ඔලුව බේරගෙන තනියම ට්‍රිප් යන්න වටිනා ටිප්ස් 7ක්

ට්‍රිප් යන්න යාලුවෝ හොයල ඔයාලටත් ඇති වෙලාද? එහෙනම් ලේසිම ක්‍රමය තනියම ගමන යන්නට සැලසුම් කිරීම. තනියෙන් එයාපෝට් එකට ගියත් එතනින් එහාට ඔයාලට යන යන සංචාරක ස්ථාන වලින් අලුත් යාලුවෝ හොයාගන්නට පුළුවන්. සමහර අවස්ථාවල එයාලත් එක්ක එකතු වෙලා සංචාරය කරන්නත් පුළුවන්. තනියම යද්දි අවදානම ටිකක් වැඩියි. හොඳට සැලසුම් කරන් නැතුව ගියොත් අතරමං වෙලා ට්‍රිප් එක අල වෙන්නත් පුළුවන්. තනියම යද්දි කොහොමද ඔලුව බේරගන්නේ? අපි කියෝල බලමු ඒ ගැන. 

 

1. ගෙදර වැඩ කරල යමු 

අලුත් රටක් තොටක් කියන්නේ අලුත් දෙයක්. ඒකේ සංස්කෘතිය ආහාර පාන ආදී ගොඩක් දේවල වෙනසක් තියෙනවා. භාෂාවත් අපිට ආගන්තුකයි. ඒ වගේ වටපිටාවක අපි බලන්න කියන දේවල් ගැන හොඳට හොයාල බලලා යන්න ඕනි. සරලවම කිව්වොත් අපි හොඳට ඒ ගැන ඉන්ටනෙට් එකෙන් සර්ච් කරලා බලලා විස්තර හොයලා යන්න ඕනි. අපිට සංචාරයක් යන්නට නිවාඩු අනුමත කරගන්න ලැබෙන්නේ සීමිත ගාණක්. ඒ වගේම අපිට ඒකට සල්ලි තියෙන්නේත් සැලකිය යුතු තරමක්. ඒ ටික පිරිමසාගෙන කාලයත් හරියට මැනේජ් කරගන්න නම් අපි යන එන තැන්, කරන දේවල් ගැන කලින් ටිකක් හොයලා බලන්න ඕනි. 

 

2. මැප් එක ගහ ගමු 

කලින් කීවා වගේ අපිට තියෙන කාලය හසුරුවාගන්න නම් කලින් සැලසුමක් අවශ්‍යයි. එතැනදී අපි එක රටකට යනවාද? රටවල් කීපෙකට යනවාද? රටකදි වුනත් තැන් කීපෙකට යනවාද කියන එක කලින් සැලසුම් කරගන්නට ඕනි. තායිලන්තය, ඉන්දියාව, රුසියාව, ඇමරිකාව ජර්මනිය වගේ රටවල් ගත්තොත් ලංකාවට වඩා කිහිප ගුණයක් විශාලයි. රටේ මායිමේ දෙකෙළවර තියෙන නගර දෙකක් අතර ගමන් කරන්න සමහර විට බස් එකක කෝච්චියක නම් දවසකටත් වැඩි වෙලාවක් යනවා. උදාහරණයක් විදිහට ඉන්දියාවේ චෙන්නයි ඉඳලා දිල්ලි යද්දි අපිට ඒ සඳහා කෝච්චිය තෝරාගත්තොත් පැය 28ක් ගත වෙනවා. තායිලන්තයේ කඳුකරයේ චියන් මායි ඉඳලා පහළ තියෙන පුකෙට් ක්‍රාබි පළාත්වලට යන්න ගියොත් ඒකට ගුවන් ගමනින් ගියත් පැය දෙකකට වඩා යනවා. ඒ විදිහට අපි යන තැන්, ඒ යන ආකාරය, බලන තැන් ඒ තැන්වලදි කරන්න ඉන්න දේවල් ගැන දළ සටහනක් ගහගෙන ගියොත් අපිට අවශ්‍යතා අනුව වෙනස් කරගන්න උවමනා වුනත් මූලික සැලසුමක් තියෙනවා. 

 

3. යාලුවෝ සෙට් කරගමු 

තනියම ගියත් අපිට ජනප්‍රිය සංචාරක ස්ථාන වලදී ලෝකයේ නන් දෙසින් එන සංචාරකයෝ හමු වෙනවා. වැඩිය ඕනි නැහැ ලංකාවේ ඇල්ලට අරුගම්බේට ගියත් වෙලාවකට රටවල් හත අටක සෙට් අපිට මුණ ගැහෙනවා. ඒ අය එක්ක සම්බන්ධතා ඇතිකරගන්න එක හැම අතින්ම හොඳයි. ඒ සංචාරකයෝ සතුව හොඳ අත්දැකීම් තියෙනවා. සමහර අය සතුව හොඳ සැලසුම් තියෙනවා. ඒ වගේම මිලමුදල් අඩුවෙන් ට්‍රැවල් කරන්න සමහර සංචාරකයෝ හරිම දක්ෂයෝ. කන්න බොන්න, ෆන් ගන්න, විනෝද වෙන්නත් මේ ලෝකේ වටෙන් එන ගොඩක් සංචාරකයෝ සැදී පැහැදී ඉන්නවා. හොඳ හෝටලේක නම් කෑම කන අවස්ථාව, පූල් එකේ නාන අවස්ථාව, චැට් එකකට සෙට් වෙන්න කියාපු වෙලාව. ඒ වගේම කඳු නැගීම්, බීච් එකේ විවේක ගැනීම් ආදී වෙලාවටත් ළඟ ඉන්න සංචාරකයා එක්ක චැටකට සෙට් වෙන එක අපේ ආරක්ෂාවටත් හොඳයි. 

 

4. ප්ලෑන් බී ගැන බලමු 

ලංකාවේ බැක්පැකින් සංචාරකයෝ ඔයාල දැකල තියේ නම් එයාල එක් කෙනෙක් කියන දෙයක් එකපාර විශ්වාස කරන්නේ නැති බව ඔයාලට පැහැදිලි ඇති. දුම්රියක් ගැන විස්තරයක් පවා එයාල අහනවා නම් කිහිප දෙනෙකුගෙන් අහලා ආයේ ෆෝන් එකෙනුත් බලලා තමයි තීරණයක් ගන්නේ. ජනප්‍රිය සංචාරක ස්ථානවලට ගියාම, විශේෂයෙන් ආසියා රටවල පණ දෙන්න වගේ ඉන්න අතරමැදියෝ ඉන්නවා. එයාල සංචාරකයින්ට නවාතැන් හොයල දීලා, ගමන් පහසුකම් සලසා දීලා, විනෝද ක්‍රීඩා, ගයිඩ් වැඩ ආදියට පහසුකම් සලසලා මුදල් උපයනවා. එයාල නරකම අයත් නෙමෙයි. ඒත් එකපාරටම කියන දේ විශ්වාස කරන්නේ නැතුව ටිකක් වටේ ගිහින් බලන එක වඩාත් යෝග්‍ය වෙනවා. අපි හිතමු හෝටල බුක් කරපු නැති වෙලාවක අපිට කාමරයක් හොයනවා කියලා. ඒ වගේ අවස්ථාවක අන්තර්ජාලයෙත් බලලා පොඩි වෙලාවක් අරගෙන වටේ රවුමක් ගිහින් තැන් දෙක තුනක් බලලා අපිට තැනක් තීරණය කරන්න පුළුවන්. ටිකක් අවුල් වගේ කියලා හිතුනත් ඒක සාමාන්‍යයෙන් සෝලෝ යන සංචාරකයෝ කරන දෙයක්. 

 

5. කන බොන එක සැලකිල්ලෙන් 

ෆුඩ් පොයිසනින්, එහෙම නැතිනම් කෑම විසවීම කියන්නේ ඉන්දියාව වගේ රටකට එන බටහිර සංචාරකයින්ට සුලභ දෙයක්. මේකේ විද්‍යාත්මක පසුබිම තමයි ඉන්දියානුවන්ට ඉන්දියානු ආහාර වල ඉන්න බැක්ටීරියා සහ ක්ෂුද්‍ර ජීවින් අවුලක් නැති වුණත් පිටින් එන අයට අවුල් වීම. ඒ වගේ වෙලාවක සරලව දොස්තර මහතෙකුට කියලා බෙහෙතක් අරගෙන යන්න පුළුවන්. බීම හෙවත් එතනෝල් පාවිච්චිය කියන්නේ පාටි තියෙන ලොකේෂන් එකකට ගියොත් සරල සුලභ දෙයක්. තනියම යන ගමනකදි බීල වැඩිවෙනවා කියන්නේ අවදානමක්. ආයේ බොනකොට පණ දෙන්න වගේ හිටියත් බිව්වට පස්සේ මොකක් වෙයිද කියලා අවදානමක් තියනවා. ඒ නිසා තමුන්ගේ තරම දැනගෙන බොන්නට ඕනි. රට රටවල තියෙන දේශීය මධ්‍යසාර වල කොක්ටේල් අපිට වැඩකරන්නේ කොහොමද කියලා හරි අදහසක් අපිට නෑ. අලුත් බීම ජාති තියෙනකොට වීර බව පෙන්වීම පොඩ්ඩක් පැත්තට දාලා ලිමිට් එක තියාගෙන වැඩ කරන්න හුරුවෙන්න ඕනි. 

 

6. බඩු අඩුවෙන් රැගෙන යාම

රට යනවා කිව්වහම සමහර අය සංචාරයක් ගියත් පදිංචි වෙන්න යනවා වගේ ලොකු බෑග් අරන් යනවා. යන්නේ විශේෂයෙන් වෙඩිමකට වගේ දේකට නෙමෙයි නම් සංචාරයකදී ලොකු බෑග් අරං යන එක වදයක්. දියුණු රටකදි වගේම ලංකාවේ තියෙන බොහෝ හෝටල වලත් රෙදි සෝදාගන්න පහසුව තියෙනවා. ඒ වගේම ටූත් පේස්ට්, සබන්, ෆේෂ්වොෂ් වගේ දේවල් ඕනිම රටක ජනතාව පාවිච්චි කරනවා. අඩුවෙන් අපිට ඕනිම දේවල් ටික විතරක් පැක් එකට එකතු කරගන්න පුළුවන් නම් අපිට ඒ දේවල් මගහැරෙන එක නවතිනවා. ඒ වගේම බඩු හොයාගන්නත් අපිට ලේසියි. අත්‍යාවශ්‍යම දේවල් වෙන පාස්පෝට්, ක්‍රෙඩ්ට් කාඩ්, මුදල්, යතුරු ආදිය වුනත් පොඩි පැක් එකකදි අපිට අමතක නොවන තැන්වල ගබඩාකරගන්න ලේසි වෙනවා. කිලෝ 7ට අඩුවෙන් ගුවනේදී හෑන්ඩ් ලැගේජ් එකට විතරක් සංචාරයකදී බඩු ටික හදාගන්න හැකි නම් ඒක ගමනට ලොකු පහසුවක් වෙනවා. 

 

7. යන දේශයේ නීති රීති, සම්ප්‍රදායන්ට ගරු කිරීම 

ලංකාවේ හික්කඩුවේ මහපාරේ යන විදේශිකයින්ට නාන ඇඳුමෙන් යන්න එපා කියලා දැන්වීම් ගහලා තිබුනා. ඒක ලංකාවේ විතරක් නෙමෙයි ගොඩක් ආසියානු රටවල තියෙන දෙයක්. එතකොට අපිත් රටකට යනකොට පූජනීය ස්ථාන වලට යනවා නම් ඒ තැනට යන්න ඕනි විදිහ ගැන අවබෝධයෙන් යන්නට ඕනි. බැංකොක් වල හොඳ රූෆ්ටොප් බාර් එකකට යන්න ඕනි වුනත් එතනදි ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙනවා. බොහෝ රටවලදි වාහන එලවන්න, ස්කූටර් බයික් එලවන්න නම් රියදුරු බලපතක් තියෙන්නට ඕනා වෙනවා. ඒ වගේම සමහර සංචාරක ස්ථාන වලදී ගංජා, අයිස්, මරිජුවානා ආදී මත්ද්‍රව්‍ය ලේසියෙන් හොයාගන්න පුළුවන් වුනත් යම් විදිහකින් ඒ රටවල පොලිසියට අසු වුවොත් අනවශ්‍ය කරදර වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ නිසා යන තැන්වල සම්ප්‍රදායන් සහ නීතියට පිටින් දේවල් කරන එක ගැන තනියම යද්දි ආයෙත් හිතන්න ඕනා. යම් විදිහකින් පොලිසි උසාවි හෝ වෙනත් කරදරයක් වුනත් තනියම යද්දි අපිව ගලවාගන්න වෙන කෙනෙක් සොයාගන්න මහන්සි වෙන්න වෙනවා. 

 

පිරිමි විතරක් නෙමෙයි ගෑණු අයත් මේ අපි ඉන්න ලංකා රටෙත් තනියම සංචාර යනවා අපි නොදැනුවත්වම. තනියෙන් යනවා කියන එක දැන් දැන් ලෝකේ ජනප්‍රියම සංචාරක ආකාරයක් වෙලා තියෙනවා. කුරුල්ලෙක් වගේ ඕනි තැනක කරක් ගහන්න පුළුවන් ගතිය මේ තනියම සංචාර අත්දැකීම තුළ තියෙනවා. ඒ තනි ගමනේ අවදානම අවම කරගෙන, සංචාරය සාර්ථක කරගන්න යම්  තල්ලුවක් ඔයාලට මේ හරහා ලැබෙන්නට ඇති.