑ “ආරාධනා” චිත්‍රපටය අපේ රටෙත් අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගන්න සමත් වුණා. ඒ වගේම ඇය වර්තමානයේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සයිෆ් අලී ඛාන්ගේ මවද වෙනවා. ශර්මිලා හින්දු ආගම ඇදහූ තැනැත්තියක් වුණා. පසු කලෙකදී ඇය ක්‍රිකට් ක්‍රීඩක මන්සූර් අලී ඛාන් සමග ප්‍රේම සම්බන්ධයක් ඇරඹුවා. මේ පෙම් සබඳතාවට වැඩි ආයුෂ නැති වේයැයි බොහෝ ඉන්දියානු සිනමා සහ ක්‍රිකට් රසිකයින් සිතුවත්, ශර්මිලා සහ මන්සූර් ඛාන් ඉතා සාර්ථකව තම විවාහ ජීවිතය ගත කරනු ලැබුවා. විවාහයට පෙර ඇය විසින් ඉස්ලාම් ආගම වැළඳ ගනු ලැබුව අතර එවක එය ඉන්දියාව තුළ දැඩි කතාබහකට ලක්වුණ සිදුවිමක් වුණා.

 

2. නග්මා 

නග්මා කියන්නේ දමිළ, හින්දි, තෙළිඟු වැනි ඉන්දීය සිනමා කර්මාන්ත කීපයකම ජනප්‍රිය වූ නිළියක්. අනූව දශකයේ නිර්මාණ රසවිඳ තියෙන අයට නම් අමතක වෙන නමක් නෙමෙයි නග්මා කියන්නේ. ඇය රඟපෑ “සුහාග්”, “භාගී”, “කාදලන්” වැනි නිර්මාණ අදටත් ජනප්‍රියයි. ඒ වගේම ඇය ජනප්‍රිය දමිළ නිළි ජ්‍යෝතිකාගෙ වැඩිමල් සහෝදරියද වෙනවා. හින්දු ආගමික පියකුට සහ ඉස්ලාම් භක්තික මවකට දාව උපන් ඇය ඉස්ලාම් දහම තම අාගම කරගෙන සිටියත් 2007 වසරේදී ඇය ක්‍රිස්තියානි දහම වැළඳ ගනු ලැබුවා. 

 

3. ධර්මේන්ද්‍ර

ධර්මේන්ද්‍ර කියන්නේ 70, 80 දශකවල බොලිවුඩයේ වැජඹුණු කඩවසම් නළු පෞර්ෂයක්. ඒ කඩවසම් බව නිසාම ඔහුගේ නිර්මාණ සෑහෙන්න වාණිජ මට්ටමින් සාර්ථක වුණා. ධර්මේන්ද්‍ර උපතින් සික් ජාතිකයෙක් වුණත් පසුව ඔහු ඉස්ලාම් දහම වැළඳ ගත්තා. ඔහු ඉස්ලාම් ආගම වැළඳ ගන්න හේතුව වුණේ ඔහුට ඔහුගේ පළමු බිරිඳ දික්කසාද නොකොට එවකට ඔහුගේ පෙම්වතිය වූ හේමා මාලිනීව විවාහ කර ගැනීමට අවශ්‍ය වීමයි. 

 

4. අයේශා ටාකියා 

මේ නිළියව නම් සමහරුන්ට එතරම් මතක නැතුවත් ඇති. සිනමාවේ වැඩිය සාර්ථක නොවුණු ඒත් සුරූපී නිළියක් වුණු ඇය රඟපෑ “වෝන්ටඩ්”, “පාත්ශාලා”, “දිල් මාන්ගේ මෝර්” වගේ චිත්‍රපටි නම් අපේ හින්දි සිනමා රසික රසිකාවන්ට මතක ඇති. ඇය හින්දු ආගම ඇදහූ තැනැත්තියක් වුණත් ඇය පෙමින් බැඳුනේ ෆර්හාන් අස්මි නම් මුස්ලිම් තරුණයෙක් සමගයි. ඉස්ලාම් චාරිත්‍රවලට අනුව විවාහ දිවියට එළඹුණු ඇය විවාහයෙන් පසුව හින්දු ආගම අතහැර ඇගේ සැමියාගේ ආගම වුණු ඉස්ලාම් ආගම වැළඳ ගන්නට තීරණය කළා.

 

5. අම්රිතා සිං

 වර්තමානයේ අතිශය ජනප්‍රිය නිළියක් වන සාරා අලී ඛාන් ගේ මව සහ සයිෆ් අලී ඛාන්ගේ පළමු බිරිඳ වන අම්රිතා, ජනප්‍රිය නිළියක්ව සිටි අවධියේදී සයීෆ් සමග විවාහ වී සිනමාවෙන් දුරස් වුණා. සයිෆ් අලි ඛාන් කියන්නේ ඉස්ලාම් භක්තිකයෙක් නිසා ඇයත් විවාහය නිසා තම මුල් ආගම වූ හින්දු ආගම අතහැර ඉස්ලාම් ආගම වැළඳ ගත්තා. කොහොම වෙතත් සයිෆ්ගේ වර්තමානයේ බිරිඳ වන කරීනා කපූර් නම් විවාහයෙන් පසු තම ආගම වෙනස් කරගත්තේ නෑ.

 

6. හේමා මාලිනී 

හේමා මාලිනී කියන්නේ 70, 80 දශක වල අතිශයින්ම ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනියක්. ඇය රංගනයෙන් දායක වූ “ශෝලේ”, “ඩ්‍රීම් ගර්ල්”, “සට්ටේ පේ සට්ටා” වගේ නිර්මාණ වාර්තා පිට වාර්තා තබමින් අතිශය ජනප්‍රිය නිර්මාණ බවට පත් වුණා. පැරණි හින්දි සිනමා රසිකයින් අදටත් ඒ නිර්මාණ මතක් කරනවා. හින්දු බ්‍රාහ්මණ පවුලකට අයත් වූ ඇයත් පසු කලෙක ඉස්ලාම් දහම වැළඳ ගත්තා. එයට හේතුව වුණේ අපි කලිනුත් කිවුව ධර්මේන්ද්‍ර සමග සිදුවූ ඇයගේ විවාහයයි. 

 

7. නර්ගීස්

 නර්ගීස් කියන්නේ 50, 60 දශක වල අතිශය ජනප්‍රිය ධාරාවේ නිළියක් වුණු, අද අප අතර නැති රංගන ශිල්පිනියක්. ඒත් “චෝරී චෝරී”, “බර්සාත්”, “ශ්‍රී 420”, “මදර් ඉන්දියා” වගේ නිර්මාණ නරඹපු අයට නම් මේ ලස්සන ඇස් දෙක අනිවාර්යයෙන් මතක ඇති. නර්ගීස්ගේ මව ජනප්‍රිය ගායිකාවක් වූ අතර හින්දු භක්තිකයෙක් වූ නර්ගීස්ගේ පියා නර්ගීස්ගේ මව සමග විවාහ වීමේදී ඉස්ලාම් දහමට හැරී තිබුණා. ඉස්ලාම් භක්තික කාන්තාවක් වුණු නර්ගීස් විවාහ වුණේ එවක ජනප්‍රිය නළුවෙක් වූ සුනිල් දත් සමඟයි. එම විවාහයෙන් පසු ඇය හින්දු ආගම වැළඳ ගත්තා.

 

 

ශශින් ප්‍රබෝද් 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *