ගමන් බිමන් යන්න ආස කොයි කවුරුත් වගේම වැඩියම ගමන් නොයන අය උනත් ජීවිතේ එක පාරක් හරි යැවෙන, වන්දනාවට, විනෝදෙට වගේම විවේකයට කියන කොයි කාරණාවටත් යන්න පුළුවන් නගරයක් තමයි අනුරාධපුර නගරය කියල කියන්නෙ. දැන් පවතින කොරෝනා තත්ත්වය එක්කනම් ගමන් බිමන් හීනයක් තමයි. හැබැයි අපි හැමෝම බලන් ඉන්නෙ කොරෝනා ඉවරවුණ දවසක නිදහසේ ඇවිදින්නනේ. එහෙම දවසක ඔන්න අනුරාධපුර පූජා නගරය නරඹන්න යනවනම් මෙන්න මේ කාරණා ටික දැනගෙන, හොඳ පෙර සූදානමකින් යන එක බොහෝම වටිනවා. ගමනේ අතරමගදී සිදුවෙන්න පුළුවන් හුඟක් අපහසුතා මඟහැරලා හිතේ සතුටින් ගමන ගිහින් එන්නත්, ගතකරන කාලයේ උපරිම ප්‍රයෝජනයක් ලබන්නත් මේ කාරණා දැනගෙන ඉන්න එක ලොකු පිටුවහලක් වෙයි ඕනම කෙනෙකුට.
1. ගමන් කාල සටහන
මේක නම් අනුරාධපුරේ වගේම කොහේ ගියත් කරන්නම ඕන දෙයක්. ගමන යන දින ගණන, ඒ ඒ දිනවල නරඹන ස්ථාන ගණන, ඒ ඒ තැන්වල පිහිටීම, යන්න එන්න යන කාලය කියන ඔක්කොම කාරණා කලින් සැලසුම් කරගන්න. තවත් පැහැදිළිව කිව්වොත් ගෙදරින් පිටත් වෙන වෙලවෙ ඉඳලා ඒ ඒ තැන්වලට යන වෙලාවල්, කෑම ගන්න වෙලාවල්, ආපහු පිටත්වෙන වෙලාවක් හැමදේම කාලසටහනක් විදිහට හදාගන්න. එතකොට තැන් තැන්වල පරක්කු වෙලා බලන්න තියෙන තැන් මඟහැරෙන එක, අවශ්‍ය කටයුතු ඒ විදිහට කරගන්න නොලැබෙන එක වගේ අපහසුතා මඟහරවා ගන්න පුළුවන්. ඒක තැනකදී පරක්කු උනත් කාලසටහන බලල වෙලාව හදාගන්න පුළුවන්.
ඒ වගේම මේ සැලසුම හදනකොට නරඹන්න හරි වන්දනා කරන්න හරි හිතාගෙන ඉන්න තැන් විවෘත කරන වෙලාවල්, වහන වෙලාවල් එහෙම අන්තර්ජාලය හරහා හෝ ඒ ඒ තැන් වලට කතා කරල දැනගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ශ්‍රී මහා බෝධිය වන්දනාකරුවන්ට විවෘත කරන්නෙ උදේ 6.30ට. එතකොට කිරිපිඬු පූජ කරන්න එහෙම යනවනම් උදෙන්ම යන එක පහසුයි. රුවන්වැලි සෑය රාත්‍රී 10 වෙනකං විවෘතයි. දවල් වරුවේ තද අව්ව එක්ක යටිපතුල් පිච්චි පිච්චි සෑය වඳිනවට වඩා නිස්කලංකම මේ රාත්‍රී වෙලාව. අන්න ඒක නිසයි සැලසුමක් හදාගෙන ගමන යෑම වැදගත්.
2. නවාතැන්
අනුරාධපුරේ කියන්නෙ නවාතැන් ඕනතරම් තියෙන ටවුන් එකක්. ඉහළම මිල ගණන් වල ඉඳලා පහල මිල ගණන් වෙනකං ඕන තරම් තැන් හොයාගන්න බොහොම පහසුයි. එහෙම තෝරගන්නකොට යන එන තැන් වලට නවාතැනේ ඉඳල තියෙන දුර ගැනත් සැළකිලිමත් වෙන්න. ඒ වගේම දවස් කිහිපයක් ඉන්නවනම් තැන් කිහිපයක නවතින්න සැලසුම් කරන එකත් දුර කළමනාකරණය කරගන්න වගේම වෙනස් අත්දැකීම් ගන්නත් හොඳ තීරණයක්. නවාතැන් තෝරගෙන වෙන්කිරීම් කරන්න කලින් agoda, booking.com වගේ වෙබ් අඩවි වලින් සහ අදාළ නවාතැන්පලේ ෆේස්බුක් සහ ගූගල් රිවීව්ස් මඟින් තැන ගැන අදහසක් අරගෙනම යන්න. පස්සෙ පසුතැවෙන්න ඕන නැතිවෙයි.
3. ආහාර
ආහාර කියන්නෙ අනුරාධපුරේ යනවනම් වැඩි අවධානයක් දෙන්න ඕන කාරණාවක්. මොකද අනුරාධපුරේ කියන්නෙ කෑම සම්බන්ධව හොඳ නගරයක් නෙමෙයි. හොඳම කඩවල් තිබුණට මිල අධිකයි. ඒ වගේම කෑම කන්න හොඳ තැන් හොය හොය ඉන්න ගියහම කළින් කියපු ගමන් සැලසුම අවුල් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි කන්න තැනක් කලින් හොයාගෙනම යන එක හෝ කෑම පුළුවන් තරම් ගෙදරින්ම සූදානම් කරගෙන යන එක. දවස් කිහිපයක් ඉන්නවනම් උයාගෙන කන්න සැලසුම් කරන්නත් පුළුවන්. ඒක පොකට් එකට වගේම සෞඛ්‍යයටත් වඩාත් හිතකරයි.
4. බොන්න වතුර
වතුර ගැනත් ඉහළින්ම සැළකිලිමත් වෙන්න ඕන. අනුරාධපුරේ ටැප් වලින් එන වතුර එකපාරට බීමට ගන්න බැහැ අධික කිවුල් ගතිය නිසා. ඒ නිසා හැකිතරම් වතුර අරගෙන යන්න. හැබැයි අනුරාධපුර නගරයේදිත් බොහොම අඩු මිලට පානීය ජලය මිලදී ගන්න පුළුවන්. ඒ නිසා අරගෙන නොගියත් කමක් නැහැ. හැබැයි කොයිම තැනකදිවත් බෝතල් නොකළ වතුර පානය කරන්න එපා.
5. විනෝදයට නාන තැන්
ට්‍රිප් එකක් කිව්වම අපි කවුරුත් ආසයිනෙ වැවකින්, දොලකින් නාගෙනත් යන්න. මෙන්න මේ කාරණේදීත් බොහොම සැළකිලිමත් වෙන්න ඕන. පූජා නගරයේ තියෙන හුඟක් වැව් වල ජලය පානයට වගේම සිද්ධස්ථානවල පූජා කටයුතු වලටත් භාවිතා කරනව. ඒ නිසා ඒ වැව් වලින් නාන එක සුදුසු නැහැ. මොකද අපේ විනෝදය වගේම අනිත් අය ගැනත් හිතන්න ඕනනේ. පුළුවන් තරම් නගරයෙන් පිටතැන් විනෝදයට නාන වැඩේට තෝරගන්න.
6. අඳින ඇඳුම් පැළඳුම්
පෞරාණික වටිනාකම වගේම අනුරාධපුරේ හුඟක් තැන්වල ආගමික වටිනාකමකුත් තියෙනවා. ඒ නිසා අඳින ඇඳුම ගැන සැළකිලිමත් වෙන්නම ඕන. දණහිසට වඩා කොට ගවුම්, කලිසම්, ත්‍රී ක්වාර්ටර් කලිසම්, අත් කපපු බ්ලවුස් වගේ දේවල් ඇඳගෙන මේ පූජා ස්ථාන වලට ඇතුළත් වෙන්න දෙන්නෙ නැහැ. කාන්තාවන්ට උනත් දිග කලිසම් ගැටළුවක් නැහැ. ඒ නිසා අපහසුතාවයට පත්නොවෙන විදිහට ඇඳගෙන යන ඇඳුම තෝරාගන්න.
7. දවල් වරුවේ අව්ව
අනුරාධපුරය කියන්නෙ කොහොමත් ටිකක් පරිසරයේ රස්නය වැඩි පැත්තක්නෙ. දවල් වරුවට තද අව්ව ටිකක් දරාගන්න අමාරුයි. අපි කලිනුත් කිව්ව වගේ රුවන්වැලිසෑයේ බිම අතුරපු ගල් උඩින් එහෙම දවාලට ඇවිදින්නම බැහැ. ඒ හැමදේටම පෙර සූදානම් වෙලා යන්න. එහෙම අපහසුම තැන් නරඹන එක හවස් වරුවට තියාගන්න. අනිත් තැන් වලට වුණත් යනකොට අව්වට පිච්චෙනවා අඩු අත්දිග ඇඳුම්, සන්ස්ක්‍රීන් ආලේපන, තොප්පි, ෂෝල් වගේ දේවල් හැමදේම අරගෙන සූදානම් වෙලා යන්න.
ඒ කාලෙ හද්ද කැලේ වුණාට අනුරාධපුරේ කියන්නෙ තව දුරටත් දුෂ්කර ප්‍රදේශයක් නෙමෙයි. කොළඹ වගේම බොහොම ජය ටවුන් එකක්. ඒ නිසා අනවශ්‍ය විදිහට බඩු ගොඩගහගෙන යන්න අවශ්‍ය නෑ. හැමදේම ගන්න සුපර්මාර්කට්, සාමාන්‍ය සිල්ලර කඩවල් ඕනම දෙයක් මේ නගරයේ තියෙනවා. උඩින් කියපු, ගැටළු ඇතිවෙන්න පුළුවන්, අත්‍යාවශ්‍යම කාරණා ටික විතරක් පිටත්වෙද්දි සම්පූර්ණ කරගෙන ගියහම ඇති.
ඔක්කොම කියල අන්තිමට මේ ටිකත් කියන්නම ඕන. අනුරාධපුරේ කියල කියන්නෙ පෙරකාලේ රජවරු රජකම් කරපු, පුරාවිද්‍යා වටිනාකම අතින් ඉහළම තැනක් ගන්න වටිනා නගරයක්. ඒ නිසා අපිට වගේම අනාගත පරපුරට බලන්නත් මේ වටිනා දේවල් ඉතුරු කරන එක අපේ වගකීමක්. ගමනේ හැම පියවරක්ම අතීතයට හානි නොවෙන්න තියන්න වගබලාගන්න. පා සටහන් විතරක් ඉතුරු කරල එන්න.
Leave a Reply