ලංකාවෙ අපි නිතර නොකන ගුණදායක කොළ වර්ග 5ක් රසට හදන හැටි

ගමේ විදියට කන්න ආස අයට වගේම ගුණදායක කෑම කන්න කැමති අයට ඔන්න ගෙනාවා පෝෂ්‍යදායක කොළ වර්ග කිහිපයක්. ආහාර වේලකට කොළ වර්ගයක් එකතු වෙනවනම් සෑහෙන්න හොඳයි. ඉතින් ඔයාලා හැමවෙලේම උත්සාහ කරන්න සමබර ආහාර වේලකට කොළ වර්ගයක් එකතු කරගන්න.

 

1. තැල් කොල ඇඹුළ

ප්‍ර​භේද 4කින් යුත් තැල් වල ආහාරයට ගන්න තැල් විශේෂය තමා රස තැල් කියන්නෙ. උණට, කැස්සට, වකුගඩු, අක්මා, උදර රෝග, ඇස් පෙනීමට වගේ බොහොමයකට ගුණදායක මේ තැල් කොළ හිමාල වනයෙන් ගෙන ආවා කියලා තමා ජනප්‍රවාදයේ එන්නෙ. ලංකාවේ කුරුණෑගල ප්‍රදේශයේ බහුලව හැදෙන මේ තැල් කොළ සෑහෙන්න රස වගේම ගුණ කෑමක්. 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තැල් කොළ කෝප්ප 2
  2. මිටිකිරි කෝප්ප 1
  3. දියකිරි කෝප්ප 1
  4. ගොරකා කෑලි 3
  5. මිරිස්කුඩු තේ හැඳි 1
  6. කහකුඩු තේ හැඳි 1/4
  7. තුනපහකුඩු තේ හැඳි 1/2
  8. ලියාගත් සුදුළූණු බික් 3
  9. රම්පේ හා කරපිංචා 
  10. උම්බලකඩ කෑලි ටිකක් 

 

  • ඇතිලියකට තැල්කොළ හැර අනික් සියල්ලම දාලා ලිපේ තියන්න. කිරි නටනකොට තැල්කොළ ටික කඩලා මේකට එකතු කරන්න. රස අනුව ලුණු දාලා ටිකක් හින්දලා අරගන්න. 

 

2. මුස්සැන්ද දළු මැල්ලුම්

කැස්ස, ඇදුම, ශ්වසන අපහසුතා, හා ශ්වසන පද්ධති රෝග රැසකට ගුණදායක ආහාරයක් තමා මුස්සැන්ද කියන්නෙ. මේක ක්‍රම කීපයකට හදාගන්න පුළුවන්. 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මුස්සැන්ද දළු කෝප්ප 1
  2. ගාගත් පොල් කෝප්ප 1/2
  3. ලියාගත් රතුළූණු ගෙඩි 2
  4. කපාගත් අමුමිරිස් කරල් 2
  5. උම්බලකඩ ටිකක් 
  6. ලුණු ටිකක් 
  7. දෙහි බෑයක යුෂ

 

  • මුස්සැන්ද දළු ටික සෝදලා වතුර බේරලා අරන් හීනියට ලියාගන්න. 
  • දැන් මේකට අනික් සියල්ලම දාලා රස අනුව දෙහි හා ලුණු දාලා සම්බෝලයක් වගේ හදාගන්න. 

 

3. අක්කපාන දළු සම්බෝලය

වකුගඩු රෝග වලට ගුණදායකයි වගේම මුත්‍රා ගල් දිය කිරීමේ විශ්මිත ගුණ සතු ආහාරයක් තමා මේ අක්කපාන කියන්නෙ. 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අක්කපාන දළු කෝප්ප 1
  2. ලුණු හා ගම්මිරිස්කුඩු 
  3. ගාගත් පොල් කෝප්ප 1
  4. ලියාගත් රතුළූණු ගෙඩි 2
  5. අමුමිරිස් කරල් 2
  6. දෙහි බෑයක යුෂ

 

  • අක්කපාන දළු සෝදලා හීනියට ලියාගන්න. දැන් මේකට අනික් සියල්ලම දාලා ලිපේ තියලා විනාඩියක් වගේ මලවගන්න.

 

4. කෝප්ප කොළ මැල්ලුම

මළබද්ධයට, මුඛ ආසාදන වලට වගේම මුත්‍රා ආසාදන වලටත් අනර්ඝ ඔසුවක් මේ කෝප්ප කොළ. තොල් පැලීම සහ මුඛය ආශ්‍රිත රෝග වලටත් ඇස් පෙනීම වර්ධනයටත් ගොඩක්ම ගුණයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කෝප්ප කොළ මිටක්
  2. ‍රතුළූණු ගෙඩි 3
  3. ගාගත් පොල් කෝප්ප 1/4
  4. කහකුඩු තේ හැඳි 1/4
  5. ලියාගත් සුදුළූණු බික් 3-4
  6. ලියාගත් කරපිංචා 
  7. කුඩුකරගත් අබ තේ හැඳි 1
  8. ලුණු හා ගම්මිරිස්කුඩු 
  9. ලියාගත් අමුමිරිස් කරල් 2

 

  • කෝප්ප කොළ ටික හීනියට ලියාගන්න. පොල් වලට ළූණු, කහ, අමුමිරිස්, සුදුළූණු, කරපිංචා, අබ, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා වංගෙඩියෙ කොටාගන්න. 
  • තෙල් ටිකක් රත්වෙන්න තියලා හදාගත්ත පොල් මැල්ලුම දාල තෙම්පරාදු කරගන්න.
  • පොල් මැලවුණාම කපාගත්ත කොළ ටික දාල හොඳට කලවම් කරගෙන විනාඩියක් දෙකක් මලවගෙන ලිපෙන් බාල දෙහි යුෂ එකතු කරගන්න.

 

5. කරපිංචා සම්බෝල

කොලෙස්ටරෝල්, හෘද රෝග, අධි රුධිර පීඩනය වගේ රෝග රැසකට ගුණදායක කරපිංචා, කැඳ වලට පාවිච්චි කරනව වගේම මැල්ලුම් විදියටත් උණු වතුර දාලා තේ විදියටත් බොනවා. මේ තියෙන්නෙ කරපිංචා සම්බෝලෙ හදන විදිය. 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කරපිංචා කොළ කෝප්ප 2
  2. ලියාගත් රතුළූණු ගෙඩි 2
  3. අමුමිරිස් කරල් 2
  4. ලුණු හා ගම්මිරිස්කුඩු 
  5. දෙහි යුෂ ටිකක් 
  6. සුදුළූණු බික් 3

 

  • කරපිංචා හොඳට සෝදලා ග්‍රයින්ඩර් එකට දාගන්න. මේකට දෙහි හැර අනික් සියල්ලම දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න. 
  • පේස්ට් එකක් වගේ ග්‍රයින්ඩ් උනාම බෝල් එකකට දාලා රස අනුව දෙහි යුෂ දාගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *