අකමැති අයත් කැමති වන විදියට ගුණදායක රාබු වලින් කෑම 7ක් හදාගමු!

සමහරු කැමති තවත් සමහරු අකමැති, ලංකාවෙ වගේම ලෝකෙ පුරාම විවිධාකාර රසයන්ගෙන් හදන රාබු රෙසිපි ටිකක් අද ගෙනාවා. රාබු කන්න ආස, හැබැයි හැමදාම එකම විදියට කාලා එපා වෙලා ඉන්න අය මේ ආටිකල් එක බලලා රස විදියට රාබු හදන්න ඔන්න. 

 

 

1. රාබු සීනි සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ග්‍රේට්කරගත් රාබු අල 2
  2. ලියාගත් ලොකු ළූණු ගෙඩි 1
  3. කෑලි මිරිස් අවශ්‍ය පමණ
  4. අමුමිරිස් කරල් 4-5
  5. රම්පෙ, කරපිංචා ටිකක් 
  6. කරදමුංගු 2
  7. කරාබුනැටි 4
  8. ලුණු 
  9. සීනි ටිකක්
  10. ගම්මිරිස් කුඩු

 

  • ‍රාබු ටික ලුණු මිශ්‍ර වතුරේ දමා විනාඩි 10ක් තමා හොඳින් මිරිකාගන්න. වතුර මිරිකාගත් පසු ගැඹුරු තෙලේ බැදගන්න. 
  • ළූණු ටිකත් ගැඹුරු තෙලේ බැදගන්න. පෑන් එකකට තෙල් චුට්ටක් දාලා අමුමිරිස්, රම්පෙ, කරපිංචා, කරාබු නැටි හා කරදමුංගු තෙම්පරාදු කරගන්න. ඒකට කෑලි මිරිස්, ගම්මිරිස් හා ලුණු සමග සියඹලා ඉස්ම රස අනුව එකතු කරගන්න.
  • දැන් වෙන වෙනම බැදගත් රාබු හා ළූණු කලවම් කරලා සීනි ටිකත් එකතු කරලා විනාඩියක් විතර හොඳින් කලවම් කරලා ලිපෙන් ඉවත් කරගන්න.

 

‍2. රාබු සහ පිපිඤ්ඤා සලාද 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලියාගත් රාබු කෝප්ප 1
  2. කපාගත් පිපිඤ්ඤා ගෙඩි 1/2
  3. ලියාගත් ළූණු කොළ කෝප්ප 1

 

ඩ්‍රසින් එකට 

 

  1. සවර් ක්‍රීම් හෝ මයෝනේස් මේස හැඳි 2
  2. දෙහි යුෂ
  3. ඔලිව් තෙල් මේස හැන්දක්
  4. ගාලික් පවුඩර් තේ හැඳි 1/2
  5. රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු 

 

  • ‍රාබු සහ පිපිඤ්ඤා ඉතාම සිහින් පෙති කපාගන්න. 
  • වෙනම බෝල් එකක ඩ්‍රසින් එකට අවශ්‍ය සියල්ල දමා හොඳින් මිශ්‍ර කරගන්න.
  • හදාගත් ඩ්‍රසින් එකට රාබු, පිපිඤ්ඤා සහ ළූණු කොළ එක් කර පෙරලමින් කලවම් කරගන්න.

 

3. රාබු අච්චාරු 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රාබු අල 3
  2. සුද්දකරගත් රතුළූණු ගෙඩි 15 පමණ
  3. අමුමිරිස් කරල් 8-10
  4. විනාකිරි කෝප්ප 1
  5. ඉඟුරු සුදුළූණු මේස හැඳි 1
  6. අබ මේස හැඳි 1
  7. මිරිස්කුඩු තේ හැඳි 1
  8. කහකුඩු තේ හැඳි 1/4
  9. ලුණු හා ගම්මිරිස්කුඩු ටිකක් 
  10. එනසාල් ඇට 2

 

  • රාබු ටික හීනියට ලියාගන්න. 
  • විනාකිරි කෝප්ප 1/4ක් දාලා ඉඟුරු සුදුළූණු හා අබ ටික අඹරගන්න. 
  • ඉතිරි විනාකිරි මැටි භාජනයකට දාලා ලිපේ තියන්න. මේකට අඹරාගත් සියල්ලම දාගන්න. 
  • හොඳට තැම්බෙනකොට මිරිස්කුඩු, කහකුඩු හා එනසාල් ඇට තලලා එකතු කරන්න. රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු එකතු කරන්න. 
  • මේකට අමුමිරිස් හා ළූණු දාලා ටිකකින් රාබු ටික දාලා තැම්බෙන්න අරින්න. රාබු වලින් වතුර උනලා හිඳෙනකල්ම ලිපේ තියලා ඕෆ් කරගන්න. 

 

4. රාබු කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රාබු අල 3
  2. ලියාගත් ළූණු ගෙඩි 3
  3. කපාගත් අමුමිරිස් කරල් 2
  4. තලාගත් සුදුළූණු බික් 3
  5. මිරිස් කුඩු තේ හැඳි 1
  6. කහ කුඩු තේ හැඳි 1/4
  7. තුනපහ කුඩු තේ හැඳි 1
  8. අබ තේ හැඳි 1
  9. මිටිකිරි කෝප්ප 1
  10. කරපිංචා ටිකක් 
  11. ලුණු

 

  • රාබු සෝදලා දික් අතට සිහින්ව කපාගන්න. මේකට ලුණු හා කහ කුඩු ටිකක් අතගාලා තියන්න. 
  • ඇතිලියකට රාබු ටික දාලා අමුමිරිස්, ළූණු සහ සුදුළූණු එකතු කරගන්න. මේකට මිරිස් තුනපහ සියල්ලම දාලා වතුර දාලා හිඳෙනකම් තම්බගන්න. හිඳුනම මිටිකිරි දාල උතුරවගන්න.
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ සහ කරපිංචා ටික දාලා අබ පුපුරනකම් තෙම්පරාදු කරගන්න. මේක රාබු මිශ්‍රණයට එකතු කරන්න. 

 

5. රාබු බැදුම්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තරමක කෑලි කපාගත් රාබු අල 2
  2. සූදුරු තේ හැඳි 1
  3. කරපිංචා ටිකක් 
  4. කහ කුඩු තේ හැඳි 1/4
  5. මිරිස් කුඩු තේ හැඳි 1/2
  6. ලියාගත් ළූණු ගෙඩි 1/2
  7. චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් 

 

  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට සූදුරු ටික දාලා කරපිංචා ටික දාගන්න. ඊළඟට මිරිස් කුඩු සහ කහ කුඩු ටික දාලා කලවම් කරලා ටිකකින් ලියාගත් ළූණු ටික දාගන්න. ටිකකින් රාබු ටික දාලා කලවම් කරගන්න. හොඳට බැදුණම කොත්තමල්ලි කොළ ටික උඩින් දාගන්න. ටිකකින් ලිප ඕෆ් කරගන්න. 

 

6. රාබු මැල්ලුම්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රාබු අල 3
  2. ලියාගත් අමුමිරිස් කරල් 2
  3. ගාගත් පොල් කෝප්ප 1
  4. අබ ටිකක් 
  5. තෙල් ටිකක් 
  6. කහ කුඩු තේ හැඳි 1/2
  7. ලුණු

 

  • පොල් වලට අබ දාලා අඹරගන්න. රාබු ටික හීනියට ලියාගන්න. මේකට ලුණු හා කහකුඩු දාලා කලවම් කරලා වතුර පොඩ්ඩක් දාලා ලිපේ තියන්න. 
  • රාබු තැම්බිලා වතුර හිඳෙනකොට පොල් ටික දාගන්න. හොඳට කලවම් කරගන්න. 
  • වෙනම භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ළූණු හා අමුමිරිස් දාලා තෙම්පරාදු කරලා රාබු එකට එකතුකරලා කලවම් කරගන්න. රස අනුව ලුණු දාලා ලිපෙන් බාගන්න. 

 

 

7. රාබු ෆ්‍රිටර්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ග්‍රේට්කරගත් රාබු අල 2
  2. ලුණු ටිකක් 
  3. ලියාගත් අමුමිරිස් කරල් 2
  4. ලියාගත් කොත්තමල්ලි කොළ ටිකක් 
  5. ළූණු කොළ කෝප්ප 1/4
  6. මිරිස්කුඩු තේ හැඳි 1/2
  7. කහකුඩු තේ හැඳි 1/4
  8. බිස්කට් කුඩු කෝප්ප 1/2
  9. ඔලිව්තෙල් මේස හැඳි 2
  10. බැදීමට තෙල්

 

  • ‍රාබු වලට ලුණු ටිකක් දාලා කලවම් කරගන්න. විනාඩි 10ක් වගේ තියලා වතුර මිරිකලා අරගන්න. 
  • මේකට මිරිස්කුඩු, කහකුඩු දාලා බිස්කට් කුඩු, ඔලිව්තෙල් හා කපාගත් අනික් සියල්ලම දාලා කලවම් කරගන්න. 
  • අතේ තෙල් ටිකක් ගාලා මිශ්‍රණයෙන් ටික ටික අරන් අල්ල උඩ තියලා තුනී කරගන්න. පෑන් එකට තෙල් ටිකක් දාලා ෆ්‍රිටර්ස් ටික දෙපැත්ත ෆ්‍රයි කරගන්න. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *