හින්දි චිත්‍රපටයි දෙමළ චිත්‍රපටයි පට්ට ගහපු අපිට ඒවාටම අනන්‍ය වෙච්චි ගීත කලාව ගැන නම් අමුතුවෙන් කියලා දෙන්න ඕනි නැහැ. ඒත් ඉංගිරිසි චිත්‍රපටවල එහෙම පැත්තක් තියෙන එක ගැන නම් පොඩි අමුත්තක් දැනේවි. පසුබිම් සංගීත නම් කොච්චරවත් තියෙනවා. හැබැයි ගෙඩිය පිටින් සින්දු තියන ඉංගිරිසි චිත්‍රපට තියෙනවය කියලා කිව්වොත් අමාරුවෙන් හරි ඒ දේ විශ්වාස කරන්න වෙනවා. එහෙම ඉඳලා හිටලා මේ ගීත ජනිත වෙන නිසාදෝ පරසක්වල වෙනකම් ප්‍රසිද්ධියක් ලබා ගන්නවා. චිත්‍රපට ගීත කියලා නොදැනුවත් වුණාට මේ ඔයා අහලා තියෙන සින්දු සෙට් එකක්.
1. Take My Breath Away – Top Gun
ප්‍රහාරක ගුවන් යානා පාසලක් වටා ගෙතුණු “Top Gun” චිත්‍රපටයේ අඩංගු ගීත අතරින් ඉතාම ජනප්‍රිය සහ විශිෂ්ටම සින්දුව විදියට “Berlin ” කියන 80 දශකයේ සංගීත කණ්ඩායමේ මේ සින්දුව හඳුන්වන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ සින්දුව ඇකඩමි සම්මානයක් වගේම ගෝල්ඩන් ග්ලෝබ් එකකුත් හිමි කර ගැනීම. චිත්‍රපටිය ගැන කිව්වොත් ප්‍රධාන නළුවා විදියට සම්මාදම් වෙන්නේ හුරතල් කොල්ලා කාලේ ටොම් කෲස්. එතකොට කාන්තා පාර්ශ්වයෙන් කෙලී මැක්ගිලිස්. මේ දෙන්නගේ පෙම් පළහිලව් අස්සේ තමයි මේ සින්දුව වාදනය කෙරෙන්නේ. ඒකෙ තිබුණ ආදරණීය බව නිසාම මිනිස්සුත් පුදුම විදියට මේකට ආදරය කරන්න ගත්තා. ප්‍රතිඵල විදියට ආපු කවර් වර්ෂන් වගේම රීමේක් එහෙමත් අන්තර්ජාලයේ තියෙනවා. මේ චිත්‍රපටයේ විශේෂත්වයක් තමයි සවුන්ඩ්ට්‍රැක් ඇල්බම් එකක් තියෙන එක.
2. Can You Feel the Love Tonight – The Lion King
පුංචි කාලේ රෑ දවල් නැතුව බලපු චිත්‍රපටයක් වෙච්චි “The Lion King” චිත්‍රපටය කියන්නෙත් සින්දු ආකරයක්. ඔය අතරින් සෑහෙන රොමෑන්ටික් මෙව්වා එකක් තියෙන, ඒ මෙව්වා එක නිසාම ඇකඩමි සම්මානයක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් ලබපු මේ සින්දුවේ සුවිශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි චිත්‍රපටයේ දී ගායනා කරන්නේ ක්‍රිස්ටල් එඩ්වර්ඩ්ස්, ජෝසප් විලියම්ස්, සැලී ඩ්වොර්ස්කි, නේතන් ලේන් සහ අර්නි සැබෙලා කියන සමූහය වීමත් චිත්‍රපටය අවසාන හරියේ දී මේකම එල්ටන් ජෝන්ගේ හඬින් ගායනා කිරීමත්. ඒකට එල්ටන් ජෝන්ට ග්‍රැමි එකකුත් හම්බුණා කියහන්කෝ. චිත්‍රපටය ගැන කිව්වොත් සැලකෙන්නේ අදටත් ඩිස්නි එකෙන් ගහපු සුපිරි ම ඇනිමේෂන් චිත්‍රපටිය කියලයි. ඒකේ කතා දෙකක් නැහැ. මේකටත් සෝයි සවුන්ඩ්ට්‍රැක් ඇල්බමයක් තියේ.
3. What a Feeling – Flashdance
මේ කියන්නේ නම් එළකිරි සින්දුවක් ගැන. “Flashdance” චිත්‍රපටයට අයිරින් කේරා තමයි මේක ගායනා කරන්න යෙදුණේ. චිත්‍රපටය සාර්ථක වෙන එකක් නැහැ කියලා විචාරකයෝ කලින් කියලා තිබිලා තියෙනවා. හැබැයි ලෝකේ පුරාම ජනප්‍රියත්වයක් ලබාගෙන අතිසාර්ථක විදියට බොක්ස් ඔෆිස් ගැහුවා. හොදි ඕනි නැහැ ලංකාවෙත් චිත්‍රපටය සාර්ථකව ප්‍රදර්ශනය කරලා තියෙනවා. බොහෝ දෙනෙක් මත පල කරන්නේ ඒ සියල්ල හිමි කරලා දුන්නේ මේ ජවසම්පන්න ගීතය කියලයි. බිල්බෝඩ් චාට් එකේ පළවෙනියා වුණා, ඇමරිකානු සංගීත වෙළඳපොළේ ප්ලැටිනම් රෙකෝඩ් එකක් තිබ්බා. ඒ විතරක් නෙවෙයි, ගෝල්ඩන් ග්ලෝබ්, ඇකඩමි සහ ග්‍රැමි සම්මාන ත්‍රිත්වයටම ලක් වුණා. මේ ගීතයේ හඬ, සංගීතය සහ වචන කියන හැම දේම අහන කෙනාට ආයාචනා කරන්නේ එක දෙයයි. ඒ තමයි ලෝකය දිනන්න! චිත්‍රපටයේ කතාවේ තරුණියක් තමාගේ සිහිනය ළඟට යන විදියයි තියෙන්නේ. සවුන්ඩ්ට්‍රැක් එක තියෙනවෝ.
4. Then He Kissed Me – Goodfellas
මේක මේ චිත්‍රපටයටම හදපු සින්දුවක් නම් නෙවෙයි. ගායනා කරන්නේ “The Crystals” කියන සංගීත කණ්ඩායම. ඒත් විනාඩි තුනක් පුරාවට සමාජශාලාවක් තුළ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා තමන්ගේ පෙම්වතියත් එක්ක ඇවිදින රූපරාමු ටිකට මේ සින්දුවත් ඔබ්බවලා තියෙනවා. චිත්‍රපටයට එන්න කලිනුත් ඒ කියන්නේ 1963 අවුරුද්දේ දී ත් ඉහළ ජනප්‍රියත්වයක් ලබාගෙනයි හිටියේ. 1990 දී චිත්‍රපටයට මේ සින්දුව භාවිත කරාට පස්සේ තව ටිකක් ඒකෙ ලස්සන සහ ආකර්ෂණය වැඩි වුණා. චිත්‍රපටය ගැන කිව්වොත් නම් ඒක තනිකර මාෆියා කතාවක්. ඒත් මේ සින්දුවත් එක්ක පොඩි රොමෑන්ටික් ටච් එකක් ලැබුණා. ඒක ඇහුවට පස්සේ තව සිංහල සින්දුවකුත් මතක් වේවි.
5. My Favourite Things – Sound of Music
කොහොමත් මේ සංගීතමය චිත්‍රපටයක්. හැබැයි එහෙම වුණ පලියට සින්දු හිට් කරන්න අමාරුයි. ඒත් මේ චිත්‍රපටයේ හැම ගීතයක්ම වගේ අවුරුදු 53ක් ගත වෙලත් මිනිස්සුන්ට මතකයි. මිලිටරි පාලනයක් ගෙදර අරගෙන ගියපු තාත්තා කෙනෙක්ව ආදරණීය තාත්තා කෙනෙක් කරවන, යන්ත්‍ර වගේ හැදුණ ළමයින්ට ළමා කාලය ආයෙත් ලබලා දෙන, සංගීතයෙන් මිනිස්සු සුවපත් කෙරෙනවා ය කියන පරම සත්‍යය අවබෝධ කෙරෙන එක තමයි චිත්‍රපටයෙන් වෙන්නේ. අපිට හුරුපුරුදු 1965 ජූලි ඇන්ඩ්රූස් ගායනා කරපු ගීතය. චිත්‍රපටයක් වෙන්න කලින් චිත්‍රපටයේ නමින් තිබුණ මියුසිකල් එකේ තමයි ඔරිමජිනල් ට්‍රැක් එක අහන්න පුළුවන් වෙන්නේ.
6. Happy – Despicable Me 2
බඹරේ වැල්ලෙත් කැරකෙන්න පුළුවනි. ෆැරල් විලියම්ස්ට වුණේ ඒක. තමන්ගේ ඇල්බමයක පාළුවෙන් තනි පංගලමේ හිටපු සින්දුවක් කහපාට පිස්සෝ රොත්තක් ඉන්න චිත්‍රපටයකට සෙට් වුණා විතරයි. ඉතුරු ටික ලෝකයා හොඳින් ම දන්නවා. මේ ගීතය වසංගතයක් වගේ ලෝකය පුරාම පැතිරුණා. ඇමරිකානු සංගීත වංශකතාවේම අටවෙනියට වැඩියෙන්ම අලෙවි වෙලා තියෙන්නෙත් මේ ගීතය. 2014 වසරේ බිල්බෝඩ් එක රන් කරපු හොඳම සින්දුව. 20කටත් වඩා රටවල් ගණනක චාට්වල නොම්බර එක. ග්‍රැමි සම්මානත් ලැබුණා. සින්දුව එක පාරක් ඇහුණොත් ඇහුණාම තමයි. ආයේ කනෙන් ගලවගන්නවා බොරු.
7. My Heart Will Go On – Celine Dion
නැව ගිලුනත් ගැට්ටේ බජව් කිව්වලු. තව ඩිංගෙන් මේක මිස් කරගෙන ලයිෆි පාඨකයන්ගෙන් බැනුම් අහගන්න වෙනවා. අදටත් හොටු පැකට් කර කර බලන්න තරම් සංවේදී ආදරණීය චිත්‍රපටයක් වෙන ටයිටැනික් චිත්‍රපටයේ සින්දුව. සමහරු ටයිටැනික් කියන්නේ මොකද්ද කියන්න දන්නෙත් නැහැ හැබැයි මේ සින්දුව ගැන දන්නවා. ඛේදවාචකයක් වුණත් මේ චිත්‍රපටයටත් ආදරණීය කතාවක් තියෙනවා. ඉතින් ඒකට ගැලපෙන හඬ හොයාගෙන අධ්‍යක්ෂවරු ගියේ හරිම තැනට. සෙලීන් ඩියෝන්! ඒ කිව්වත් දැන් මතක් වෙන්නේ මේ සින්දුවයි. අලෙවි වාර්තා ඔක්කොම පදිරි ඉතින්.
Cover Image Source – time.com
Leave a Reply