පහුගිය දවස් වල පෝට් සිටි පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමත් එක්ක සමාජ මාධ්‍යවල චීන අකුරින් එක එක දේවල් ලිවීමේ රැල්ලක් පටන් ගත්තා. අන්තිමේදී ඒක නැවතුනේ සිරස ටීවී ප්‍රවෘත්ති විකාශනයටත් ගිහිල්ලා. මේ නිසා අපි අද හිතුවා අතීතයේ ඉඳන් චීනය සහ ලංකාව අතර තිබ්බ සම්බන්ධකම් ගැන කතා කරන්න.
1. පාහියන් හාමුදුරුවෝ
චීන ලංකා සම්බන්ධකම් ගැන කතා කරද්දි උඩින්ම කියවෙන නම තමයි පාහියන් හාමුදුරුවරුන්ගෙ නම. අනුරාධපුර යුගයේ ලංකාවට ආපු උන්වහන්සේ අභයගිරි විහාරයේ නවාතැන් අරගෙන මහායාන ග්‍රන්ථ ගණනාවක් යළි චීනය වෙත රැගෙන ගියා. උන්වහන්සේ පැමිණියේ මහානාම රජු දවස කියලයි බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ. අනුරාධපුර නගරයේ තිබුණු ශ්‍රී විභූතිය උන්වහන්සේ මහා ඉහළින් වර්ණනා කරනවා.
2. හියුංසාං
මුන්වහන්සේ ලංකාවට පැමිණෙන්න බොහෝ බලාපොරොත්තු තියාගෙන හිටියත් ලංකාවේ පැවැති අයහපත් දේශපාලන වාතාවරණය සහ දුර්භීක්ෂ තත්ත්වයක් නිසා මුන් වහන්සේට ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ලැබෙන්නේ නැහැ. නමුත් කාංචිපුරයේදී මුන්වහන්සේට ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා පිරිසක් මුණ ගැහෙනවා. උන්වහන්සේලාගෙන් ලැබෙන තොරතුරු මත තමන්ගේ චාරිකා සටහන් වලට ලංකාව ගැන තොරතුරු හියුංසාං හාමුදුරුවෝ එකතු කරනවා.
3. ඉට්සිං
මුන්වහන්සේටත් ලංකාවට පැමිණීමට ඉඩ ප්‍රස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් නාලන්දා විශ්වවිද්‍යාලය තුළ ගත කරපු කාලයේ දී ලංකාව ගැන විවිධ තොරතුරු මුන්වහන්සේට දැනගන්න ලැබෙනවා. සමහරක් විට ඒ වෙනකොට නාලන්දා විශ්වවිද්‍යාලයේ නේවාසිකව ඉගෙනුම ලබමින් හිටපු ලංකාවේ භික්ෂූන් වහන්සේලාගෙන් මේ තොරතුරු මුන්වහන්සේට ලැබුණා වෙන්නත් පුළුවන්. හියුංසාං හිමියන්ට සහ පාහියන් හිමියන්ට සාපේක්ෂව ඉට්සිං හිමියන් විසින් ලංකාව ගැන තබපු සටහන ප්‍රමාණය අල්පයි.
4. මාර්කෝ පෝලෝ
සමහර විට මේ නම දැක්ක ගමන් ඔබට හිතනවා ඇති මාර්කෝපෝලෝ කොහොමද චීන ලංකා සම්බන්ධකම් වලට අදාළ වෙන්නේ කියලා. මාර්කෝපෝලෝ චීනයේ ගත කළ කාලය තුළ කුබ්ලායි ඛාන් අධිරාජයාගේ නියෝජිතයෙකු විදිහට ලංකාවට පැමිණෙනවා. ඊට අමතරව යළිත් සිය මව් රට වෙත යද්දිත් අතරමගදී ඔහු ලංකාවට ගොඩ බහිනවා. ඒ නිසා ඔහුගේ චාරිකා සටහන් වල ලංකාව ගැන යම්තාක් දුරකට හොඳ විස්තරයක් ඇතුළත් වෙලා තියෙනවා.
5. චෙන් හෝ
ලංකා ඉතිහාසයේ චීන මායම විදිහට හඳුන්වන චීන ආක්‍රමණයක් ගැන අද දක්වාම අපිට හොඳ අවබෝධයක් නැහැ. ඒකට දේශීය මූලාශ්‍ර වල මේ ගැන තියෙන විස්තර අවම වීම එක හේතුවක්. නමුත් චීන වාර්තා වල මේ පිළිබඳව අපේ මූලාශ්‍රවලට වඩා එහා ගිය තොරතුරු ඇතුළත් වෙනවා. කෝට්ටේ රාජධානි සමය ආරම්භයේ දී ලංකාවේ බලවතෙකු බවට පත්ව සිටි අලකේශ්වර ඇතුළු රජ පවුල චෙන් හෝ සෙනෙවියා විසින් චීනය වෙත රැගෙන යනවා. ඒකට හේතුව වෙන්නේ ලංකාවට සාමකාමීව පැමිණි චීන හමුදාවලට අලකේශ්වර ගේ නියෝගයෙන් ප්‍රහාර එල්ල වීම. මේ ගැන විස්තරාත්මක ලිපියක් පහතින් කියවන්න පුළුවන්.
6. මහජන චීනය පිළිගැනීම
වර්තමාන ශ්‍රී ලංකා මිත්‍ර සම්බන්ධතා වලට පදනම වැටෙන්නේ මහජන චීන සමූහාණ්ඩුව නිල වශයෙන් පිළිගත්ත පළවෙනි රටවල් අතරට ශ්‍රී ලංකාව එකතු වීම නිසයි. මාඕ සේතුන්ගේ නායකත්වයෙන් ගොඩනැඟෙන මහජන චීනයට ඒ වෙනකොට ඇති වෙලා තිබ්බ ලොකුම ගැටළුව වුණේ ජාත්‍යන්තර වශයෙන් එරටට පිළිගැනීමක් නොලැබීම. බොහෝ රටවල් තායිවානය කේන්ද්‍රකරගෙන පැවැති ආණ්ඩුව තමයි පිළිගත්තේ. කොටින්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පවා චීනය විදිහට නියෝජනය වූණේ තායිවානයයි.
7. රබර් හාල් ගිවිසුම
එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ අපේ රටට වැඩිම ආර්ථික වාසි ගෙන එන්න සමත් වෙච්ච ගිවිසුම විදිහට රබර් හාල් ගිවිසුම හඳුන්වන්න පුළුවන්. මේ ගිවිසුම ඇති කරන්න මූලිකත්වය ගන්නේ සුප්‍රකට වෙළඳ අමාත්‍යවරයෙකු වන ආර්. ජී සේනානායක මහතා. අපි කලින් සඳහන් කළා වගේ ඒ වෙනකොට මහජන චීනය බොහෝ රටවල් විසින් පිළි නොගැනීම නිසා කර්මාන්ත සඳහා අවශ්‍ය රබර් ලබා ගැනීමට ඔවුන්ට හැකියාවක් තිබුණේ නැහැ. මේ නිසා ඔවුන් ලෝක වෙළදපොලේ මිලට වඩා වැඩි වෙළෙඳ අගයක් ගෙවා ලංකාවේ රබර් මිලට ගත් අතර ඊට සරිලන ලෙස ලංකාවට අවශ්‍ය සහල් ලෝක වෙළදපොළට වඩා අඩු මිලකට ලබා දීමට කටයුතු කළා.
චීන ශ්‍රී ලංකා මිතුරු සම්බන්ධතාවේ සදා නොමැකෙන සන්ධිස්ථාන හතක් අද අපි මේ ලිපියට ඇතුළත් කළේ. එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply